දියසේන නම් කුමාරයෙක් පහළව සිරිලංකාවේ රාජ්‍ය බලයට පත්ව රට දියුණුවෙන් දියුණුවට ගෙන යනු ඇතැයි විශ්වාසයක් මීට කලකට ඉහත අපේ මිනිසුන් අතර පැවතුණි. රට දිනෙන් දින ප්‍රපාතයටම යද්දී ඔවුහු එම විශ්වාසයෙහි එල්ලී දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් නෙත් දල්වා අනාගතය දෙස බලාසිටියහ.
වරින් වර පහළ වූ කොතලාවලලා, සේනානායකලා, බණ්ඩාරනායකලා, වික්‍රමසිංහලා සහ ජයවර්ධනලා අතර එම දියසේන සිටී දැයි ඔවුහු විමසිලිමත් වූහ. එහෙත් රාජපක්ෂලාගෙන් සිරිසේනලා අතට සිංහාසනය මාරැවෙන කල්ම එම බලාපොරොත්තුව සඵල වූයේ නැත. අවසානයේදී දියසේන කුමාරයාගේ කතාව කාට කාටත් අමතකව ගියේය.
සිරි ලංකාව ගොඩනැගීමට නම් නව දැක්මක් ඇති “බ්‍රෑන්ඩ් නිව්” නායකයෙක් අවශ්‍යය යන මතය දැන් දැන් ඉදිරියට එමින් පවතී. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලය තුළ එම මතය පමණක් නොව ඒ සඳහා ඉදිරිපත් වන අනාගත නායකයින්ගේ පූර්ව ප්‍රචාරණ කටයුතු ද දක්නට ලැබේ. ඔවුන් කවුරැන් අතරින් හෝ දියසේන කුමාරයෙක් පහළ වීමට ද ඉඩ ඇතැයි සමහරු සිතති.
පෑන අතට ගත් සැණින් දිය ඇල්ලක් සේ වාග් මාලාවක් ගලා එන අතිශූර ලේඛකයෙකු වූ හේමපාල මුනිදාසයන් “සිංහල බෞද්ධයා” පුවත්පතෙහි කතුකම කරද්දී ඊට ලියූ තීරු ලිපියක් 1933 දී ප්‍රථම වරට පුස්තකයක් වශයෙන් ප්‍රකාශයට පත්විය. නැවත 1955 හා 1962 (ලිහිණි) දී ද මුද්‍රණය කෙරුණි.
“සකලසේන” නම් වූ එම ලිපි පෙළට ඇතුළත් වූයේ ගාලු මුවදොර සක්මනෙහි යෙදෙන්නට පුරුදුව සිටි එක්තරා ආගන්තුකයෙකුත් එහි පිහිටි බංකුවක් නිත්‍ය වාසස්ථානය කොට විසූ තවත් ආගන්තුකයෙකුත් අතර ඇතිවුණු සංවාදයන්ය. මුනිදාසයන්ට පවසන අන්දමට “සකලසේන” වූ කලී නවකතාවක ස්වරූපයෙන් සම්පාදනය වූ ලෝක - සමාජ විවරණයකි.
එහි එක් තැනක මේ ආගන්තුකයන් අතර දියසේන කුමාරයා ගැන කතාබහක් ඇතිවෙයි.
“ඉතිහාසයේ සැඟවී තිබෙන සත්‍ය වෘතාන්ත සෙවීමට විමංසන බුද්ධිය නමැති පළිඟු කණ්ණාඩිය දමාගෙන කියවන්න ඕනෑ.”
ගාලු මුවදොර සිය නිවහන කරගත් පුද්ගලයා කියයි.
“දියසේන කුමාරයා ගැන ගුරුන්නාන්සේ හිතන්නෙ කොහොමද?”
“දියසේන කුමාරයාගෙන් අදහස් කරන්නෙ ජව සංග්‍රහයත්, ජන රංජනයත්, ජන සේවයත් පිණිස පහළ වන ජන නායකයෙක්.”
එදා බ්‍රිතාන්‍ය පාලනය පැවති සමයේ මුනිදසුන් ඉඟි කළ ආකාරයේ නායකයෙක් අපට වී දැයි මම කල්පනා කළෙමි. ජන සංග්‍රහය වෙනුවට, ඥාති සංග්‍රහයත්, ජන රංජනය වෙනුවට කුටුම්බ රංජනයත්, ජන සේවය වෙනුවට මිත්‍ර සේවයත් සිදු කළ නායකයින් නම් දක්නට ලැබුණි. සැබෑ දියසේන කෙනෙක් වෙනුවට මෙතෙක් පහළ වූයේ දියාරු සේනලාද යන සැකයම සිත උපන්නේ රටට විමුක්තිය ගෙන දෙන දියසේන බිහිවනු ඇත්තේ පිළුණු ගද හමන දේශපාලනඥයින් අතරින් නොව සාමාන්‍ය පුරවැසියන් අතරින්ම වියහැකිය යන අදහසින් යුතුව මම විමසිලිමත්ව කල්ගෙවන්නට වීමි.
මුලින්ම ඇස ගැසුණේ නිදි මැරීමෙන් ඇස් යට කළු ගැසුණු වෙහෙසට පත් පුද්ගලයෙකි. ඔහුගේ භාර්යාව නම් මනාව හැඳපැළඳ ආර්යාවක සේ පෙනී සිටියාය. ජීවත් වීමේ අරගලයෙහි යෙදී දවස පුරා වෙහෙසී දුම්රියේ හෝ බස් රියේ තෙරපී නිවාස බලා යන ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරේ අර දෙදෙනා සුඛෝපභෝගි රථයක නැගී නොපෙනී ගියෝය. ඔවුන් ළඟ සැබෑ දහදිය සුවඳ නැත.
ඊළඟට මා දුටුවේ වැඩිවැඩියෙන් මුදල් උපයනු පිණිස ටියුෂන් පන්ති පවත්වා ස්වකීය ආරක්ෂකයින් ද සමඟ සුඛෝපභෝගි වාහනවල නැගී ගමන් කරන ගුරු භවතෙකි. ඔහු ගමන් ගත් අධික වේගය නිසා පාර දෙපස සිටි ජනතාව පසෙකට පැන දිවි ගලවා ගත්හ. ගුරුන්ටත් අකුරු වරදී යැයි සිතූ මම එබදු ජන අනාරක්ෂකයින් ගැනද බලාපොරොත්තු අත්හළෙමි.
“වෙන්ඩ දියසේන”ලාගේ කටවුට්වල නම් කට පුරා සිනාසී සිටිනු දක්නට ලැබුණත් ඔවුන් සාමාන්‍ය ජීවිතයේ දී නම් සාමාන්‍ය මිනිසුන් සමඟ එසේ සිනාසුනුවුන් නොවේ. සමහර විට මෑතකදී “සිනාසීමේ පාඨමාලාවක්” හැදෑරුවා විය හැකිය. එසේත් නැතිනම් කිසියම් දන්තාලේපයක ප්‍රතිඵලයක් ද වියහැකිය. හිටිගමන් අටවා ගත් සිනාවකට රැවටෙන ජනතාවක් දැන් මේ රටේ නැත. ප්‍රශ්න විසඳනවා නම් දවසම ඔරවාගෙන විරවාගෙන සිටින ආලවකයෙකුට හෝ ඔවුන් ඡන්දය දෙනු ඇත.
පරණ පරණ කට්ටිය එකතු වී අලුත් අලුත් නම්වලින් පක්ෂ, සන්ධාන හදාගෙන, යළි රජවන්නට මානබලන බවද පෙනේ. කාගේ කාගෙත් පරණ කෙරුවාවල් ජනතාව දන්නා නිසා ගෙයක් ගෙයක් ගාණේ සිඟා වැඩියත් මෙදා පාර නම් ඒ වැඩේ ලේසිපහසු වනු නැති පාටය.
රජුන් තනන්නේ තමන් යැයි කියා ගන්නා පක්ෂ කීපයක්ද මේ රටේ ඇත. එහෙත් ඒ කිසිවකට මේ පාර “නෝ චාන්ස්”ය. සාරි පොටේ හෝ සාටක පොටේ, එසේත් නැති නම් ටයි පොටේ එල්ලෙන්නන් හැමදාමත් කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමත් හෝ තමන්ට යමක් බෙදාගැනීමක් බව ඉතිහාසය දන්නෝ දනිති.
සිරි ලංකාව පුදුම රටකි. අනුන්ගේ ඡන්ද කඩන්නට එන්නෝ ද ජනපති සටනට ඉදිරිපත් වෙති. මැතිවරණ කොමිසමේ ලොක්කා නම් කියන්නේ ඒ අයට නීතියෙන් පාඩම් උගන්වන බවකි. ඒ ඡන්ද කොන්ත්‍රාත්කාරයින් කවුදැයි උන්නැහේ කල්තියා කියනවා නම් ජනතාව ද ඔවුන්ට හොඳින් “සංග්‍රහ” කරනවා ඇත.
ත්‍රීරෝද රියැදුරෝ ද හොඳ දේශපාලන කතාකාරයෝය. එක් දිනක් එක් ත්‍රීරෝදකරුවෙක් මගෙන් මෙසේ ඇසීය.
“ජනාධිපතිවරණයකදී සර් කාටද ඡන්දය දෙන්නෙ?”
“දියසේනට”
“ඒ කවුද සර්?”
“මාත් තාම දන්නෙ නෑ හරියටම.”
රියැදුරා මා දෙස පුදුමයෙන් බැලුවෙත් දියසේන කුමාරයා පිළිබඳ ජනප්‍රවාදය මම ඔහුට විස්තර කළෙමි. රියැදුරා සිනාසුණේය.
“කවුරු ආවත් වැඩක් නෑ සර්. පුටුවට ගිය ගමන් මුල අමතක වෙනවනේ. කියන්නෙ එකක්. කරන්නෙ එකක්.”
“ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්‍රේන් වොෂ් වෙනවා කියලනේ.”
“අන්න හරි සර්. දැන් අපිට ඕනේ බ්‍රේන් වොෂ් වුණු ජනතාවක්. නේද සර්.”
ගමනාන්තය ළංවූයෙන් මම කිසිත් නොකියා ත්‍රීරෝදයෙන් බැස්සෙමි.
“එහෙම ජනතාවක් රටින් තමයි ගෙන්නන්ඩ වෙන්නෙ නේද සර්?”
රියැදුරාගෙ අවසාන ප්‍රශ්නය ඇහුණු නෑහුණු ගාණට මම ඉවතට ගමන් කළෙමි.
► කපිල කුමාර කාලිංග