2019 ජුනි 29 වන සෙනසුරාදා

ලිච්ඡවී ප්‍රශ්නය

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 338

ලිච්ඡවි නමින් මගේ මිත්‍රයකු සිටී. ඉතා නිහතමානී, ඉතා සාමකාමී පුද්ගලයකු වන ඔහු මේ දිනවල, බරපතළ ප්‍රශ්නයකට මුහුණපා සිටින බව මා හා පැවසීය.

“මම යන යන තැන ලිච්ඡවි කේස් එක මොකක්ද කියල අහනවා.. මේක හරි හිරිහැරයක්නෙ.”

“ඕක අපේ අගමැති, ජනපති කේස් එකමනෙ.”

“ඒක තමයි, ඒත් ඒක මගෙන් අහල වැඩක් තියෙනවයැ?”

“ලිච්ඡවිගෙන්ම අහන්නෙ නැතුව, වෙන කාගෙන් අහන්ඩද ලිච්ඡවි... අද සේරම අංජ බජල් වෙලානෙ තියෙන්නෙ.” මම සිනාමුසුව කීවෙමි.

ලිච්ඡවි රජදරුවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ බුද්ධකාලීන සමාජයෙහිය. මගධ රට අධිපති වූ අජාසත් රජතුමාගේ ඇමැතිවරයකු වූ මස්සකාර, දිනක බුදුරදුන් දැකීමට එයි. එහිදී ඇතිවූ කතාවෙන් අජාසත් රජු, ලිච්ඡවින් හා යුද්ධයට සැරසෙන බව හෙළිවෙයි. මේ අවස්ථාවේ බුදුරදුන් අසල සිටි ආනන්ද හිමියන්ගෙන් අසා වදාරන්නේ, තමන්වහන්සේ කලකට ඉහත වේසාලියේදී දෙසා වදාළ සප්ත අපරිහානිය ධර්මයන් ඔවුන් විසින් තවමත් කඩ නොකොට රකින්නේද යන වගය. එය එසේ නම්, ලිච්ඡවීනට කිසිදු පිරිහීමක්, අගතියක් නොවන්නේ යැයිද උන්වහන්සේ වදාරයි.

මේ බුදු බණ එදා මෙන්ම අදත් ප්‍රාණවත්ය. ජීවමානය. එහෙයින් අද වුවද ඉහත කී අපරිහානීය ධර්ම සත රකින පවුලක්, ගමක්, රටක්, ජාතියක් මොනම ක්‍රමයකින්වත් පිරිහීමට පත් නොවන්නේය.

අපරිහානීය ධර්ම සත ගැන බෞද්ධයන් පමණක් නොව, වියත් අබෞද්ධයන් පවා දන්නා නිසා, ඒ ගැන මෙහි කතා කිරීම අනවශ්‍යය. එහෙත්, පළමු හා දෙවැනි ධර්ම කරැණු ගැන නම් කිව යුතුය.

පළමුවැන්න නිතරම පාහේ රැස්ව, අත්‍යවශ්‍ය කාරණා ගැන සාකච්ඡා කිරීමය. දෙවැන්න, සමගිව රැස්ව, සමගිව නැගිට, සමගිව කටයුතු කිරීමය.

එදා ලිච්ඡවි රජදරුවෝ සමගියෙන් රැස්ව, සමගියෙන් කතාබස් කළ නිසා, අජාසත් රජුට ඔවුන් පරාජය කළ නොහැකි වූයේය. මෙදා සිරි ලංකාවේ ‘රජදරුවෝ’ කරන්නේ එහි අනික් පැත්තය. ජන වහරට අනුව කියනවා නම්, බඩේ බිජු තියාගෙන, රැස්වීමට ඒමය. පසුගිය දිනවල, පුවත්පත්වල දේශපාලන ලිපිවල හා කතුවැකි තුළ පවා, ලිච්ඡවි රජ දරුවන් ගැන කතා කිරීමට වූයේ එහෙයිනි. අපේ ඇත්තෝ, අපරිහානීය ධර්ම දනිති. එහෙත් පරිහානියටම යති. තනි තනිව නම් කමක් නැත. මුළු රටම ඇදගෙන පරිහානියට යති.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාද, අපරිහානීය ධර්ම සත දැන සිටියාට සැක නැත. ඒ නිසාදෝ, එතුමා රට තුළ ධර්මිෂ්ට යුගයක් බිහි කිරීමට උත්සාහ කළේය. එනිසාම, විරැද්ධවාදීහු එතුමාට ‘මිස්ට ධර්මිෂ්ට’ යැයි නමක්ද පටබැන්ඳාහ.

ධර්මිෂ්ට යුගයේ, අධර්මිෂ්ට වැඩද සිදුවිය. ‘ධර්මිෂ්ට සමාජය’ නමින් පොතක් ලියූ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට ගුටිබැට දී නින්දා අපහාස කිරීම ඉන් එකකි.
මෑතකදී, අපගේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානයට ‘සමගියෙන්’ රැස්වූ මැති ඇමැතිවරුද මැරයන් මෙන් ගුටිබැට දී ගත්හ. රාජකාරි කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට පුටු ඔසවා පහර දුන්හ. පිහියා අමෝරා ගත්හ. එයින් මහජනයාට පැහැදිලි වූයේ, මොවුන්ට නම් කිසිදා ලිච්ඡවින් වීමට බැරි බවය.

එදා, මස්සකාර නම් බමුණු ඇමැතිවරයා, තමන්ගේ රජු වූ අජාසත් වෙත ගොස්, බුදුන් වහන්සේ දෙසූ කරුණු සැළකර සිටියේය. ලිච්ඡවින් සමගියෙන් සිටින තාක් කල් ඔවුන් පරාජය කළ නොහැකි බව වැටහුණු, අජාසත් රජු යුද්ධයට යන අදහස අත්හළේය. අඩුම තරමින්, ඔවුනට ගලකින් හෝ පහරදෙන ලෙස නියෝග නොකළේය. එහෙයින් සිදුවන්නට ගිය මහා ලේ වැගිරීමක් නැවතුණි.

ඇසට ඇසක්, දතට දතක් ඉල්ලීමේ, රුහිරු ප්‍රතිපත්ති තිරිසන් ලෝකයේවත් දක්නට නැත. එබඳු ලේ පිපාසා පවතින්නේ, උස් මනසක් ඇතැයි කියාගන්නා මිනිසා තුළම පමණි. එක් ජනවර්ගයක්, මිහි මතින් අතුගා, වඳකොට දැමීමට කටයුතු කළ හිට්ලර්ට ද වැරදුණේය. ඔහුගේ මිනීවළවත් සොයාගත නොහැක. හිට්ලර් ඉතිහාසයට එක්කළේ මහා කුණු කන්දකි. සොහොන් පිටියකි. ඉතිහාසයේ එම පරිච්ඡේදය දුගඳ හමයි. එහි පිටු අතර ඇත්තේ අකුරු නොව මිනී අළුය.

සිරි ලාංකිකයා තරම්, තමන්ගේ ඉතිහාසය ගැන උදම් අනන ජනතාවක් ලෝකයේ තවත් නැත. එහෙත්, ඔවුන් ඉතිහාසයෙන් පාඩම් උගෙනීමට නම් කිසිසේත් සූදානම් නැත. ඔවුහු ඉතිහාසය නමැති පහුර, කර තියාගෙන යති. එය එතෙර වීමට යොදාගන්නේ නම් නැත. එහෙයින් සිරි ලාංකිකයා යනු, ‘ඉතිහාසය’ විෂයෙන් හැමදාමත් ෆේල් වන දුර්වල ශිෂ්‍යයෙකි. ටියුෂන් දීලාවත්, ඔහු එයින් ‘පාස්’ වන බවක් නම් නොපෙනේ.

සිරි ලංකාවට, අලුත්ම දේශපාලන නායකත්වයක් අවශ්‍ය යැයි, මෑතක සිට ‘රැඩිකල්’ වී සිටින කාඩිනල්තුමාද කියා සිටී. ජනාධිපතිවරණයද අත ළඟය. වෙනසක් අවශ්‍ය යැයි හැමෝම කියති. ගෝඨලා, සජිත්ලා ගැනද කතාවෙනු ඇසේ. ඒ සෑමදෙනා පරණ ස්ටාර්ලාය. ‘කරූ ආවොත් නම් පායයි තරු” යැයි සමහරු කියති. එහෙත් කරූද, හිටපු ස්ටාර් කෙනෙකි. ජනතාව සොයන්නේ ‘සුපර් ස්ටාර්’ කෙනෙකි. කවුරැත් දන්නා පරිදි, ‘සුපර් ස්ටාර්’ට තේරෙන්නේ, අවසාන වටයේදී, හොඳටම සින්දුව කියන තරගකරුවාය. ඇතැම්විට, දක්ෂම ගායකයා යට ගොස්, වැඩිපුරම එස්.එම්.එස්. ගන්නා ගායකයා ජය ගනී. එය ශ්‍රැතියෙන් පිට යාමක් බඳුය. එවැනි අවස්ථාවලදී, ප්‍රේක්ෂකයෝ පමණක් නොව, විනිශ්චය මණ්ඩලයද කඳුළු සලති.

සැබෑ වෙනසක් සඳහා, වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ, ජනපති ලෙස පත් කරගත යුතු යැයි යෝජනාවක්ද පසුගිය දිනවල මාධ්‍ය මගින් දක්නට ලැබුණි. මේ බව ඇසූ අපේ රොබින් (කා.කා.ස.) මෙසේ කීවේය.

“වන්නිලඇත්තෝත්, කාදිනල්තුමා වගේ තමයි, කියන්න තියෙන දේ කෙළින්ම කියල දානවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කාදිනල්තුමා කියන දේ තේරෙනවා. වන්නිලඇත්තො කියන දේ තේරෙන්නෙ නෑ.”

“වන්නිලඇත්තො ජනාධිපති වුණොත්?” ජයසේන ඇසීය.

“ලංකාවටම වැදි භාෂාව උගන්වයි!” රොබින් සිනාසුණේය.

වැදි භාෂාව ගැන කියද්දී, කලකට ඉහත, මහින්ද අබේසුන්දරයන් ලියා තිබූ රස කතාවක් මතකයට නැගුණි.

දඹානේ පාසලකට ගුරු පත්වීමක් ලැබූ තරුණයෙක්, වැඩ බාරගැනීම සඳහා එහි ගියේය. ඔහු ගම්මානයට ළඟාවෙද්දී කරුවල වැටී තිබුණි. මඟ අසල පැල් කොටයක ආදිවාසියකු හිඳ සිටිනු දුටු, ගුරැවරයා ඔහුට ළංව, දන්නා “වැදි වචන” දමා, මෙසේ ඇසුවේය.

“ඇත්තෝ.. මං මේ ගමේ පොජ්ජේ ඉස්කෝල පොජ්ජට ආපු ගුරු ඇත්තො. කරුවල පොජ්ජේ මංගච්චන්න අමාරුයි. මට ගින්දර පොජ්ජක් දෙනවද?”

එවිට, ආදිවාසියා ගෙපැල තුළට හැරුණේය.

“චූටි දූ, ඔය ටෝච් එක අරගෙන වරෙන්, මේ සර්ව ඉස්කෝලෙට ඇරලල එන්ඩ.”

උඩ ගිහින් බිම වැටුණු ගුරුවරයා, ආදිවාසියාට, “තැන්කියු” කීවේය!

► කපිල කුමාර කාලිංග

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00