මගේ දිගුකාලීන මිතුරෙක් වන, සුප්‍රකට කාටුන් ශිල්පියෙක් මෑතකදී මුණගැසුණු අවස්ථාවක නියම කතා දෙකක් කීවේය. ඉන් පළමු කතාව මෙසේය.
ශ්‍රී ලංකාව විනාශ වන්නේ ලෝක විනාශයෙන් ද දෙවසරකට පසුවය. ඊට හේතුව ලංකාව ඒ තරමටම පසුගාමී රටක් වීමය!
දෙවැනි කතාවය මේ.
අමෙරිකාවේ නාසා ආයතනයේ සේවය කරන, උයන්පල්ලකුට, අවන්හලකදී විදේශිකයකු හමු විය. විදේශිකයා උයන්පල්ලාගෙන් මෙසේ ඇසුවේය.
“මිස්ටර් කොහෙද වැඩ?”
“නාසා ආයතනයේ”
“මොකක්ද කරන වැඩේ?”
“අපි මේ දවස්වල අඟහරු ග්‍රහයට රොකට් එකක් යවන්න හදනවා.”
උයන්පල්ලා දෙවරක් නොසිතාම පිළිතුරු දුන්නේය. ඔහු උයන්පල්ලකු වුවද, තමන්ගෙන් ද ඉටු වන්නේ, නාසා ආයතනයේ කෙරෙන කටයුතුවලට සහායක් බව ඔහු කල්පනා කරයි.
එහෙයින් ආයතනය පිළිබඳ ආදරයෙන් හා භක්තියෙන් තම සේවාව ඉටු කරලයි. අපේ රටේ බොහෝ දෙනා තම තනතුරු පිළිබඳ හීනමානයෙන් පෙළෙන්නෝය. එ නිසාම තම කාර්යාලයේ කටයුතු ගැන කිසිදු උනන්දුවක් නැත. කැපවීමක් නැත. තම රැකියාව ගැන බිරිඳට පවා කියන්නේ බොරුය.
අපගේ අසල්වැසියකු වන විලී, එක් දිනක් වැඩ ඇරී පැමිණියේ තරමක් බීමත්වය. ඔහු තම බිරිඳ අමතමින් මෙසේ කීවේය.
“අද මම, මගේ යටතේ වැඩ කරන මනුස්සයෙක්ව රස්සාවෙන් අස්කෙරුවා.”
“අනේ ඒ මොකද?”
බිරිඳ කම්පාවෙන් ඇසුවාය.
“මිනිහට මම කිහිප සැරයක්ම අවවාද කෙරුවා. මිනිහා ඇහුවෙ නෑ. ආයතනයක් වුණාම විනයක් තියෙන්න ඕනනෙ.”
“ඇයි එයා මොකක්ද කරපු වැරැද්ද?”
“එකක් නෙවෙයි කීපයක්ම. වෙලාවට වැඩට එන්නෙ නෑ. කිසිම වැඩක් පිළිවෙලට කරන්නෙ නෑ. හවස දෙක, තුන වෙනකොට කෝච්චිය අල්ලන්න කියල පැනල යනවා. නරකම දේ තමයි, රාජකාරි වෙලාවෙ මත්පැන් පානය කිරීම. ඉතින් මම, මිනිහගෙ වැඩ තහනම් කෙරුවා.”
“දරු පවුල්කාරයෙක්ද?”
“ඔව්”
“එහෙනං සමාවක් දෙන්න. අපිට වුණා නං කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතන්නකො.”
“බෑ බෑ. මිනිහත් සමාව ඉල්ලුවා. මං තදින් හිටියා. නැතුව බෑනෙ, මගේ යටතේ ඉන්න අනික් මිනිස්සු ටික පාලනය කර ගන්න.”
බිරිඳ, එවර තම සැමියා දෙස බැලුවේ ගෞරවයෙන් සහ ආඩම්බරයෙනි. ඔහු, එතරම් නීතිගරුක පුද්ගලයකු බව ඇය ද දැන සිටියේ නැත.
එහෙත්, සැබෑවටම සිදුව තිබුණේ, විලීව රැකියාවෙන් අස් කිරීමය! ඒ බව සැඟවූ ඔහු, ලජ්ජාව වසා ගැනීමට, බිරිඳ බැඳ දෙන බත් මුල ද රැගෙන, වැඩට යයි. ගාලු මුවදොර පිටියේ බංකුවකට වී සිට, බත් මුලද කා සවස දුම්රියෙන් ගෙදර එයි. යළිත් රැකියාවක් සොයාගන්නා තුරු දහ අතේ ණය වෙමින් ඔහු තම ‘ගෞරවය’ රැක ගත්තේය.
තමන්ටම මුලාකර ගන්නා මෙබඳු බොරු සෝබනකාරයන් ගැන ඔබ ද දන්නවා විය හැකිය.
මීට කලකට ඉහත, ආණ්ඩුවේ රස්සාවට ලොකු තත්ත්වයක් තිබුණේය. කළු බෑග් අතින් ගත් (ආණ්ඩුවේ බෑගය) ලිපිකරුවෝ, කමිස, කලිසම් හැඳ උජාරුවෙන් වැඩට ගියහ. එහෙත් පසු කලෙක, එම ‘තත්ත්වය’, පෞද්ගලික අංශයේ රැකියාවන්ට අත්පත් විය. ආණ්ඩුවේ බෑග්, හමගිය අතර, පෞද්ගලික අංශයේ බ්‍රීෆ් කේස් දිදුළන්නට ගති. පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් නැති වුණත්, පඩි නඩි හා වෙනත් වරප්‍රසාද වැඩි හෙයින්, තරුණ පරපුර වැඩිපුර උත්සාහ ගත්තේ, “ප්‍රයිවට් ජොබ්ස්” වලටය. විවෘත ආර්ථිකය පැළපදියම් වීමත් සමඟ එම “තත්ත්වය”තවත් වැඩි විය.
ලංකාවේ ක්ලාක් මහත්තුරුන්ට තැනක් නැතිවීම ගැන එකල පුවත්පතක පළ වූ තීරු ලිපියක සඳහන් වූයේ, ලෝකයේ හොඳම සහ ප්‍රසිද්ධතම ක්ලාක් සිටින්නේ මෙරට බවය. ඔහු, ආතර් සී. ක්ලාක්ය!
මුල් යුගයේ රජයේ සේවකයන් රාජකාරි කළේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය භාෂාව සිංහල වීමත් සමඟම, කාට කාටත්, ඉංග්‍රීසියෙන් සිංහලයට මාරුවීමට සිදු විය. යාපනේ සිට දකුණට පැමිණ සිටි දෙමළ මහත්තුරුන්ටද සිංහල ඉගෙන ගන්නට නියෝග කෙරුණි. සිංහල අල්ලා ගැනීමට බැරි සමහරැනට, රැකියාව ද අතහැරුණි.
ඉංග්‍රීසි වචනවලට අමුතු අමුතු සිංහල වචන භාවිත වන්නට විය. ලියුම් කියුම් ද ලියැවුණේ එම අමුතු සිංහලෙනි.
එක් දිනක් ලිපිකාර මහතකුගේ නිවසට බැංකුවෙන් පැමිණි ලියුමක් කියැවූ, ඔහුගේ බිරිඳට යක්ෂයා ආරූඪ විය. සවස, වැඩ ඇරී නිවසට පැමිණි ලිපිකාර සැමියාගේ ඇඟට කඩා පිනූ බිරිඳ, බැණ වදින්නට වූවාය. අන්දමන්ද වූ සැමියා, නිරුත්තරව බලා සිටියේය.
“මොකද මේ බෙරිහන් දෙන්නෙ?”
බැරිම තැන සැමියා ඇසුවේය.
එවර, බිරිඳ අතේ මිට මොළවාගෙන සිටි ලිපිය ඔහු වෙත දමා ගැසීය.
“හැමදාමත් රෑ වෙනකොට මං හිතුවා මොකක් හරි හොර මඟුලක් තමයි කියලා. එහෙනං, පහුගිය ටිකේම බැංකුවට යනව කියල ගෑටුවේ ඕකට තමයි. ඉතින් යනවා, බැංකුවට ගිහින් ඒකිව නලවලා, සනසලා එනවා.”
ලිපිකරු සැමියාට කරුණු තේරුණේ, ලිපිය කියවා බැලූ පසුවය. එහි මෙසේ සඳහන්ව තිබුණි.
“මෙම ලිපිය දුටු වහාම පැමිණ අයිරාව පිනවන්න.”
සැමියා, බැංකුවෙන් ගත්, ඕ.ඩී. එකට සිංහලෙන් කියන්නේ ‘අයිරාව’ බව, බිරිඳ නොදැන සිටියාය. ඒ මදිවට, සිංහල නුහුරු යතුරු ලේඛිකාව, ‘පියවන්න’වෙනුවට, ටයිප් කරන තිබුණේ, ‘පිනවන්න’ යනුවෙනි!
සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා, සිරි ලාංකිකයන් භාෂා ප්‍රේමීන් වෙතැයි බොහෝ අය සිතූ නමුදු, එය වැරදුණි. එයින් සිදු වූයේ, ඉංග්‍රීසි ප්‍රේමීන් වැඩිවීම පමණි. එය ද සිරි ලංකාවේ පසුගාමී බව පෙන්වන ලකුණක්දැයි, නොදනිමි.
► කපිල කුමාර කාලිංග