“මත්පැන්වලයි, මත්ද්‍රව්‍යවලයි වෙනස මොකද්ද?”
කුඩා ළමයෙක් සිය පියාගෙන් ඇසුවේය.
“මත්පැන් නිත්‍යනුකූලයි. මත්ද්‍රව්‍ය නීති විරෝධියි.”
“එහෙනම් මත්පැන් පෙරන තැන් පොලීසියෙන් අල්ලන්නේ ඇයි?”
“ආ.. එහෙම මත්පැන් ජාතියකුත් තියෙනවා. ඒවා නීති විරෝධියි.. අනික, මත්පැන් පෙරන්න බලපත්‍ර ගන්න ඕන”
“දුම්පානය නීතිවිරෝධියිද?”
“නෑ”
“එහෙනම් ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කියලා ගහලා තියෙන්නේ ඇයි?”
“ඒ අනික් අයගේ සෞඛ්‍යයට හානි වෙන නිසා”
“දුම් බොන අයගෙත් සෞඛ්‍යයට හානි වෙනවා නේද?”
“මොකද නැත්තේ?”
“එහෙනම් ඇයි දුම්බීම තහනම් කරන්නේ නැත්තේ?”
“මත්පැන් වගේම දුම් වැටියත් ආණ්ඩුවට ආදායමක් ගේන වෙළඳාමක්.”
ළමයා මොහොතක් කල්පනාවට වැටුණු අතර පියා වහා එතැනින් පැනගත්තේය.
ඒ කුඩා ළමයා ද පුවත්පතින් හෝ රූපවාහිනියෙන් එසේත් නැතිනම් සමාජ මාධ්‍ය තුළින් පානදුරේ විශාල ස්කාගාරයක් වැටලූ අන්දම නරඹා තිබුණා විය හැකිය. ඔහුට එය ප්‍රශ්නයක් වන්නට ඇත. ජීවිත කාලය පුරාම මෙබඳු කසිප්පු සංහාරයන් දැක - අසා පුරුදු අපට නම් එය මහා ලොකු පුදුමයක් නොවේ.
කලින් කලට වටලති. ගෝඩා බැරල් ගෙන යති. උසස් තනතුරු ද හොබවති.
මේ අපේ සිහල, බොදු සිරි ලංකාවයි. නොඑසේනම් සිරි ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයයි.
ලෝකයේ වැඩිපුරම මත්පැන් බොන රටවල ලැයිස්තුවට සිරි ලංකාව ද එක්ව තිබුණි. ඒ යුද්ධ කාලයේය. එහෙත් එයද තාවකාලික විය. මේ රටේ ජීවන වියදම සේම මත්පැන් මිල ද ඉහළ යයි. මත්පැන් මිල ඉහළ යනවිට මත්පැන් බොන්නන්ගේ ද ජීවන වියදම ඉහළ යයි.
අයවැයෙන් මත්පැන් මිල සෑහෙන ගණනකින් ඉහළ ගිය අවස්ථාවක, මගේ විදෙස් මිතුරෙක් (වාසිබෝලන්තයේ මාධ්‍යවේදියෙක්) මෙසේ විමසුවේය.
“දැන් ඔයගොල්ලන්ගේ රටේ බොන මිනිස්සු අඩු වෙලාද?”
මම මෙසේ පිළිතුරු දුන්නෙමි.
“බොන මිනිස්සු අඩුවෙලත් නෑ. බොන දවස් ගාණ අඩුවෙලත් නෑ. බොන ප්‍රමාණය නම් ටිකක් අඩුවෙලා.”
මගේ මිතුරා සිනාසුණේය.
වඩා භයානක මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි වෛද්‍ය විද්‍යාත්මක කාරණාවක් ගැන කතා කිරීමට මෙබඳු කුඩා තීරු ලිපියක ඉඩකඩ මදිය. කෙසේ වෙතත් ඕනෑම “මතකට” ඇබ්බැහිවීම නම් නරකය. බුලත්විටට පවා ඇබ්බැහි වීම, පිළිකාවට කට ඇරීමක් බව අප අසා ඇත.
මත්පැන් ලෝලියාත්, මත්පැන් කෑදරයාත් අතර වෙනසක් ඇත. ලෝලියා එය විඳියි. කෑදරයා එය විඳවයි. “පිනා ෂොට්” ගසන්නන් හෙවත් අනුන්ගෙන් බොන්නන් අයත් වන්නේ එකී කෑදරයන් අතරටය. කෙසේ හෝ කාගෙන් හෝ පිනට බීම ඔවුන්ගේ සිරිතය. ඇබ්බැහිය නිසාම ඔවුනට ලැජ්ජාවක් ද නැත.
අවන්හල් පිළිබඳ රසකතා අතරේ එවැනි ‘පිනා’ ලා ගැනද සඳහන් වෙයි. ඇත්තෙන්ම ඔවුන් පුදුම පුද්ගලයන්ය. පුදුම චරිතය. පිනා ෂොට් එකක් ගසා ගැනීම සඳහා ඔවුන් කරනා සැලසුම්, යොදනා උපක්‍රම විටෙක හාස්‍ය ජනකය. තවත් විටෙක සානුකම්පිතය.
මීට කලකට ඉහත නුගේගොඩ ප්‍රදේශයෙහි අවන්හලකට ගොඩවැදුණු මට එහිදී ප්‍රකට පත්‍රකලාවේදී මිතුරකු මුණගැසුණි. ඔහුගේ අරුයුමින් එම මේසයෙහිම හිඳ කතාවට වැටුණෙමි.
ටික වේලාවකට පසු වැදගත් පෙනුමින් යුතු මැදිවියේ පුද්ගලයෙක් අප මේසය අසලට පැමිණියේය. අප දෙදෙනා දෙසට, ඇඳුරුම් සිනාවක් පෑ ඔහු ඉංග්‍රීසියෙන් කතා කරන්නට විය. මා සිතුවේ ඔහු මගේ මිතුරා දැන හඳුනන කෙනකු බවය. (මගේ මිතුරා ද සිතා ඇත්තේ මොහු මගේ මිත්‍රයකු බවය)
අපගෙන් සුහද ප්‍රතිචාරයක් නොලැබුණෙන් ඔහු තරමක් අමනාප බවක් දන්වමින් සිංහලෙන් මෙසේ කීය.
“මාව අඳුරන්නේ නෑ වගේ නේද? ඔහොම තමයි හරියනකොට... අපිව මතක නෑ. හා.. කමක් නෑ. කමක් නෑ.”
එසේ කියන අතරේම ඔහු එක්වරම මගේ මිතුරාගේ මත්පැන් වීදුරුව ගෙන, එක උගුරට කටට හලා ගත්තේය. එසැණින්ම ඔහු අවන්හලෙන් පිටතට ගමන් කළේය. අන්දමන්ද වූ අපට සිදු වූ දෙය වටහාගන්නට තරමක වෙලාවක් ගතවිය.
ඊට සති දෙකකට පමණ පසු එම අවන්හලේදීම කළමනාකරුවා විසින් කිසිවකුට පහර දෙනු ඇසී හැරී බැලූ මා දුටුවේ අර නාඳුනන මිත්‍රයාය. ඔහුගේ පිනා ෂොට් ගැසීමේ උපක්‍රමය ගැන වැඩි විස්තර දැනගැනීමට ලැබුණේ ඉන් පසුවය.
ඔහු කලින් කලට අවන්හලින් අවන්හලට යමින් මේ ක්‍රමය භාවිත කරයි. අනුන්ගේ වීදුරැ ඔසවා “පිනා ෂොට්” ගසයි. පළා යයි. එහෙත්, මේ පිළිබඳව ලද පැමිණිලි නිසා සෝදිසියෙන් සිටි කළමනාකරුගෙන් එම පින්වන්තයාට එදා ලැබුණේ පිනා නොව කනේ ෂොට් එකකි.
ඉහළ පෙළේ සමාජ ශාලාවන්හිද මෙබඳු පිනා ෂොට්කාරයන් ඇත. එබඳු තැනකට එන විශ්‍රාමික මහතෙක්, හොඳ කතාකාරයකු බැවින් කා අතරත් ජනප්‍රියය. ඒ කතා අසන්නට නම් ඔහුට විස්කි වීදුරුවක් රැගෙන දිය යුතුය. ඔහු බොන්නේ එපමණකි. ඊට වඩා බිඳුවක් හෝ නොබොයි. කිසිවිටෙක පසුම්බිය නොඅදී. මිතුරෝ ඔහුගේ බිලද ගෙවති. පසුව මේ පින් ෂොට් මිතුරා හැඳින්වුණේ ‘වන් ෂොට්’ නමිනි. පොතක් ලියන්නට තරම් ප්‍රමාණවත් මෙබඳු කතා රැසක් අවන්හල් මිතුරන් වෙත ඇති බව දනිමි.
ලෝකයට හොඳම විහිළු සපයන රටවල් අතර අයර්ලන්තයට ලැබෙන්නේ මුල්තැනකි. “අයිරිෂ් ජෝක්ස්” යනුවෙන් ප්‍රකට එම විහිළුවල විශේෂයක් වන්නේ ඔවුන් තමන්ගේම දුර්වලකම්වලට සිනාසීමය. මද්‍යලෝලී ජනතාවක් වෙසෙන අයර්ලන්තයේ අවන්හල් රසකතා බොහෝය. මෑතකදී කියවන්නට ලැබුණු එබඳු කතාවක් මා මිත්‍ර මාධ්‍යලෝලීන්ගේ විනෝදාස්වාදය සඳහා ඉදිරිපත් කරමි.
අයර්ලන්තයේ අවන්හලක බීම කවුන්ටරය අසල තරුණයෝ දෙදෙනෙක් මත්පැන් බොමින් සිටියහ. මොහොතකින් ඔවුන් කතාවට වැටුණි.
“කොහෙද පදිංචිය?”
එක තරුණයෙක් ඇසීය.
“ඩබ්ලින්වල”
“ආ.. එහෙමද මාත් ඩබ්ලින් තමයි. කොයි හරියෙද ගෙවල්?”
“ඔකනර් පාරේ”
“හැබෑද? මාත් ඒ පාරෙම තමයි”
“කොහෙද ඉගෙනගත්තේ?”
“ලොයිඩ්ස් කොලේජ් එකේ”
“ආ.. ඇත්තද? මාත් ඒකෙම තමයි”
“මොන අවුරුද්දෙද අස්වුණේ?”
“අසූපහේ.”
“ආ.. පුදුමයි. මාත් ඒ අවුරුද්දෙමයි.”
“මොකද්ද නම?”
“ජෝන් මෝරෝ”
“පුදුමයි. මම පෝල් මෝරෝ.. එකම වාසගම නේහ්?”
මේ කතාබහ මෙසේ යද්දී කවුන්ටරයේ සේවකයා සිය සගයා වෙත හැරුණේය.
“ඒයි යාළුවා.. අර නිවුන්නු දෙන්නා අදත් කන පැලෙන්න බීලා.”
► කපිල කුමාර කාලිංග