2019 මැයි 11 වන සෙනසුරාදා

ඉහළින් ආ නියෝගයක්

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

ගමන් කරමින් තිබූ ගුවන් යානයක් එක්වරම ගැස්සෙන්නටත් ඒ මේ අත පැද්දෙන්නටත් පටන්ගත්තේය. මගීහු බියට පත්ව තම ආගම් සිහි කරන්නට ගත්හ. ගුවන් නියමුවා ශබ්ද විකාශනයෙන් කතා කළේය.

“මම කැප්ටන් බ්ලාස්ට්... කවුරුත් බයවෙන්න එපා. ගුවන් යානයේ බර වැඩිකමක් නිසයි ගැස්සෙන්නේ. කරුණාකරලා තමන් ළඟ තියෙන බඩුවලින් අනවශ්‍යයි කියලා හිතෙන දේවල් හදිසි දොරටුව ළඟට ගිහින් එළියට දාන්න.”

මගීහු ගුවන් නියමුවාගේ අණ පිළිපදින්නට යුහුසුළු වූහ. චීන ජාතිකයෙක් තමන් ළඟ තිබූ සහල් මල්ලක් පිටතට විසි කළේ “අපේ රටේ ඕන තරම් හාල් තියෙනවා” කියමිනි. ප්‍රංශ ජාතිකයෙන් වයින් පෙට්ටියක් පසකට හෙළුවේ “අපිට ඕන හැටියෙ වයින් තියෙනවා” කියමිනි. ජර්මන් ජාතිකයෙක් සොසේජස් මල්ලක් ද, ඉන්දියානුවෙන් චපාති පාර්සලයක්ද බිමට විසි කළේ පෙර මගීන් සේම “ඕවා අපිට ඕන තරම්” යැයි කියමිනි. එසේ විවිධ ජාතිකයෝ එක් එක් භාණ්ඩ හා ද්‍රව්‍ය ගුවන් යානයෙන් ඉවතට දමන අතරේ සිරියානුවෙක් තරමක කලබලයෙන් මෙන් නැගිට කිසිදු භාණ්ඩයක් නොමැතිව හදිසි දොරටුව ළඟට දිව්වේය. ඉන්පසු “අපේ රටේ මිනිස් බෝම්බ ඕනතරම් තියෙනවා” කියමින් ‘අයි.එස්.’ කොඩියක් ද දිගහැරගෙන බිමට පැන්නේය.

ඉන්පසු ගුවන් යානය නිරුපද්‍රිතව ගමන් කරන්නට වූ අතර මගියෝ සැනසුම් සුසුම් හෙළූහ. සහල් මල්ල වැටුණේ සෝමාලියාවටය. එය ඇහිඳගත්තෝ මහත් සතුටට පත්වූහ.

වයින් පෙට්ටිය වැටුණේ ඉතියෝපියාවටය. වතුරත් නැතිව සිටි ඔවුහු දෙවියන්ට ස්තූති කළහ.

සොසේජස් මල්ල අප්‍රිකාවේ සාගතයෙන් පෙළුණු රටකට ද චපාති පාර්සලය පකිස්ථානයේ ගම්මානයකට ද වැටුණි.

සිරියානුවා වැටුණේ ශ්‍රී ලංකාවටය.

වහාම නැගිට පසුපස අතගාමින් වටපිට බැලූ ඔහු හරුප කියමින් අමෙරිකාවට බණින්නට ගත්තේය.

“ෂිහ් විතරක්... මේ යැංකියන්ට තාම බෑනෙ බෝම්බයක් හරියට හදාගන්න”

මෙම උපහාසාත්මක කතාව අන්තර්ජාලයෙන් උපුටාගෙන යම් යම් දේ එහා මෙහා කර සකස් කළෙමි. මෙහි එන උපහාසයට යටින් බරපතළ දේශපාලන අරැතක් ද ඇති බව කෙනකුට හැඟෙන්නට පිළිවන.

බෝම්බය යනු විහිළු කළ යුතු දෙයක් නොවේ. එය ඉතා භයානක දෙයකි. එසේ තිබියදීත් “බොරු බෝම්බ” තබමින් ආරක්ෂක අංශවල කාලය හා ශ්‍රමය අපතේ යවන මුග්ධයින්ද අපේ රටේ සිටිති. සැබෑ බෝම්බ දැමිය යුත්තේ අහිංසකයන් මත ‍නොව ඔවුන්ගේ හිස් මතටය.

මිනිසා තරම් අධමයකු මේ මුළු පෘථිවි තලයේම නැති බව දැන් දැන් සිදුවන දෙයින් මනාව සනාථ වෙයි. එහෙත්, ඕනෑම පහත් වැඩකට “බලු වැඩ, බූරු වැඩ, ගොන් වැඩ” යනාදී වශයෙන් සතුන්ගේ නම් යොදමින් බැණ වැදීම දියුණු මිනිසාගේ සිරිතකි. වඩාත් බරපතළ අපරාධයකදී ඔවුන් එය හඳුන්වන්නේ ‘තිරිසන් වැඩක්’ යනුවෙනි. එහෙත්, පාස්කු ඉරිදා වූ අපරාධය වැනි දේ කිසිම තිරිසනෙක් කරන්නේ නැත. කිසිම බල්ලෙක් සියදිවි නසාගන්නේ නැත. කිසිම බූරුවෙක් පිටේ බෝම්බ මළු පටවාගෙන තව බූරුවකුගේ ඇඟට පනින්නේ නැත. කිසිම ගොනෙක් තව ගොනෙකුගේ බෙල්ල කැපීමට මන්නා, පිහියා, කඩු රැස් කරන්නේ නැත.

මේ ආකාරයෙන් බලනවිට මිනිසා තිරිසනුන්ට ද පහත්ය. තිරිසනා මිනිසාට වඩා ගුණයහපත්ය.

සමහර දේවල් සම්බන්ධයෙන් මිනිසාට නැති ඉවක් සතුනට ඇත. සුනාමියේදී ලක්ෂ ගණන් මිනිසුන් මියයද්දී ගැරඬියකු හෝ මියනොගියේ එහෙයිනි. එකම අලියක් හෝ මියගියේ නැත. එහෙත් අවාසනාවකට මෙන් ඔවුනට එය මිනිසාට සන්නිවේදනය කිරීමේ හැකියාවක් තිබුණේ නැත.

බෝම්බ සෙවීමේදී මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් වනුයේ බල්ලාගේ ඉවය.

ඉරානය බලා යමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙක් සුරතල් බල්ලෙකු ද රැගෙන යමින් සිටියේය. අසල සිටි පලස්තීන ජාතික මගියාට එය රිස්සුවේ නැත.

“හලෝ... සත්තු ගෙනියනවනම් වෙනම කෑල්ලක් තියෙනවනේ ඒකට.. තමන් ළඟ තියාගන්න බෑනේ.”

පලස්තීනුවා චෝදනා කළේය.

ඉරාන ජාතිකයා එය වැඩි ගණනකට නොගෙන මෙසේ කීය.

“මගේ බල්ලගේ නම ස්නිෆර්. එයා මත්ද්‍රව්‍ය, බෝම්බ වගේ දේවල් අල්ලන්න පුහුණු කරපු සතෙක්. ඒ නිසා මට ඌ ප්ලේන් එකේ ගෙනියන්න විශේෂ අවසරයක් ලැබුණා.”

ඒ ඇසූ ඉරාන ජාතිකයා නිහඬ විය.

මොහොතකට පසු ‘ස්නිෆර්’ සුනඛයා ගුවන් යානයේ ඒ මේ අත සැරිසරන්නට වූයේ යමක් ඉව වැටුණාක් මෙනි. එක් මගියකු ළඟට ගිය ස්නිෆර් කලබලයට පත්ව වහාම තම ස්වාමියා වෙත දිව ගියේය.

“මෙයා මොකද කියන්නේ?”

පලස්තීනුවා ඇසීය.

“අර මනුස්සයා ළඟ හෙරොයින් තියෙනවලු”

යළිත් ගුවන්යානයේ සැරිසරන්නට වූ ‘ස්නිෆර්’ තවත් මගියකු අසල ඉව අල්ලමින් සිට ස්වාමියා ළඟට දිව ආවේය.

“ඒ පාර මොකද කියන්නේ?”

පලස්තීනුවා ඇසීය.

“මෙහෙම බුරන්නේ කොකේන් තිබුණම”

සුළු මොහොතක් ගත වුණේය. ඉන්පසු ස්නිනෆර් යළිත් ගුවන් යානයේ ඒ මේ අත යන්නට වූයේ පෙරටත් වඩා නොඉවසිලිමත් ලෙසිනි. අරාබි රටක මගියකු ළඟ ඉව කරමින් සිටි ස්නිෆර් ආපසු දිව අවුත් තම ස්වාමියාගේ උකුළට පැන්නේ බියෙන් ගැහෙමිනි. ඉන්පසු ඌ මළමුත්‍රා පිටකරන්නට ගත්තේ, මුළු ගුවන් යානයම ගඳ ගස්සවමිනි.

“මොකද මොකද ඒ පාර මොකද?”

පලස්තීනුවා ඇසුවේ නාසය වසා ගනිමිනි.

“ෂුවර් එකට බෝම්බයක්! එතකොට තමයි ස්නිෆර්ට මෙහෙම වෙන්නේ”

ඉරානයා පිළිතුරු දුන්නේ සාමාන්‍ය ස්වරයෙනි.

ආපදා සමයන්හි පවා සිනා සැහැලි හෝ උපහාස කතා නිර්මාණය මිනිසාගේ පුරුද්දකි. බොහෝවිට ඉන් කෙරෙන්නේ පහර ගැසිය යුතු තැනකට ගැසීමකි. අපහාසයට වඩා උපහාසය සැරය. මේ එබඳු ‘හීසැරයකි’.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු අගනුවර පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි. දියවන්නාව පෙදෙසේ සිට දිවෙන පාර්ලිමේන්තු පාරේ කිසිදු සෝදිසි කිරීමක් සිදු නොවීය. ඒ දුටු මාධ්‍යවේදියෙක් පොලිස් නිලධාරියකුට ළංව මෙසේ ඇසීය.

“මොකද පාර්ලිමන්ට් රෝඩ් එක විතරක් චෙක් කරන්නේ නැත්තේ? බෝම්බකාරයෙක් එහෙම ආවොත්හෙම මොකද වෙන්නේ?”

“අපිට මේ පාර චෙක් කරන්නෙ නැතුව නිදහසේ තියන්න කියලා ඉහළින් ඕඩර් එකක් ඇවිත් තියෙන්නේ”

“ඉහළින් කිව්වේ? අයි.ජී.පී.ගෙන්ද?”

“නෑ. නෑ.. ඉහළින්”

පොලිස් නිලධාරියා අහස දෙසට අත දිගු කළේය.

►කපිල කුමාර කාලිංග