කිෂෝර් මබුබානි, සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. වයස 70කි. දැනට ඔහු, එරට ජාතික විශ්වවිද්‍යාලයට අනුබද්ධ, ජාතික ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාලයෙහි මහාචාර්යවරයකු හා ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරයි. දුප්පත් සිංගප්පූරුවේ ඉපිද, පොහොසත් සිංගප්පූරුව තුළද ජීවත්වීමේ භාග්‍ය ලත් මබුබානි, තම අත්දැකීම් අනෙක් රටවලට කියා දීමට මැළි නොවෙයි. විශේෂයෙන්ම, තුන්වැනි ලෝකය යැයි නිගරු ලද, නොදියුණු රටවලට ඒවා වැදගත් වෙයි.
මබුබානිගේ කතා, අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධය. ජනප්‍රියය. අපේ රටේ ඇත්තෝද, ලොකු ලොක්කෝද ඒවා දකිති. එහෙත් නොදැක්කා සේ සිටිති. සිරි ලංකාව වැනි රටවලට දියුණුව ‘අරහං’ දැයි එවිට අපට සිතේ.
සිංගප්පූරුවේ දියුණුවට හේතු වූ ප්‍රධාන කුලුනු තුනක් ගැන මබුබානි පවසයි. MPH යනු අකුරු තුනෙන් හැඳින්වෙන ඒවායින් පළමුවැන්නේ තේරුම, මෙරිටොක්‍රසි (Meritocracy) නොහොත්, නියම සුදුස්සාට නියම තැන දීමයි. මෙය කුසලතා තන්ත්‍රය ලෙසින් ද හැඳින්වේ. දෙවැනි කුලුන, ප්‍රැග්මටිසම් (Pragmatism) නොහොත් උපයෝගීතාවයි. චීන ජනාධිපති ඩෙං ෂියාඕ පිං කියූ අන්දමට, මීයන් අල්ලනවා නම්, බළලා කළු වුණත් සුදු වුණත් ප්‍රශ්නයක් නැත. සිංගප්පූරැවද සමාජවාදයෙන් මෙන්ම ධනවාදයෙන්ද තමන්ට අවශ්‍ය දේ තෝරාගත්තේය. අවශ්‍ය වන්නේ රට ඉදිරියට ගෙන යාමය.
තුන්වැනි කුලුන ‘ඔනස්ටි’ (Honesty) නොහොත් අවංකභාවයයි.
සිංගප්පූරුවේ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, විදේශ සංචාරයක යෙදී ආපසු සිය රට ආ විගස අත්අඩංගුවට ගනු ලැබීය. පුදුමයට පත් ඔහු, මෙසේ ඇසුවේය.
“මොකටද මාව අත්අඩංගුවට ගත්තෙ? මොකක්ද මම කරපු වරද?”
එවිට ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.
“ඔබ විදේශ සංචාරයේ යෙදුණේ මේ රටේ ව්‍යාපාරිකයෙක් සමඟ. ඔබේ සියලු වියදම් දැරුවේ ඔහුයි. ඔබ කළ වරද එයයි.”
නියෝජ්‍ය ඇමැතිවරයා සිරගත කෙරුණි. එසේ නීතිය අකුරටම ක්‍රියාත්මක වනවිට, අන් කිසිවෙක් වංචා දූෂණයන්ට නොපෙළඹෙති.
රටක් හැදීමට නම්, මේ කුලුනු තුන, ශක්තිමත්ව තිබිය යුතු බව කිෂෝර් මබුබානි අපට කියා දෙයි.
මම ඒ කතාව, කන්තෝරුවේ මිත්‍ර පර්ෂදය හමුවේ තැබීමි.
“අපේ රටේ නං ඔය කුලුනු තුන කවදාවත් හැදෙන්නෙ නෑ.” රොබින් කීය.
“අපි මුලින්ම පටන් ගන්න ඕනෙ, සුදුස්සාට සුදුසු තැන දීමෙන්.” ජයසේකර කීය.
“ලෝකය හිනස්සන, පිස්සු කෙළින එවුන් නායකත්වයට පත් කරන්න නරකයි... අපිට හොඳ ජාතික නායකයෙක් ඕනෙ.” අමර්නාත් පැවසුවේ ආවේගයෙනි.
“එහෙම කෙනෙක් පේන තෙක් මානෙකවත් නෑනෙ.” රොබින් නක්කල් සිනාවක් පෑවේය.
“නියම අවස්ථාවෙදි නායකයෙක් පහළ වෙයි.” අමර්නාත් පැවසීය.
“කිෂෝර් මබුබානි මහත්තයව, ලංකාවට ගෙන්න ගත්තොත් නරකද? එයා නියමෙට හදයි ඔය කුලුනු තුන.”
“ඔන්න රොබින් තමුසෙ වරද්ද ගත්තා.” මම හරස් කැපුවෙමි. “මබුබානි කියන්නෙ මහාචාර්යවරයෙක්.. ජාතික ප්‍රතිපත්ති උපදේශකවරයෙක්. ඒ වුණත් එයා නායකයෙක් නෙවෙයි.”
“මහාචාර්යවරු නං, ඇමැතිකමකටවත් සුදුසු නෑ.” අමර්නාත් මගේ පැත්ත ගත්තේය.
“අපොයි ඔව්! අපිටත් ඕනේ පුටින් වගේ නායකයෙක්.” ජයසේකර තම අදහස පැවසීය.
“පිටරට නායකයො ගැන කියනකොටම, අපේ තියෙන දීන මානසිකත්වය මතුවෙනවා. ඇයි අපිට අපි අතරින්ම නායකයෙක් හොයාගන්න බැරි?” අමර්නාත්, තම මිතුරාට එරෙහි විය.
“නිදහස ලබපු දා ඉඳලම අපි නායකයො පත්කර ගත්තනෙ... රට ආපස්සට යන එක විතරයි සිද්ධ වුණේ.”
“ජයේ, කියන්නෙ ඒක ජනතාවගෙ වැරැද්ද කියලද?”
“ඔව්. ජනතාව මොකෙක් හරි අස්සයෙක් තෝරනවා. පස්සෙ තමයි උගෙ දත් තියෙනවද බලන්නෙ..?”
“අපි බුද්ධි මණ්ඩලයක් පත්කෙරුවොත් කොහොමද?”
“නායකත්වයටද?”
“ඔව්.”
“අපෝ ඒක හරියන්නෙ නෑ. එක එකා කුළල් කා ගනීවි. පාර්ලිමේන්තුව වගේම හිටී. සද්ද විතරයි. වැඩ නෑ.”
“එහෙම නං අපි බුද්ධි මණ්ඩලයකට බාරදෙමු, නායකයෙක් හොයල දෙන්ඩ.”
“ඒක නං හොඳ අදහසක් වගේ. කට්ටිය මොකද කියන්නෙ?”
අමර්නාත් සහ ජයසේකර වටපිට බැලූහ. කාන්තා පාර්ශ්වය උනන්දු වූයේ එවරය.
කම්පියුටරයෙන් දෑස් මෑත් කළ, සැන්ඩ්‍රා, කට උල්කරමින් මෙසේ කීවාය.
“මේ රටේ හොඳම අයිඩියාස් තියෙන්නෙ ෆේස්බුක් එකේ ඉන්න අයට. ඒගොල්ලන්ගෙන් ඔය බෝඩ් එක හැදුවොත් නියමෙට තියෙයි.”
“ඔව් අනේ... මාත් රටේ ලෝකෙ හැමදෙයක්ම දැනගන්නෙ එෆ්.බී. එකෙන්.” සඳපානී ද සිය තොඳොල් ස්වරයෙන් කීවාය.
“එෆ්.බී. එකෙන්, රටක නායකයා තෝරාගන්නවා කියන එක, ගිනස් රෙකෝඩ් එකකුත් වෙයි.” සැන්ඩ්‍රා සිනාසෙමින් වටපිට බැලුවාය.
රොබින්, මදෙස බලමින් ඉඟි මැරුවේය.
“දැනට ඉන්න නායකයො තියල තියෙන රෙකෝඩ් මදිද මැඩම්.” ඔහු ඇසුවේය. සැන්ඩ්‍රා රවා බැලුවාය.
“තමුසෙත් එෆ්.බී. එකේ ඉන්න අය වගේ තමයි. දන්න එකටයි, නොදන්න එකටයි හැම එකටම කට දානවා.” ජයසේකර, සැන්ඩ්‍රා සනසනු පිණිස දෝ, රොබින් සැර වුණේය.
අවසානයේදි, සිරි ලංකාවට සුදුසු ජාතික නායකයකු සෙවීමේ වගකීම, ෆේස්බුක් නොහොත් මුහුණුපොතට බාරදීමට සියල්ලෝ එකඟ වූහ.
රොබින්, සෙමින් මට ළං විය.
“සර්.. මේක දැනගත්තොත් අර මනුස්සයා, ෆේස්බුක් එකත් තහනම් කරයි.”
“නෑ නෑ.. ඒක කරන එකක් නෑ.. උන්නැහෙත් රටේ වෙන දේවල් දැනගන්නෙ ෆේස්බුක් එකෙන්ලුනෙ!”
► කපිල කුමාර කාලිංග