වාසිබෝලන්තයේ මාධ්‍යවේදියකු වන මා මිත්‍ර බර්නින් ඩොමීනියන් පසුගිය සඳුදා දුරකථන ඇමතුමක් දුන්නේය.
“ඉතින් කොහොමද? මේ දවස්වල කාර්යබහුල ඇති නේද?” ඔහු ඇසුවේය.
“විශේෂයක් නෑ. වෙනද වගේ වැඩ කරගෙන යනවා. වෙසක් එකෙන් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට හැරුණනේ. ඊයෙ පෙරේදා මෝදි ජීත් ඇවිත් ගියානේ.”
“ඔයා පුදුම කතාවක්නෙ කියන්නේ. අපි මේ ළඟදිත් කතා වුණා ලංකාවේ ඉන්නේ පුදුම වාසනාවන්ත මාධ්‍යවේදියො පිරිසක් කියලා.”
“වාසනාවන්ත?”
මම මවිතයෙන් ඇසුවෙමි.
“නැතුව! යූ.එන්.ඕ. එකෙන් ඔයගොල්ලන්ට විශේෂ සම්මානයකුත් දෙන්ඩ යනවලු. ලෝකයේ වැඩිපුරම පුවත් මවන රට කියලා.”
“ඇයි අපිට විතරක් විශේෂයක්. පහුගිය දවස්වල එංගලන්තේ, අමෙරිකාව, ඉන්දියාව මොනතරම් නිව්ස් දුන්නද?”
“ඒවා ඒ තරම් ලොකු දේවල් නෙවෙයි. ට්‍රම්ප් කියන දේවල් එයාගෙ ගෙදර කට්ටියවත් ගණන් ගන්නෙ නෑ. තෙරේසා මේ අඬ අඬා අස්වෙලා ගියා කියලා එංගලන්තෙට ගාණක් නෑ. ඉන්දියාවේ මෝදි දිනනවා කියන එක රාහුල් ගාන්ධිත් කලින් දැනගෙන හිටියේ.”
“ඔයා කියන්න හදන්නේ බෝම්බ සිද්ධිය ගැනද? තිස් අවුරුද්දක් යුද්ධ කරපු අපිට ඒක ලොකු දෙයක් නෙවෙයි.”
“හරියට හරි! ඔයගොල්ලන්ට නිව්ස් වැඩියි. ඒකයි හේතුව. අපිටනම් ඒක හත් අවුරුද්දකට ඇති. ඔයගොල්ලො කොච්චිකඩේ අමතක කරනකොටම මිනුවන්ගොඩ ආවා. ඒක මැකෙනකොටම උපවාසේ ආවා. ඒකත් දියාරු වෙනකොටම වඩුමඩුව ආවා. දැන් අලුත්ම ගේම් එක පාර්ලිමේන්තුවයි ජනාධිපතියි ගැටුම.”
“බර්නින් කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.” මම පරාජිත හඬින් මිමිණුවෙමි.
“මම උදේට කරන පළවෙනි වැඩේ, සිරි ලංකාවේ නිව්ස් බලන එක. ඊටපස්සේ තමයි අපේ රටේ ඒවා බලන්නේ. මාධ්‍යවේදියෙක් හැටියට බලනකොට සිරි ලංකාව හරිම ඉන්ටරෙස්ටින් කන්ට්‍රි එකක්.”
බර්නින් ඩොමීනියන් මඳ සිනාවක් පෑවේය.
කුමන ආකාරයකින් හෝ සිරි ලංකාව ඉහළට ඔසවා තැබීම ගැන මා තුළ ඇති වූයේ සියුම් අභිමානයකි. බර්නින්ට ස්තූති කළ යුතු යැයි සිතන විටම ඔහු නැවත කතා කළේය.
“හැබැයි පුවත් මවන එක ඇරෙන්න ඔයගොල්ලන්ගේ රටේ වෙන දෙයක් නම් වෙන පාටක් නෑ නේද?”
“ළඟදිම ඉලෙක්ෂන් එකක් එනවනේ. අලුත් ජනාධිපති කෙනෙක් පත්වුණාට පස්සේ වැඩට බහීවි.”
“අලුත් කෙනෙක්? පරණ ජනාධිපතිම නැවත පත් වුණොත්?”
“එහෙමනං ඉක්මනටම ආයෙත් ඉලෙක්ෂන් එකක් තමයි”
“අන්න බලන්න, ඔයගොල්ලො පුවත් මවන හැටි”
බර්නින් නැවත වරක් තම මතය සනාථ කළේ මා නිරුත්තර කරමිනි.
“ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවෙත් අයි.එස්. එකෙන් සල්ලි ගත්තු අය ඉන්නවා කියන්නේ ඇත්තද?”
බර්නින් යළිත් මා ඇවිස්සුවේය.
“කටකතා නම් ඕන තරම්. ඒත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බෑ. අපේ රටේ තියෙන්නේ පැමිණිලි සහ නඩු විතරයි. කිසිමදාක ඒවා විසඳෙන්නෙ නෑ. වැරදීමකින් වගේ කෙනෙක් හිරේ ගියොත් එයාටත් පුළුවන් ජනාධිපති සමාවකින් ගෙදර යන්න.”
“එල්ලුම් ගහ දැන් ක්‍රියාත්මක වෙනවද?”
“මම හිතන්නේ තාම අළුගෝසුවො ගන්න ඉන්ටර්වීව් කරනවා”
“ඕවා පරණ ක්‍රමනේ. විදුලි පුටුවක් ගෙනාවනම් ප්‍රශ්නෙ ඉවරයි.”
“අපේ රටට එක විදුලි පුටුවක් මදිනෙ යාළුවා. ගේනව නම් දෙසිය ගාණක් ගේන්න වෙනවා. ඒක මුදල් නාස්තියක්.”
“ඒවා ගැන කතා කරපු සමහර මන්ත්‍රීවරු දැන් නිශ්ශබ්දයි නේද? ඒගොල්ලො කළකිරිලද?”
“නෑ.. නෑ.. සමහරු දැන් නීතිය දාගෙන ගන්නවලු.”
“ඒ මොකද?”
“තමන්ට වැටිලා තියෙන නඩුවලට තමන්ම කතා කරන්ඩලු. එතකොට නඩු බරක් වෙන්නෙ නෑ.”
“සිරි ලංකාවේ මිනිස්සු දැන් ටෙලි නාට්‍ය බලන එක අඩු කරලා කියන්නේ ඇත්තද?”
(බර්නින් නොදන්නා මඟුලක් නැත!)
“ඔව්. දැන් හුඟ දෙනෙක් බලන්නේ විශේෂ කාරක සභාව... ඒක ටෙලි නාට්‍යයකට වඩා ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්ලු.”
“සිරි ලංකාවෙ මිනිස්සු හැම දෙයක්ම සීරියස් ගන්නෙ නැතුව විනෝදෙට හරවගන්නවා නේද?”
“මම හිතන්නේ ඒක අපේ දේශපාලනඥයන්ගෙන් පුරුදු වුණ දෙයක්.”
“ලෝකෙ හොඳම හාස්‍යෝත්පාදක පාර්ලිමේන්තුවට සම්මානයක් දෙනවා නම් ඒකත් සිරි ලංකාවටම තමයි.”
බර්නින් මඳ සිනාවක් පෑවේය. බර්නින් ඩොමීනියන්ගේ උපහාසය දැනුණද මම එයද ආඩම්බරයකට හරවා ගතිමි.
“දැන් බලන්ඩ අර යූ.ටියුබ් එකේ යන සින්දුව.. නානා නානා මේ අහන්න නානා.. වානා වානා යුද්දෙ ආයෙ වානා... ඕනා ඕනා සාමෙ තමයි ඕනා..”
බර්නින් තාලයට ගැයුවේය. (එය රජීව් සෙබෙස්තියන් හා ඉෂාක් බෙග්ගේ ගීතයකි. මෑතකදී සමාජ ජාලා තුළින් බොහෝ ජනප්‍රිය විය)
“ඒ සින්දුව අහනකොට සිංහල - මුස්ලිම් ජාතීන්ට කරට අත දාගෙන ජීවත් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා”
බර්නින් එය අගය කළේය.
“ළඟදි මම තව නිව්ස් එකක් දැක්කා.. ප්‍රභූ වාහනවලට පාර හරස් කරනකොට, අනිත් වාහනවල ඉන්න මිනිස්සු හෝන් ගහන්ඩ පටන් අරන්ලු නේද?”
“ඔව්. ඔව්. අද හෙටම හෝන් ගහන එක නවත්තලා පාරට බැහැලා කනට ගහන්ඩ ගත්තොත් පුදුම වෙන්ඩ දෙයක් නෑ”
ඒ මොහොතේ බර්නින් ඩොමීනියන්ගේ දුරකථනය විසන්ධි විය.
- කපිල කුමාර කාලිංග