පසුගිය සතිය මුල මම හික්කඩුවේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වනු පිණිස ගියෙමි. එය මා වෙනදා දුටු හික්කඩුව නොවේ. ආසාවකට දකින්නට සුද්දෙක් නැත. වැල්ලේ හෝ පාරේ ඇවිද යද්දී සුද්දෙක් දෙන්නෙක් ඇඟේ හැපුණු සංචාරක පුරවරයකට මේ සිදුව ඇත්තේ කුමක්ද? පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයන්ගේ පැමිණීම බින්දුවටම වැටුණේය. සුනාමි කාලයේදීවත් නැති තරම් සුනාමියක් හික්කඩුවට කඩාවදින්නේ ඒ හේතුවෙනි.
මීට මාසයකට දෙකකට පෙර ලෝකයේ ඇති හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණු සිරිලංකාවට පැය විසිහතරක් තුළ “භයානකයි” ලේබලය වැදුණේය. ඇතැම් රටවල් දැන් එය තරමක් ලිහිල් කර ඇත්තේ “පරිස්සමින් ගිහින් එන්න” යනුවෙනි.
හෝටලයෙන් පිටත ගාලු පාරට ආ මම එහි සිටි ත්‍රිරෝද රියැදුරෙකු සමඟ කතාවට වැටුණෙමි.
“මිත්‍රයා.. කොහොමද දැන් තත්ත්වේ? ටුවරිස්ලා එයිද?”
“මොන පිස්සුද මහත්තයා.. උපන්තේකට මේ වගේ වේලුණේ නෑ..” ඔහු කීවේ යටිතොල පෙරළමිනි.
“මෙහෙම ගියොත් හෝටල් වහන්න වෙයි.. ලොකු හෝටල්වල ගෙස්ට්ලා එක්කෙනෙක්ට දෙන්නෙක්ට වැඩිය නෑ..”
ඔහු නැවතත් කීවේ.. මහත් කනස්සල්ලෙනි..
“යුද්ද කාලෙත් ටුවරිස්ට්ලා ආවනේ.. තව ටික දවසක් යනකොට ආපසු එන්න ගනීවී..”
මම ත්‍රිරෝද රියැදුරා අස්වැසීමට තැත් කළෙමි.
“එල්.ටී.ටී. කාරයෝ සුද්දෝ මැරුවේ නෑ. හෝටල්වලට බෝම්බ ගැහුවෙත් නෑ. මේ අයි. එස්කාරයෝ කිසි හිතක් පපුවක් නැති එවුන්නෙ. උන් සුද්දන්ගේ බෙල්ල කපලා මරණ ජාතියේ එපා කරපුම ත්‍රස්තයොනේ... මේ සෙල්ලම ඉක්මනට ඉවරයක් වෙන එකක් නෑ..” ඒ රියදුරු ත්‍රස්ත වී ඇති තරමය. මෙය ඔහුට පමණක් නොව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන සැමට පොදුය.
සිදුවූ දෙය ගැනම කම්පාවෙමින් පසුතැවෙමින් සිටිමේ තේරුමක් නැත. ඇතැම් ඇමතිවරුන් ද කියා තිබූ අන්දමට මේ “බෝම්බ කෙළිය” ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවිය හැකි දෙයකි.
ජනාධිපතිතුමා ද ප්‍රකාශ කර සිටියේ රටේ තත්ත්වය දැන් සාමකාමී බවය. එය සනාථ කරනු පිණිසදෝ එතුමා තම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයද උත්සවාකාරයෙන් තරුපහේ හෝටලයක පැවැත්වීය.
එයින් කිසියම් දිරියක් ලැබීමෙන්දෝ සංගීත කණ්ඩායම්වල නියෝජිත පිරිසක් ද ජනපති හමුවට ගොස් තම “දුක” කියාපෑහ. ඊට ජනපතිගෙන් ලද පිළිතුර හෝ විසඳුම ගැන මා දන්නේ නැත. “තමුසෙලා ඕන සංගීතයක් කරගත්තට මට කමක් නෑ. අරය තමයි ඕවට හරහට හිටින්නේ.” යැයි කිව්වාදැයි දන්නේත් නැත. බෝලේ පාස් කිරීම යනු සිරිලංකාවේ වර්තමාන දේශපාලනඥයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් බව නම් දනිමු.
රටේ ලෝකේ අලුත්ම තත්ත්වයන් ගැන අපේ කන්තෝරුවේ මිත්‍ර සමාජය සමඟ සාකච්ඡා කිරීම මගේ සිරිතක් බව “හීසරය” කියවන ඔබට අමුත්තක් නොවේ. එහි පළවන අදහස්වලින් මැති ඇමැතිවරු පවා දැනුවත් වන බව විශ්වාස කටයුතු නොවන මාර්ගවලින් මට සැළවෙයි.
සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට ඇති හැකියාව පිළිබඳව ද මම අපේ මිතුරන්ගෙන් විමසූවෙමි. කාර්යාල සහායක රොබින් වෙනදා මෙන්ම පැනලා උත්තරයක් දුන්නේය.
“ළඟදීම ඕක ගොඩයනවා බොස්.. බයවෙන්ඩ දෙයක් නෑ..”
“තමුසේ කොහොමද එහෙම කියන්නේ..”
“දැන් බලන්ඩ සර්.. සෙනඟ රැස්වෙන්ඩ බය නිසා සංගීත කල්ගියා. නාට්‍ය, චිත්‍රපටි වැටුණා. වෙසක් උත්සවෙත් අප්සෙට් වුණා.. දන්සල්, තොරණ්, වෙසක් කලාප නැවතුණා. ඒත් උපවාස උත්සවේට ආපු සෙනඟ නිසා ඒ බය ඉවර වුණා.. ඒ පින්තූර, වීඩියෝස් එෆ්.බී. එකේ දැක්කම සුද්දෝ ආපහු එන්ඩ ගන්නවා.”
“රොබින් තමුසෙ හිතනවද, ලංකාවෙ මිනිස්සු වගේ සංචාරකයොත් සෙනඟට රැවටෙනවා කියලා?”
“ඒක රැවටීමක් නොවෙයි බොස්.. රටේ සාමකාමී තත්ත්වයක් නැත්නම් පූජා භූමියක උපවාස කරන්න පුළුවන් ද? සෙනඟ රැස්කරන්න පුළුවන්ද? සුද්දෝ දකින්නේ ඒක හොඳ ලකුණක් හැටියට.”
මම රොබින් සමඟ වාදයට නොගොස් මගේ “තත්ත්වය” ආරක්ෂා කර ගත්තෙමි. එසේම වාදවලින් ජයගැනීමේ පහසු ක්‍රමයක් වන්නේ වැඩිදුර නොගොස් නිහඬවීම බව මම කියවා ඇත්තෙමි. අනෙක් අතට දිගින් දිගට වාදයට ගියා නම් සිරිලංකාව යනු නගරයක් නගරයක් පාසා මාරාන්තික උපවාස පැවැත්වෙන රටක් ලෙස ප්‍රචාරය කිරීමෙන් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි යැයි ඔහු මුග්ධ අදහසක් ඉදිරිපත් කරන්නට ද ඉඩ තිබුණි. උපවාසය, උපහාසයට ලක්කිරීමට කිසිසේත් ඉඩදිය යුතු නැත. එය සංචාරක ව්‍යාපාරය සඳහා යොදවා ගන්නට යමෙකු අදහස් කරන්නේ නම් ඊට පෙර ඇසූපිරූ තැන් ඇත්තෙකුගෙන් විමසා සිටීම වඩා වැදගත් වනු ඇත.
ඇතැම් සංචාරකයන් මෙරටදී විවාහ මංගල්‍ය උත්සව ගැනීමට ප්‍රියකරන්නා සේ උපවාස, සත්‍යග්‍රහ ආදිය පැවැත්වීමට ද කැමැත්තක් දැක්වීමට ඉඩ ඇත. (එහෙත් එය දින තුන හතරකට වඩා නොපැත්විය යුතු බවත් මාරාන්තික නොවිය යුතු බවත් කල්තියා ඔවුන් දැනුවත් කළ යුතුය.)
මහත්මා ගාන්ධිතුමා උපවාසය හා සත්‍යග්‍රහ යොදාගත්තේ අහිංසාවාදී සටන් ක්‍රමයක් ලෙසිනි. එහෙත් අයර්ලන්ත විමුක්ති සටනේ බොබී සෑන්ඩ්ස් දින 66ක උපවාසයකින්, බන්ධනාගාරය තුළ මිය ගියේ සන්නද්ධ අරගලය මුවහත් කරමිනි. පලස්තීනූ සටන්කාමීහු ද සිරගෙවල් තුළ උපවාසය සඳහා ප්‍රකටය. නෙල්සන් මන්ඩෙලා, හිස් ගිනිපෙට්ටි තුළ පවා රහස් සන්නිවේදනයක යෙදෙමින් බන්ධනාගාරය තුළ උපවාසයක් මෙහෙයවීය. තිලීපන් මිය යනතුරුම උපවාසයක යෙදුණු බව කොටින්ටත් දැන් අමතකය. උපවාසය කොතරම් අහිංසක වුවත් හැමවිටම දේශපාලනික විය.
මුහුණුපොත, ට්වීටර් පණිවිඩ ඇතුළු නූතන දුරකථන සන්නිවේදන ජාලය ද (සමාජ මාධ්‍ය) වර්ජන, තර්ජන, ගර්ජන සඳහා යොදාගැනේ. “අරාබි වසන්තය” නමින් හැඳින්වුණු සමාජ පෙරළියට ද මුල පිරුණේ සමාජ මාධ්‍යයි, පසුදින දිනෙක මෙරට මුහුණුපොතේ සටහන් දෙකක මෙසේ දැක්වුණි.
• සිරිලංකා ක්‍රිකට් පිලට ලෝක කුසලානය අතහැර දමා ආපසු එනමෙන් බලකොට මාරාන්තික උපවාසයක් අරඹමු.
• ලක්ෂ ගණනින් රැස්ව “දියවන්නා දුඹුරු මාළිගය” වට කර එහි සිටිනවුන්ට උපවාසය පිළිබඳ අත්දැකීමක් ලබාදෙමු.
► කපිල කුමාර කාලිංග