2019 මැයි 25 වන සෙනසුරාදා

අපට අමුත්තක් නැහැ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 180

මෙය විහිළුවක් නොවේ.

යුක්රේනයේ ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇත්තේ රූපවාහිනී විකට නළුවෙකි. 

‘සෙල්’ නැමැති කෙටි නමින් රට පුරා ප්‍රකටව සිටින ඔහු වැලැද්මීර් සෙලෙන්ස්කීය. සෙල්ගේ වයස 41කි. නිකම්ම නිකං විහිළුකාරයකු නොවන ඔහු නීතීඥවරයකු ද වෙයි.

සෙලෙන්ස්කි යුක්රේන ජනතාව අතර ආදරයට ලක්වන්නේ එරට රූපවාහිනී තුළින් ප්‍රචාරය වූ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ (මහජන සේවකයා) නමැති හාස්‍යොත්පාදක ටෙලි නාට්‍ය තුළිනි. එහිදී සෙලෙන්ස්කි රඟපෑවේ යුක්රේන ජනාධිපතිවරයාගේ චරිතයයි. අවසානයේදී ඔහු සැබෑ ලෙසම එම තනතුරට පත්වෙයි!

සෙලෙන්ස්කිගේ පක්ෂයේ නමද ඔහුගේ ටෙලි නාට්‍යයේ නම වූ ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ ය. ඔහු 70%ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමි වූයේ ප්‍රතිවාදීන්ට කට උත්තර නැති කරමිනි.

මෙය අප රටේ දේශපාලනඥයන්ට කෙසේ වෙතත් විකට නළුවන්ට නම් බලාපොරොත්තු දල්වන, සුබදායක පුවතක් විය හැකිය. ජනතාවට විහිළු සැපයීම, සිරි ලංකාවේ දේශපාලන ‘නළුවන්ට’ සාමාන්‍ය දෙයක් බැවින් එයින් ඔවුනට අමුතු අස්වාදයක් ලැබෙතැයි සිතිය නොහැක.

විකට නළුවාට ඉංග්‍රීසියෙන් කියන්නේ කොමඩියන් හෝ ජෝකර්ය. අපේ රටේ සිනමා ඉතිහාසය දෙස බලනවිට එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ක්‍රිස්ටි ලෙනාඩ්, බී. එස්. පෙරේරා, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, ටෙනී සහ බන්දු ආදී වශයෙන් විකටයන්ගේ දිග නම් ලැයිස්තුවක් දැකගත හැකිය. ඔවුන්ගේ අවාසනාවකට මෙන් ඒ කිසිවෙකුට ජනාධිපතිකමට තියා ඇමැතිකමටවත් කිට්ටු වෙන්නටවත් ලැබුණේ නැත.

විකටයන් ලෙස ලේබල් නොවුණත් මෙරට ඇතැම් නළු නිළියන් දේශපාලන කරළියට පිවිසි අවස්ථා නම් හිඟ නොවීය. ඔවුන්ගෙන් සමහරු පාර්ලිමේන්තුවට ද පත්වූහ. ඉන්පසු ඔවුන් ජනතාවට සේවය කළේද විහිළු සැපයුවේද යන්න තීරණය කළ යුත්තේ ජනතාවමය.

දේශපාලනය කිරීමද එක්තරා විදිහක රඟපෑමකි. එහි සීරියස් ඇක්ටර්ස්ලා අඩුය. ජෝකර්ලා වැඩිය. නළු කලාව වෙනුවට ඔවුන් දන්නේ ජනතාවට විහිළු සපයමින්, ඔවුන් ගොනාට ඇන්දවීමේ ශිල්පයය.

ලෝකයේ සිටි නොම්මර එකේ කවටයෝ, විහිළු තුළින් ජනතාවට ප්‍රඥාවද සැපයූහ. දේශපාලන නායකයන් දැඩි ලෙස විවේචනයට ලක් කළහ. චාලි චැප්ලින්ගේ විකට චිත්‍රපට තුළ තිබුණේ එබඳු දේශපාලනයකි. හිට්ලර්, ස්ටාලින් වැනි ඒකාධිපති පාලකයන්ගේ පවා කකුල් දෙක අතරින් රිංගා යාමට මේ විහිළුකාරයෝ සමත් වූහ. සමහර විහිළුකාරයෝ නිකම්ම නිකං ජෝකර්ලාය. ඔවුන්ට ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ තරම් දෙයක්වත් හදාගැනීමට නොහැකිය. ඒ නිසා ඔවුන්ගේ විහිළුවලට ජනතාව සිනාසෙන්නේ කිති කවාගෙනය. සමහරුන්ගේ විහිළු කොතරම් නීරසද යත් ඒ නිසාම ඔවුහු ජනතාව ඉදිරියේ ජෝකර්ලා බවට පත්වෙති. ‘මුන්ට අඩුම ගාණේ හොඳ විහිළුවක්වත් කියන්ඩ දන්නෙ නෑනේ. උන්ම විහිළු කතා කියලා උන්ම හිනා වෙනවා. අපිට ඒවට ලේ කෝප වෙනවා’ ජනතාව එසේ චෝදනා කරති. එහෙත්, දේශපාලකයන් නම් සිනාසී තරවන බව ඔවුන්ගේ විරූපී රූපකායයන්ගෙන් මනාව පිළිබිඹු වේ.

විකට නළුවකු යුක්රේනියානු ජනාධිපතිකමට පත්වීම ගැන නොයෙක් අදහස් උදහස්, ප්‍රතිචාර ලොව විවිධ මාධ්‍යයන්ගෙන් අසන්නට දකින්නට ලැබෙයි.

මේ පුවත දැනගත් වහාම ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ඒ බව ජනාධිපති ට්‍රම්ප්ට දුරකථනයෙන් දැන්වීය. ඔහු ඒ මොහොතේ සිටියේ හුවාවි දුරකථනයක කෑලි ගලවා පරීක්ෂා කරමිනි.

“මිස්ට ප්‍රසිඩන්ට්, ජෝකර් කෙනෙක් ජනාධිපති ධූරයට පත්වෙලා.”

“කොහෙද.. අමෙරිකාවෙද?”

හුවාවි හුටපටයේ පැටලී සිටි ට්‍රම්ප් ඇසීය.

“නෑ.. නෑ.. මිනිස්සු තාම එහෙම හිතන්නෙ නෑ..”

“එහෙනම් කවුද? ඡන්ද කාලේ භාවනා කරන්න ගිය මෑන්ද? කහපාට රෙදි පොරවගෙන ඉන්න වයසක හාදයා?”

“නෑ.. නෑ.. ඒ ඉන්දියාවේ මෝදිනේ”

“එහෙනම් කවුද? කොරියාවේ බෝලයාද?”

“නෑ.. නෑ.. යුක්රේනියාවේ සෙලෙන්ස්කි කියලා කෙනෙක්. මිනිහා කොමඩි ඇක්ටර් කෙනෙක්”

“හැබෑට? මමනම් අහලා නෑ”

“අපි ඒ ගැන මොනවාහරි ප්‍රකාශයක් කළොත් හොඳයි නේද?”

“එහෙනම් කියනවා මිනිහා හොඳ විහිළුකාරයෙක්ද නැද්ද කියන එක, ඒ රටේ ජනතාවට බලාගන්න වෙන්නෙ දැන් තමයි කියලා.” ට්‍රම්ප් දුරකථනය පසෙක තැබුවේය.
යුක්රේනයත් සමඟ රුසියාව හැමදාම කොක්කය. වලියට බරය. යුක්රේනය ද රුසියාවෙන් ගේම ඉල්ලීමට කැමති බව එක්සත් ජාතීන් පවා දනී.

රුසියානු ජනපති පුටීන් ‘සිනා නොමසෙන් දසන් දක්වා’ යන්න ආදර්ශ පාඨය කරගත්තෙකි. එයින් ඔහු විහිළුවලට අකමැති යැයි අදහස් නොවේ. අද ලෝකයේ නිර්මාණය වී තිබෙන දේශපාලන උපහාස කතා අතර පුටින් වටාද පරිච්ඡේදයක් පිරවීමට තරම් කතා හැදී තිබේ. තමන් හිනා නොවුණත්, අනුන් හිනැස්සවීමට හැකිවීම ද එක්තරා විදිහක විහිළුවකි.

සෙලෙන්ස්කි ගැන ට්විටර් සටහනක් තැබූ යුක්රේනියානු කවියකු මෙසේ කියා තිබුණි.

“සෙලෙන්ස්කි මෙතෙක් විහිළු කළේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ටය. එහෙත්, දැන් ඔහු විහිළු කිරීමට සැරසෙන්නේ රටේ ජනතාවටය.”

තවත් අයකු මෙසේ ලියා තිබුණි.

“සෙලෙන්ස්කි! ඔබේ විහිළුවලට සිනා නොවන අය ද රටේ සිටින බව අමතක නොකළ යුතුය. වඩා වැදගත් වන්නේ ඔවුන් සිනා ගැන්වීමය.”

එරට වෙසෙන ජනප්‍රිය විකට නළුවෙක් මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

“මෙය අපේ වෘත්තිය හෑල්ලුවට ලක්කිරීමක්. ජනාධිපතිවරයෙක්ට විහිළුකාරයෙක් වෙන්න අයිතියක් තියෙනවා. ඒත්, විහිළුකාරයෙක් ජනාධිපති වෙන එකනම් කොහෙත්ම අනුමත කරන්න බෑ”

නව ජනාධිපතිවරයා ගැන විවිධ පුද්ගලයන්ගෙන් අදහස් විමසමින් ගිය යුක්රේනියානු මාධ්‍යවේදියකුට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයකු ද මුණ ගැසුණි.

“විකටයකුට ජනාධිපතිකම හිමිවීම ගැන ඔබගේ අදහස?”

“අපිට ඒකෙ අමුත්තක් නෑ. අපි ඒවා කරලා තියෙන්නෙ”

- කපිල කුමාර කාලිංග