ලෝක ජනගහණ දිනය, පසුගිය ජූලි 11දාට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන්, ඉන්දියාවේ පැවති රැස්වීමකට සර්දාර් ද සහභාගීව සිටියේය. ලංකාවේ විහිළු කතාවල එන ජනප්‍රිය චරිතයක් වන ඇම්ඩන්, ඉන්දියාවේ දී සර්දාර් නම් වෙයි.
එම රැස්වීමේ ප්‍රධාන දේශනය පැවැත් වූ මහාචාර්ය පැලෝපීය නාල්, මෙසේ ද පැවසුවේය.
“ඉන්දියාවේ ගැහැනියක් සෑම තත්පර තිහකට වතාවක් දරුවෙක් බිහි කරනවා.”
මේ ඇසූ සර්දාර්ට තද විය. ඔහු වහාම නැගී සිටියේය.
“අපි වහාම ඒ ගෑනිව හොයාගෙන මේ වැඩේ නතර කරවන්න ඕනේ.”
සර්දාර්ගේ කතා එහෙමය.
ඒ කෙසේ වෙතත් “වැලේ ගෙඩිය වැලට බරක් නැත” යන පරණ කතා බොරු කරමින් අලුත උපදින සෑම දරුවෙකුම ලෝකයට බරක් වෙමින් පවතී.
වර්තමාන ලෝකයේ ජනගහණය බිලියන 7.7ක් පමණ වේ. සෑම මාස 14කදීම එය මිලියන 100කින් වැඩි වෙයි. ජනගහණය එසේ විශාල වුවද ලෝකයේ සීමාවෙන් පුළුල් වන්නේ නැත.
ලෝකයේ වැඩිම ජනගහණයක් ඇත්තේ චීනයෙහිය. දෙවෙනියා ඉන්දියාවය. (සංඛ්‍යා ලේඛනවලට අනුව බිලියන 1.42 සහ 1.37කි.) විශාල ජනගහණයක් ඇති අනෙක් රටවල් වන්නේ අමෙරිකාව, ඉන්දුනීසියාව හා බ්‍රසීලයයි. එහෙත් ඒ රටවල් තුනේම ජනගහණය එක්කළත් බිලියනයකට ළංවන්නේ නැත.
අපේ සිරි ලංකාවේ ජනගහණය මිලියන විසිඑක ඉක්මවයි. (හරියටම කියනවා නම් 2019 ජුලි 1 දා වනවිට 21, 018, 747කි) එය ලෝක ජනගහණයෙන් 0.27%කි.
වැදගත්ම කාරණය වන්නේ සිරි ලංකාවේ ජනගහණය, ජාති, ආගම් භේදයකින් තොරව දිනකට 900කින් පමණ වැඩිවීමයි පොඩි හෝ සහනයකට ඇත්තේ දිනකට සාමාන්‍යයෙන් 300-400ක් පමණ මිය යාමයි. එසේම ලක්ෂයක් පමණ දෙනා වසරකදී රටින් පිටව යාමයි.
සංඛ්‍යා ලේඛන, දත්ත සටහන් ආදිය නීරස බව දන්නා නමුත් ඉහත සඳහන් කළේ අත්‍යවශ්‍යම කරුණු කීපයක් පමණි. එය මා ඔබ හා කතා කරන්නට යන දෙයට පසුතලයකි.
ලෝක ආරම්භයේදී ජනගහණය දෙදෙනෙකුට සීමාවිණි. ඒ ආදම් සහ ඒවාය. මිනිසා බෝවන්නට පටන් ගත්තේ ඒ දෙදෙනා තහනම් ගසේ ගෙඩි කෑවාට පසුවය. අද වනවිට ජනගහණය ලෝක ලෙඩක් වී ඇති හෙයින් “බර්ත් කන්ට්‍රෝල්” හෙවත් උපත් පාලනය කිරීම නිල - නොනිල දෙආකාරයෙන්ම සිදු කෙරෙයි.
දැනට දශක පහ හයකට ඉහත ලංකාවේ දක්නට තිබුණේ දරු පවුල්ය. සෑම පවුලකටම දරුවෝ හය හත්දෙනෙක් සිටියහ. එය එකල දෙමව්පියන්ට ආඩම්බරයක් වූවාක් මිස බරක් කරදරයක් වූයේ නැත. කිසිම අම්මා කෙනෙක් ළමුන්ද සමඟ ගඟේ මුහුදේ පැන්නේ නැත. කිසිම දරුවෙක් මන්දපෝෂණයෙන් මිය ගියේද නැත. ඇතිතරම් මව්කිරි තිබූ නිසා පිටි කිරි මිල ප්‍රශ්නයක් වූයේද නැත. දරුවන් දහදොළොස් දෙනෙක් වැදීමෙන් පසුවද හේනේ, කුඹුරේ හෝ රබර් වත්තේ වැඩට යාමට තරම් අම්මාවරු සෞඛ්‍ය සම්පන්න වූහ. තමන්ගේ දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවනුත් හදාවඩා ගත්හ. දෙමුණුවරුන් දැක වාසනාවන්ත ලෙස දෑස් පියාගත්හ.
කාලයාගේ ඇවෑවෙන් සියල්ල වෙනස් විය. පුංචි පවුල රත්තරන් විය. පවුල් සංවිධානයේ අගය කියා දෙන වෙළෙඳ නියෝජිතයෝ ගමෙන් ගමට කඩයෙන් කඩයට ගියහ දැන් දක්නට ඇත්තේ දෙදරු පවුල් හෝ එක්දරු පවුල්ය. බැරිවෙලාවත් තවත් දරුවෙකු පිළිසිඳ ගත්තොත් දෙමව්පියන් හිසේ අතගසා ගන්නේ. “ජාතික පාසල් ප්‍රශ්නය” සිහිපත් වීමෙනි! “ස්කූල් වෑන්” සෙවීම සහ ගෙවීමත් ලේසි නැත. වර්තමාන සිරි ලාංකිකයාට දරුවා යනු ආර්ථික ප්‍රශ්නයකි. තත්ත්වය එසේ නම් අනෙකුත් ජාතීන් අභිබවා යනු පිණිස ස්වකීය වර්ගයා බෝකරනා මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටීම කොතෙක්දුරට සාධාරණ වන්නේද? කියන්නා කෙසේ කීවත් අසන්නා මෙන්ම කරන්නාද සිහිබුද්ධියෙන් සිටිය යුතුය.
ලෝක ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ මහ ජාතිය හෝ ආක්‍රමණික ජාතිය නිසා සුළු ජාතීන් වඳවී යාමය. ඕස්ට්‍රේලියාවේදී ඇබෝර්ජීනියානු ආදීවාසීන්ට සිදුවූයේ එයය. අමෙරිකාවේදී රතු ඉන්දියානුවන්ට සිදුවූයේද එයමය. ආසියා, අප්‍රිකා, ලතින් අමෙරිකානු රටවලින් ද අතුරුදහන්ව ගිය සුළු ජනවර්ගයන් ගෝත්‍රයක් ගැන නිදර්ශන ඕනෑ තරම්ය. සිරි ලංකාව පුදුම රටකි. එහිදී සිදුවන්නේ අනික් පැත්තය. සුළු ජාතීන් නිසා මහ ජාතිය වඳවී යාමය. ලෝකයේ කොහේවත් නැති ලෙස වඳ සැත්කම්, එන්නත්, බෙහෙත් පෙති ආදියෙන් ද “මහජන ගහණය” වඳ කෙරෙන බවට කතාබතා පවතී. සමහර කතා නඩුහබ දක්වාම දිග්ගැසී ඇත.
කෘත්‍රීම ලෙස නොව ස්වභාවික ලෙසම සත්ව හා ජනගහණය පාලනය කරන ක්‍රම රැසකි. ගංවතුර, නියඟය, සුනාමි, නායයාම්, වසංගත තුළින් මිනිස් ජනගහණය අඩු කෙරෙයි. ඒ නැතත් සෑම මිනිසකුම වියපත්ව හෝ මිය යා යුතුමය. ආහාර දාමයට යටත්ව, අන් සතුන්ට ගොදුරු වීමෙන්ද ස්වභාවික ලෙස නිසි වයස පසු කිරීමෙන්ද සත්වයෝ පාලනය වෙති. එසේ නොවනදාට ලෝකය ඉඩමදිව මිනිසුන්ට ද සතුන්ට ද මුහුදට පනින්නට සිදුවනු ඇත. ලෝකයේ දියුණු රටවල්, දැනටමත්, මිනිසාට ජීවත්වීමට සුදුසු ග්‍රහලෝක තිබේදැයි සෙවීමට පටන්ගෙන ඇත්තේ එහෙයිනි. ග්‍රහ ලෝකයකට යතත් ඉස්සර විය යුතුය. නැත්නම් සිදුවන්නේ අභ්‍යවකාශයේ පාවෙමින් සිටීමටය.
එක්තරා සිනාකතාවක කියැවෙන පරිදි සිරි ලංකාවේ අප්පුහාමි කෙනෙක් මිය ගොස් උපන්නේ අඟහරැ ලොවෙහිය. පාළු බිම් පෙදෙසක ඇවිද යමින් සිටි ඔහුට “චායි... චායි” (හින්දි බසින් “තේ”) යනුවෙන් කෑගසනු ඇසුණි. එදෙසට ගිය අප්පුහාමිට දක්නට ලැබුණේ තේ කඩයක් දමාගත් ඉන්දියානුවෙකි.
අඟහරු ලොවේ අනික් පසට ගමන් කළ අප්පුහාමිට “නූඩ්ල්ස්.. නූඩ්ලස්..” යනුවෙන් කෑ ගසනු ඇසුණි. එදෙසට ගිය ඔහු දුටුවේ චීන හෝටලයක් දමාගත් චීනෙකි. අප්පුහාමි ඔහුගෙන් මෙසේ ඇසුවේය.
“ඔය දෙගොල්ලො අඟහරු ලොකේ අල්ල ගත්තද? කෝ අමෙරිකන්කාරයා තාම මෙහෙ ආවෙ නැද්ද?”
“ඒකා හින්දා තමයි අපිටත් මෙහෙ එන්න වුණේ. අමෙරිකාව මුළු ලෝකෙම අල්ල ගත්තනෙ.” චීනා කීවේය.
නැවතත් ඉන්දියාවේ පැවති ජනගහණ රැස්වීමට සිත යොමුකරමු. එහිදී පැනනැගුණු ප්‍රශ්නයක් වූයේ. ලෝක ජනගහණය පාලනය කිරීමට සුදුසුම ක්‍රමය කුමක් ද යන්නය. සර්දාර් වහාම නැඟී සිටියේය.
“ගැහැනු පිරිමි විවාහ තහනම් කළ යුතුයි. ඒ වෙනුවට සමරිසි විවාහ පමණක් නීතිගත කළ යුතුයි. ජනගහණය ඉබේම පහළ වැටෙයි.”
► කපිල කුමාර කාලිංග