2019 ජුලි 13 වන සෙනසුරාදා

මොබයිල් ආතල්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

පසුගිය දිනෙක මට “වට්ස් - ඇප්” වී තිබූ කෙටි සටහනක, මාතෘකාව වශයෙන් යොදා තිබුණේ, “නව තාක්ෂණයේ අවුල් ජාලය” යන්නය. එම සටහන මෙසේය.

“මගේ නිවසට රූපවාහිනිය පැමිණියේය. 

මට පතපොත කියැවීම අමතක විය.

මම මෝටර් රථයක් මිලදී ගත්තෙමි.

මට පාගමන අනවශ්‍ය විය.

මම ජංගම දුරකතනයක් ගත්තෙමි.

මම ලියුම් ලිවීමෙන් ඈත්වීමි.

මට පරිගණකයක් ලැබුණි.

මට පවුලේ සාමාජිකයන් සමඟ පවා කතාබහට වෙලාවක් නොමැති විය.

මගේ නිවස වායු සමීකරණය වී දොර ජනෙල් වැසී ගියේය.

මුදු පවනක සිසිල හා එහි මුසුව එන මල් ගොමුවක සුවඳ මගෙන් දුරස් වුණි.

ක්ෂණික ආහාර මගේ දින චරියාවට එක්විය.

ගෙදර උයන කෑම මට අහිමි විය.

දැන් මම හුදෙකලා මිනිසෙකුව සිටිමි. එහෙත් ගෝලීය සංස්කෘතියේ පුරවැසියෙකි. යන හැඟීමෙන් සිත සනහා ගතිමි. දැන් මට කතාව ලිවීම අමතකව ගොසිණි. එහෙත් කිසිදා දැක නැති මිතුරු මිතුරියන් මට සිටී. ඔවුහු මගේ දුක සැප විමසන නමුත් මා බලන්නට එන්නෙ නැත.

අසල්වැසියන්ට පවා මා ආගන්තුකය.

විදුලිය නැති විටෙක මම අනාථ වෙමි.

මම සම්පූර්ණයෙන්ම තාක්ෂණික මිනිසෙකු වී සිටිමි.”

ඉහත සටහන කියැවූ පසු මා තුළද කිසියම් බියක් ඇතිවිය. ඉහත කී තාක්ෂණික රෝගය, යම් ප්‍රමාණයකට හෝ මට ද වැළඳී ඇත් ද යන සැකය පහළ විය. 

මෑතකදි දුරගමනක් ගොස් තිබියදී මගේ ජංගම දුරකතනය නැතිවුණි. ඒ මොහොතේ මට වහාම ඒ බව මගේ බිරිඳට දැනුම් දියයුතු වූයේ ඇය මට කතා කළ නොහැකිව කලබලයට පත්වන බව දන්නා හෙයිනි. වෙනත් අයෙකුගේ දුරකතනයකින් ඇයට කතා කළහැකිය. එහෙත් ගැටලුව වූයේ ඇගේ දුරකතන අංකය මගේ මතකයෙහි නොවීමය. එය දන්නේ මගේ දුරකතනයයි. අවසානයේ බිරිඳගේ මිතුරියකට කතාකොට එම අංකය ලබා ගත්තෙමි.

පසුදිනක මා මිත්‍ර කලාකරුවකු මට කීපවරක් කතා කර තිබුණි. දුරකතනයේ පැමිණි ඇමතුම් අංකාවලියෙහි ඇති නුහුරු අංකයන්ට ප්‍රතිචාර දැක්වීමට නොයන බැවින් මම නිහඬව සිටියෙමි. යළිත් වරක් එම අංකයෙන් ඇමතුමක් අමතන්නේ අර කලකරුවා බව දැනගත්තේ එවිටය. 

මට සිදුවූ දෙස ඔහුට පැහැදිලි කළෙමි. එවිට ඔහුද මෙසේ පැහැදිලි කිරීමක යෙදුණේය.

“මගේ ෆෝන් එක නැතිවුණා. පුතාගේ ෆෝන් එකෙන් කතා කෙරුවේ.. ෆෝන් නම්බර්ස් දාහකට වැඩිය පරණ ෆෝන් එකේ... මම ලොකු අවුලකට වැටිලා ඉන්නෙ..
එය කෙටිකාලීන තාක්ෂණික අවුලකි. එහෙත් එහි බලපෑම විශාලය. ජංගම දුරකතනය නැති කරගන්නා මිනිසා නිර්වින්දනයකට ලක්වෙයි. සන්නිවේදනයෙන් තොර ලොවකට මැදිව අක්‍රීය වෙයි. තාක්ෂණික අවුලකට පිළිතුරු සැපයිය හැක්කේ ද තාක්ෂණයෙන්මය. මිතුරුකම් හෝ හිතවත්කම් එහිදී වලංගු නැත.

දුම්රියකට මෙන්ම නූතන මිනිසාට ද “සිග්නල්” නැතිනම් ගමනක් නැත. දැන් නම් ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම දුරකතන සංඥා කුලුනුය. මහ වනාන්තර මැදට පවා සිග්නල් ඇත. එහෙත් කලකට පෙර පැවතියේ වෙනස් තත්ත්වයකි.

ඒ කාලයේ කඳුකරයේ සංචාරක නිවාසයක් ඉදිකළ මගේ මිත්‍රයෙකු ද සිග්නල් ප්‍රශ්නයකට මුහුණ පෑවේය. එහි ජංගම දුරකතන භාවිතා කිරීම දුෂ්කර බැවින් අමුත්තන්ගේ පැමිණීම අඩුවිය. අවසානයේ ඔහු මෙබඳු පුවත්පත් දැන්වීමක් පළ කළේය. 

“දුරකතනයෙන් පරිගණකයෙන් තොර නිවාඩුවක නිදහස විඳගන්න!... වෙත එන්න.” දැන්වීම වැඩ කළේය. එය ජනප්‍රිය නවාතැනක් බවට පත්විය. සැබෑ නිදහස හඳුනන සහ අවශ්‍ය කරන මිනිසුන් ද සිටින බවට එය නිදසුනකි.

විද්‍යුත් සන්නිවේදන මෙවලම් මිනිසාගේ ඉන්ද්‍රියන් තරමටම ශරීරයට ජීවිතයට සම්බන්ධ වී හමාරය. නිදහස් දෑතක් ඇතිව උපන් මිනිසාට දැන් ඇත්තේ එක් අතකි. අනික් අතේ දුරකතනයකි.

හිස කෙළින් තබාගත් පැරණි මිනිසා අතුරුදහන්ය. දැන් සිටින්නේ දවස පුරාම බෙල්ල නවාගත් දෑස දුරකතනයට යොමුකර ගත් මිනිසෙකි. බසයේදී, දුම්රියේදී එකිනෙකා හා කතාබස් කරමින් ගිය පැරණි මිනිසා දැන් දක්නට නැත. ඒ වෙනුවට සිටින්නේ සිටගෙන හෝ හිඳගෙන ජංගම දුරකතනයට අවධානය යොමුකර ගත් “ගොළුවෙකි”!

දුරකතන භාවිතය නැතිවම බැරි දෙයක් වී තිබෙන වර්තමානයේ එය උපහාසයට ලක්කෙරෙන සිනා කතා කාටුන් ආදිය ද නිර්මාණය වෙයි.

ප්‍රභූවරුන් පැමිණෙන උත්සව සභාවලදී සහභාගී වන්නන්ගේ ජංගම දුරකතන පිටත තබා ඒමට සිදුවන්නේ ආරක්ෂක හේතූන් මතය. සිරි ලංකාවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ද මෙම නීතිය ක්‍රියාත්මක විය.

දුරකතන භාරගන්නා ආරක්ෂක නිලධාරියා වෙත පැමිණි සුදු හැඳගත් තරබාරු පුද්ගලයෙක් මෙසේ කීය. 

“මම ප්‍රාදේශීය සභාවේ සභාපති. මට ෆෝන් එක ගෙනියන්න දෙන්න.”

ඊට අවසර ලැබුණි.

ඊළඟ මොහොතේ තවත් පුද්ගලයෙකු පැමිණියේය. 

“මම පළාත් සභාවේ ඇමති කෙනෙක්. මට ෆෝන් එක ළඟ තියාගන්න ඕනේ.”

ඔහුට ද අවසරය ලැබුණි.

ඉන්පසු පැමිණියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහුට ද අවසරය ලැබුණි.

ඔහු ගිය පසු පැමිණියේ ඇමැතිවරයෙකි. ආරක්ෂක නිලධාරියාගේ රතු ඉර පැන්නේය.

“ශාලාවට දාන්න පුළුවන් දෙසීයයි. දැනටම එකසිය ගාණක් ටෙලිෆෝන් අරගෙන ගියා. මම කොහොමද මේ ඩියුටිය කරන්නේ. ටෙලිෆෝන් ගෙනියපු ඔක්කොම මැති ඇමැතිවරු. ජනාධිපතිතුමාට අනතුරක් වුණොත් මම නම් වගකියන්නේ නෑ.”

ඔහු සිටි නැතින් පසෙකට ගියේය. එදිනම සවස එම නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුණි. ඒ රාජ්‍ය රහසක් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙනි.

කන් දෙකම පිළිස්සුණු කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවට පැමිණියාය.

“මොකද වුණේ?” වෛද්‍යවරයා ඇසීය.

“අනේ ඩොක්ටර් මම රෙදි මැද මැද ඉද්දී කෝල් එකක් ආවා. වැරදීමෙන් “අයන්” එක කනේ තියා ගත්තා.”

“ඉතින් අනිත් කන?”

“අර බූරුවම ආයෙත් කෝල් කළානෙ ඩොක්ටර්!”

► කපිල කුමාර කාලිංග