2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

තරුණයාගේ ඡන්දය!

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

මීට කලකට ඉහත මෙරට විසූ ජනාධිපතිවරයෙක් මසකට දෙවරක් පමණ සිය හිසකෙස් කපාගැනීම සඳහා බාබර් කෙනකු මන්දිරයට කැඳවීය. මේ බාබර් සෑම අවස්ථාවකම ජනපතිගේ හිසකෙස් කැපීමට සැරසී මෙසේ අසයි.

“උතුමාණෙනි, ඡන්දයක් හෙම ළඟදි නැද්ද?”

එවිට ජනපති ද මොනවා හෝ කියයි.

නිතර නිතරම එකම ප්‍රශ්නය ඇසීම ගැන කිපුණු ජනපතිවරයා එක් දිනක් බාබර්ට දොස් නැගුවේය.

“මොකද්ද අයිසේ මේකෙ තේරුම? තමුසෙ හැමදාම මගෙ කොණ්ඩෙ කපන්ඩ ලෑස්ති වෙලා ඡන්දයක් ගැන අහනවා.”

එවිට බාබර් යටහත්පහත්ව මෙසේ පැවසීය.

“හේතුව මේකයි උතුමාණෙනි, මම ඡන්දයක් ගැන මතක් කරන කොටම, තමුන්නාස්ගෙගේ හිස කෙස් කෙළින් වෙනවා. එතකොට මට මගේ වැඩේ කරන්න ලේසියි.”
ජනපති හිස නමාගත්තේය.

එකල මෙම උපහාසය එල්ල වූයේ නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ අණ්ඩපාල දේශපාලනඥයකුටය. දැන් නැවතත් ලොකු ලොක්කන්ගේ හිසේ කෙස් පමණක් නොව කනේ මයිල්ද කෙළින් වන ඡන්ද කාලයක් උදා වී තිබේ.

පසුගිය ටිකේ ගෙට වී සිටි “සැඟවුණු අමුත්තොද” දැන් දැන් ඝෝෂා දමාගෙන කලඑළි බසිති. නොයෙක් නොයෙක් කතා කියති. රට ගොඩනගන සැටි පෙන්වති. ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දෙති. සිරි ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම මෙබඳු ‘ඡන්ද යාචකයෝ” සිටියහ. එහෙත් ඔවුන් බලයට පැමිණි වහාම කළ කාරිය වූයේ තමන් කර පිටින් ගෙනා ජනතාවට කොකා පෙන්වීමය. ඔවුන් නොපිරිහෙලා ඉටුකළ කාරිය වූයේ ‘පවුල් - පන්සල්’ ගොඩ දැමීමය.

පසුගිය දිනෙක මහ වැස්සේම මා නගරයෙහි වූ අවන්හලට ගොඩ වැදුණේ සීතලට බෙහෙතක් ගනු පිණිසය. එහි දොරටුව අසලට සවිකර තිබූ දැන්වීම් පුවරුවක “මෙහි දේශපාලනය කතා කිරීම තහනම්” යැයි ලොකු අකුරින් ලියා තිබුණු නමුදු ඇතුළෙහි සිටි සැවොම “දේශපාලනය”ම කතා කරමින් සිටියහ. මේ කාලේ සිරි ලංකාවේ මිනිසුන් මොනවා කතා කරත් මතුවෙන්නේම “පොලිටික්ස්”ය.

පාස්කු දින ඛේදවාචකයෙන් පසු මිනිස්සු දේශපාලකයන්ට බැණ වදින්නට  ගත්තේ පක්ෂ භේදයකින් තොරවය. පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපහම මකබෑවිලා යා යුතු යැයි සමහරු සමාජ මාධ්‍ය තුළින් කෑගැසූහ. තරුණ පරපුර දේශපාලනයෙන් ඈත්ව සිටියත් තමන්ට “බ්‍රෑන්ඩ් නිව්” නායකයෙක් අවශ්‍ය  බව ඇඟවූහ. දැන් අලුත් නායකයෝ වේදිකාවට එමින් සිටිති.

අවන්හලේ මේසයක සිටි මැදිවියේ පුද්ගලයෙක් තරමක් උස් හඬින් කතා කරමින් මෙබඳු අදහසක් දැක්වීය.

“අලුත් මූණු පස්සෙ ඉන්නේ පරණ ඩයල්මනේ. ආයෙත් අපිට මොත්තයක් දාන්ඩ වගේ හදන්නේ”

ඉන්පසු පත්තරයක් අතට ගත් ඔහු එහි වූ ඡායාරූපයක් පෙන්වමින් මෙසේ කීය.

“මං බොරුද කියන්නේ බලන්ඩ.. කවුද මේ කට්ටිය. නඩු පිට නඩු වැටුණු හොරු. ඉන්ටර්නැෂනල් ගේම්කාරයෝ. ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න ගෙම්බෝ.. සේරමලා මූණු දෙකේ මහබඹාලා..”

ඒ ඇසූ තවකෙක් වීදුරුව ද ඔසවාගෙන එම මේසයටම පැමිණ හිඳගත්තේය.

“ඒකනම් ඇත්ත හලෝ.. දෙසිය ගාණම එපා කියපු අපේ බූරුවෝ ආයෙත් සැරයක් කොඩි උස්සගෙන උන් පස්සෙ යන්ඩ පටන් අරන්. මගෙනම් බල්ලවත් යන්නෙ නෑ ඔය මගෝඩිස්ලගේ කුණු කරවල කන්ඩ”

“ඔහොම කිව්වට අන්තිමේට අපිත් කාටහරි කතිරෙ ගහන්න එපැයි”

අසල මේසයක සිටි වියපත් පුද්ගලයෙක් තමන්ටම  මෙන් කියාගත්තේය.

“ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අපේ මිනිස්සුන්ට ඡන්ද උණ තියෙනවනේ. මොකාට හරි කතිරෙ ගහන්න පෝලිමට යන්න ඕන” මුලින්ම කතා කළ මැදිවියේ පුද්ගලයා කීය.

“ඡන්දය කියන්නේ මහජනතාවගේ අයිතියක්. ඒක අපතේ යවන්න හොඳ නෑ” නිකටේ එළු රැවුලක් වවාගෙන සිටි තරුණයෙක් කීය.

“ඒක ඇත්ත. අපි ඡන්දය දුන්නත් නැතත් කවුරුහරි පත්වෙනවනේ.”

වේටර්ද කට දැම්මේය. ක්‍රිකට් මෙන්ම දේශපාලනය ද උස් මිටිකම්වලින් තොරව කාට කාටත් සමෝසමේ සහභාගී විය හැකි පොදු මාතෘකාවකි. කතාව ඇවිළී යයි.

“මෙදා පාර තියෙන්නේ තුන්කොන් සටනක්ලු.”

“එහෙනම් මහ බඹාට මූණු තුනයි”

“මේ පාර නිර්පාක්ෂික අපේක්ෂකයෙක් නැද්ද?”

“දැන් ඒ වචනෙත් මිනිස්සුන්ට පිළිකුල් වෙලා.”

“මෙදා පාර තරුණ පරම්පරාව ඡන්දෙට කිසිම උනන්දුවක් නෑ කියලා පත්තරේක තිබුණා”

“තරුණ ඡන්ද දිනාගන්න තරුණයෙක් ඉදිරිපත් වෙන්න එපායැ. ඒ කාලෙනම් රනිල් මහත්තයවත් හිටියා. කසාද බැන්දට පස්සේ තමයි උන්නැහේ පිළිගත්තේ තමන් තරුණ නැහැයි කියලා.”

“සජිත් මහත්තයා නම් තරුණයි නේද”

“මොන පිස්සුද එයාම පිළිගන්නවනේ. එයා අකලට වයසට ගිහිල්ලා කියලා. නිදි මරනවා වැඩියි කියලා ආර්යාවත් දොස් කියනවලු.”

“අනුර සහෝදරයගේ තත්ත්වෙ කොහොමද?”

“ඒගොල්ලො දැන්මම කියනවනේ ඡන්දෙට එන්නේ ඡන්ද කරවන්න මිසක් දිනන්න නෙවෙයි කියලා”

“ඔය කාගෙ කාගෙත් ඉතිහාසෙ හැංගිලා ඉන්න අවතාරවලට තරුණයෝ බයයි.”

“තරුණයන්ට බැරිද අලුත්ම පක්ෂයක් හදාගෙන තරුණයෙක්ම ඉදිරිපත් කරන්න. එතකොට ඔය මහබඹාලට පාඩමක් උගන්නන්න පුළුවන්නේ”

ඒ සාකච්ඡාව රත් වීගෙන යද්දි මම අවන්හලින් පිටවූයෙමි. එදා තරුණ අපේක්ෂකයකු පිළිබඳව මතු වූ අදහස මගේ සිතේ කැකෑරුණේය. පසුදින වැඩට යන අතරේ මුලින්ම හමු වූ තරුණයාගෙන් මම මෙසේ ඇසුවෙමි. ඔහු දුරකථනය දෙස නෙත් හෙළා සිටිමින්ම පිළිතුරු දුන්නේය.

“පුතා ඔයා මෙදා පාර ඡන්දෙ දෙන්නේ කාටද?”

“ආ... ඡන්දයක් තියෙනවද අන්කල්?”

“ළඟදි තියෙයි. ඔයා කැමති මේ රටේ නායකත්වයට කාට දෙන්නද?”

“මාර්ක් සකර්බර්ග්ට”

තරුණයා යළිත් දුරකථනයට අවධානය යොමු කළේය. (සකර්බර්ග් යනු මුහුණුපොතේ (F.B) නිර්මාතෘවරයාය.)

- කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00