සහරාන්, අල් තොරොන්, අයි.එස්. ආදී මාතෘකා ගැන කතා කරමින්ද, කෙස් පැලෙන තර්ක නගමින්ද සිටි අපේ කාර්යාලයීය මිත්‍ර සමාජයට යම් අස්වැසිල්ලක් ලැබුණේ, අසල්වැසි ඉන්දියාවෙන් ආ අලුත්ම පුවත නිසාය. එරට පැවති ජනාධිපතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ජයගන්නේ ප්‍රතිවාදී පක්ෂ සෝදාපාළුවකට ලක් කරමිනි.
මෝදි හා ගැටුණු කොංග්‍රස් පක්ෂයේ නායකයා වූ රහුල් ගාන්ධිට ගාන්ධි බලකොටුවක් ලෙස සැලකුණු ගාන්ධිවරුන්ට සින්නක්කර වී තිබුණු අමෙති ආයතනයෙන්ද පල්ලම් බසින්නට වීම ලජ්ජා සහගතය. එය එසේ මෙසේ ලජ්ජාවක් නොවන්නේ රහුල් එහිදී පරාජය වන්නේ ස්මිර්ටි අයිරානි නමැති හිටපු ටෙලි නිළියකට වීමය. ඇය නිරූපිකාවක මෙන්ම නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කළ සුරූපී කාන්තාවකි.
අප මිත්‍ර සමාජය, මේ පුවතින් ඇවිස්සී ගියේ බඹර වදයක් මෙනි.
“ඉන්දියාවට කලින්නෙ ලංකාවෙ ඔය වගේ දේවල් සිද්ධ වුණේ. ගම්පහ පැත්තෙ පරණ දේශපාලනඥයො මඤ්ඤං කරල ටෙලි නිළියක් සභාවට තේරුණේ.” සූරියවංශ මහතා කීවේය.
“හැබෑ නේන්නම්... එයා මොනවද සභාවට ගිහින් කෙරුවෙ?”
“ඒවත් ඉතින් මෙගා ටෙලිනාට්‍ය වගේ තමයි, මිනිස්සු නිළියන්ට ඡන්දෙ දෙන්නෙත් නාට්‍ය බලන්ඩනෙ.” අයිරීන් සහ කැත්ලීන් ද සාකච්ඡාවට එක්වූයේ එසේය.
“ඒ විතරයැ, තවත් නිළියො පාර්ලිමේන්තුවෙ හිටියනෙ. නිළි රැජිනියෝ, අනුලා බිසවලා වගේ අය.” වැලන්ටන් කීය.
“ඒගොල්ලො මොනවද කෙරුවෙ?”
“චිත්‍රපටි කර්මාන්තය නග්ගල ගන්නැති.” රොබින් සිනාසුණේය.
“ඒක කරන්න පාර්ලිමන්ට් යන්ඩ ඕනයැ. එළියට වෙලා චිත්‍රපටි හැදුවම ඉවරයිනෙ.” සූරියවංශ තර්කයක් නැගීය.
“නිළියො ගැන තමයි මේගොල්ලන්ට අමාරුව! ඇයි නළුවොත් පාර්ලිමන්ට් ගියෙ. මහ නළුවෙක් කතානායකත් වුණේ.” කලා සංගමයේ ලේකම්වරිය වන, ක්ලැරිස් ද කතාවට එක්වුණාය.
“ඒ නළුවා කෙරුවෙ කොකේන් අල්ලපු එක.” රොබින් සිනාසුණේය.
“අන්තිමේට නඩුත් නෑ, බඩුත් නෑ, හාමුදුරුවොත් නෑ.” ඔහුම යළිත් සිනාසුණේය.
“නළු නිළියො දේශපාලනයට එන එක අලුත් දෙයක් නෙවෙයි. ඉන්දියාව තමයි ලෝකෙම නොම්මර එක. එම්.ජී.ආර්., ජයලලිතා, ජයා බහදූරි, අමිතාබ් බච්චන්, රාජේශ් ඛන්නා, සුනිල් දත්, හේමා මාලිනි, රාඛි, විජායිශාන්ත්, ශිවාජි ගනේෂන්, නර්ගීස්, සන්ධ්‍යා රෝයි... ඔය වගේ දිග ලැයිස්තුවක් තියෙන්නෙ.” ක්ලැරිස් තම සිනමා දැනුම ප්‍රදර්ශනය කළාය.
“ලෝකේ ගත්තත් එහෙම තමයි, අමෙරිකාවෙ රොනල්ඩ් රේගන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ක්ලින්ට් ඊස්ට්වුඩ්, ආර්නෝල්ඩ් ෂ්වාසෙනගර්, ග්ලෙන්ඩා ජැක්සන්, ෂර්ලි ටෙම්පල්... දිග ලැයිස්තුවක් තියෙනවා.” සූරියවංශ, ක්ලැරිස්ට හිතවත්ය!
“යුක්රේනයෙත් සෙලෙන්සිකි ජනාධිපති වුණේ ගිය සතියෙනෙ. දැන් ලෝකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මේක වගේ.” රොබින් සිනාසුණි. ඔහු හැමදේම සැහැල්ලුවට ගන්නේ, තමා සැබෑ ශ්‍රී ලාංකිකයකු බව සනාථ කරවමිනි.
“දේශපාලනඥයොත් කරන්නෙ රඟපෑමක්. එහෙව් එකේ නළු නිළියොත් පාර්ලිමන්ට් යවන්න මිනිස්සු පෙළඹෙන්නෙ ඇයි?”
සූරියවංශගේ ප්‍රශ්නයෙන් මිත්‍ර සමාජය මොහොතකට නිහඬ වුණි. කිහිපදෙනෙක් විවිධ පිළිතුරු දෙන්නට වූහ.
“මිනිස්සු නළු නිළියන්ට ආදරෙයි. ඒගොල්ලන්ට කරන සැලකීමක් හැටියට මනාප දෙනවා.”
“මිනිස්සු නළු නිළියො විශ්වාස කරනවා. ඉන්දියාවේ දෙවියන්ගෙ චරිතය රඟපාන අයට ඡන්දය දෙන්නෙ ඒ නිසා. දෙවිවරු බලයට ආවම ජනතාවට උදව් කරයි කියල හිතලා.”
“ඒ වුණත් නළු නිළියො ඒ විශ්වාසය රකිනවද? පෙරළා මිනිස්සුන්ට ආදරය කරනවද?”
“නෑ.. ඒගොල්ලොත් කරන්නෙ, මේකප් දාලා මිනිස්සුන්ව අන්දන එකම තමයි.”
“ඕක වෙනස් වෙන්න තිබුණා, විජය කුමාරතුංගයි, එච්.ආර්. ජෝතිපාලයි පාර්ලිමේන්තුවට ආව නං.” ක්ලැරිස් කීවාය.
“විජයට පාර්ලිමේන්තු එන්න දුන්නෙ නැත්තේ ජේ.ආර්. ජෝතිට වළ කැපුවෙ ප්‍රේමදාස.” රොබින් කීය.
සජිත් අගමැති වෙන කල් බලාසිටින වැලන්ටන් ඉන් කිපුණි.
“ඒක යකාගෙ කතාවක්නෙ රොබින්. තමුසෙ කොහොමද කියන්නෙ, ප්‍රේමදාස මහත්තය ජෝතිට වළ කැපුව කියලා. ඉන්න ගෙදර දුන්නෙත් එතුමනෙ...”
“නෑ. නෑ... ප්‍රේමදාස මහත්තය ජෝතිව පාවිච්චි කෙරුවෙ ගම්උදාවල සින්දු කියන්න. ඒක මිනිහට නරකට හිටියා!”
“ජෝති පාර්ලිමන්ට් ගියා නං එතන බයිලා වෙනුවට හොඳ සින්දු ටිකක් අහගන්ට තිබුණා.”
ක්ලැරිස් දුක් වුණාය. අනෙක් අය ඉවත බලාගෙන සිනාසුණෝය.
නැවතත් කතාව, මෝදිගේ පැත්තට හැරුණි. විවිධ කතා නැගුණි.
“මෝදි දිනුවෙ කටින්. මිනිහ හින්දු ජාතිකයාගෙ පපුවට කතා කරන්න දන්නවා. රහුල්ට බෑ. මිනිහ හිනාවෙන්නවත් දන්නෙ නෑනෙ.”
“ලංකාව, ඉන්දියාව වගේ රටවල ඡන්ද දිනන්න ඕන කතාව තමයි. මොළේ නෙවෙයි.”
“ඡන්දදායකයන්ටත් මොළේ නෑ. හදවත විතරයි තියෙන්නෙ.”
“හදවතද වැඩිය වටින්නෙ, මොළේද?”
“හදවත නැත්තං, මොළේ මොකටද? හදවත නැවතුණොත් සේරම ඉවරයිනෙ.”
“අපේ දේශපාලනඥයො වැඩිය පාවිච්චි කරන්නෙ මොකක්ද?”
“මොළේ! කපටිකම එන්නෙ මොළෙන්නෙ.”
“මොළේ නැති කෙනෙක් බලයට ආවොත් මොකද වෙන්නෙ.”
“හදවත ඉස්සරහට ගන්නවා.”
“ඔය දෙකම නැති කෙනෙක් බලයට ආවොත්...?”
“රටක් ගෙනියන්න, කටක් විතරක් ඇති කියල ඔප්පු කරනවා.”
► කපිල කුමාර කාලිංග