මේ දිනවල මුහුණු පොතෙන් හා විද්‍යුත් තැපෑලෙන් හොඳ හොඳ කතා දක්නට ලැබෙයි. ඒවායින් බහුතරයක් ඡන්ද කතාය. පසුගිය දිනෙක මගේ මිතුරෙකු විසින් මවෙත යොමු කර තිබූ එබඳු කතාවකි මේ.
එක්තරා වනයක විසූ බූරුවෙක්, තමා ඉදිරියට ආ කොටියකු දැක මෙසේ කීවේය.
“තණකොළ නිල් පාටයි”
“නෑ. ඒවා කොළ පාටයි”
කොටියා කීයේ රවා බලමිනි.
ඉන් අනතුරුව වාදයක් ඇරඹුණි. දෙදෙනාම සිය මතයේ දැඩිව එල්බගෙන උන්හ. අවසානයේදී කැලේ රජා වන සිංහයා මුණගැසී තීරණයක් ගැනීමට දෙදෙනාම එකඟ වූහ.
මුලින්ම කතා කළේ බූරුවාය.
“සිංහ රජතුමනි, තණකොළ නිල් පාටයි නේද?”
“ඔව්. ඔව්. තණකොළ නිල් පාටයි තමයි”
සිංහයා පිළිතුරු දුන්නේය.
“ඒත් මේ කොටියා ඒක විශ්වාස කරන්නෙ නෑ” බූරුවා කීවේය.
“එහෙම කොහොමද? මම කොටියව අවුරුද්දකට හිරේට යවනවා.” සිංහයා නියම කළේය.
ඒ ඇසූ බූරුවා සතුටින් කෑගසමින් කැලේ පුරා දිව යන්නට විය.
එතෙක් නිහඬව සිටි කොටියා මවිතයට පත්ව සිංහයාගෙන් මෙසේ විමසුවේය.
“රජතුමනි, තණකොළ කොළ පාට නෙවෙයිද?”
“ඔව්. ඔව්. තණකොළ කොළ පාට තමයි”
සිංහයා කට කොනකට සිනාවක් නගමින් කීය.
“එහෙනම් ඔබතුමා මාව හිරේට දැම්මේ?”
එවිට සිංහයා මෙසේ පැවසුවේය.
“උඹව හිරේට දැම්මේ තණකොළ නිල්ද, කොළද කියන කාරණේට නෙවෙයි. අර මෝඩ බූරුවා එක්ක වාද කරන්න ගිය එකට. නිර්භීත වගේම බුද්ධිමත් සතෙක් වන උඹ ඒ වගේ බූරුවෙක් එක්ක වාදෙට පැටළුණා මදිවට මගෙන් තීන්දුවකුත් ගන්න ආවා. මට තද වුණේ ඒකයි.”
කොටියා හිස බිමට නැඹූරු කරගත්තේය.
මෙම කතාව අවසානයේ උපදේශයක්ද දක්වා ඇත.
“එළඹෙන ඡන්දයේදී ඔබේ ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කරන්න. බූරුවන් සමඟ වාද කිරීමට යාමෙන් සිදුවන්නේ ඉදිරි වසර පහ තුළ සිරගතවීමට පමණි!!.”
එම උපදේශනය සැබෑවක් වුවද අවාසනාවකට මෙන් මේ දිනවල නිතරම අසන්නට ලැබෙන්නේ ගොන්, බූර, තකතීරු, මැටිමෝල් කතාය. ළඳ බොළඳ, විකට, අමන කතාය. අපව අන්දන කපටි කතාය. ඒ කතා ඉදිරියේ නිහඬව සිටීමට කොතෙක් උත්සාහ කළත්, ඇතැම් විට ඉවසීමේ සීමාව පනියි. වාදවල පැටළෙයි. කොතෙක් වාද කළත්, තවත් කෙනකුගේ දේශපාලන මතවාද වෙනස් කිරීම අපහසුය. අනෙක් අතට තර්කය යනු සත්‍යයට ඇති දිගම දුරය.
අපේ කන්තෝරුවේ කැන්ටිම ද වාදපිටියකි. (හීසරය දිගටම කියවන පාඨකයන් ඒ බව දනිති.) වාද අවුළුවන කිහිපදෙනෙකි. ඒ අතර රොබින්ද ප්‍රධානය. රොබින්ම පවසන අන්දමට ඔහු නියෝජනය කරන්නේ පීඩිත පංතියයි. විධායක නිලධාරියකු වන බාට්ලන්ඩ් මහතා පැවසූ අන්දමට ඒ බව සම්මුඛ පරීක්ෂණයේදී කීවේ නම්, “රොබින් තවමත් පීඩිත පංතියේමය”.
පසුගිය දිනෙක තේ පානය වෙලාවේදී රොබින් අපගෙන් මෙසේ ඇසුවේය.
“මොකද දැන් මේ පක්ෂ සේරම සන්ධාන ගහගන්න යන්නේ? පහුගිය කාලේ එකාට එකා නැතුව බැණගත්තා. ගහගත්තා. ඡන්දෙ කිට්ටු වෙනකොට සන්ධාන ගහන්න හදනවා.”
“දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් නැත. සතුරෝත් නැත කියන්නේ ඕක තමයි රොබින්.” මම කීවෙමි.
“සන්ධාන කාටද ඕන සර්? අපිටද? අපි ඉල්ලුවද?” රොබින් තදින් අසයි.
“හැමෝටම ඕන බලය. ඒ වෙනුවෙන් ඕනෑම කෙනෙක්ගේ කරට අත දා ගන්න ඒගොල්ලො ලෑස්තියි.” මම පහදා දුනිමි.
“දිනුවට පස්සේ මැති ඇමැතිකම් බෙදාගනීවි. අපිට මොනවද දෙන්නේ?”
රොබින්ගේ හඬ ශෝකීය. ඇත්තෙන්ම එය පීඩිත පංතියේ හඬය.
“සන්ධානවලට ඡන්ද නොදී හිටියම ඉවරයිනේ”
කවුදෝ කීය.
“සන්ධාන ඇතුළෙ තියෙන්නෙ පක්ෂ. මිනිස්සු ඡන්ද දෙන්නෙ තම තමන්ගේ පක්ෂවලට”
තවත් කෙනෙක් කීය.
“කතාවට කියන්නේ එක ජාතියෙ කුරුල්ලො එක අත්තක වහනවා කියලනේ.”
මෙතෙක් නිහඬව බලා සිටි මැනුවෙල් මහත්තයා කට කොනකින් සිනාසුණේය.
“සන්ධාන අතුවල නම් එක එක ජාතිවල එක එක පාට කුරුල්ලෝ වහන පාටයි.”
රොබින්ද සිනාසුණේය.
මීට කලකට ඉහත මහාචාර්ය සුචරිත ගම්ලතුන්, සිය තීරු ලිපියක ඇතුළත් කර තිබූ කතාවක් මගේ මතකයට නැගේ.
විප්ලවයට පෙර රුසියාවේ ධනපති පක්ෂ දෙකක් විය. ඒදෙගොල්ල උනුන් හා සටන් වදින්නේ කුමටදැයි, කිසිවෙක් ලෙනින්ගේ අග්‍ර සහායක ග්‍රිගෝරි සිනෝටියෙව්ගෙන් ඇසීය. සිනෝටියෙව් දුන් පිළිතුර මෙසේය.
“රාත්‍රියේදී හවුලේ ගෙයක් බිඳීමට යන හොරු දෙදෙනෙක් දහවල් කාලයේදී වීදිය මැද වහසි බස් බෙණෙමින් කෝලහාල කරගනිති. එවිට ඔවුන් උනුනට සතුරු බව මහජනයාට දිස් වේ. එහෙත් යළිත් රෑට”
සන්ධාන ගැන තවත් කතා කුමටද?
අමුඩය හොරකම් කළත්, කම්බාය හොරකම් කළත් වෙනසක් නැත. හොරා හොරාමය.
- කපිල කුමාර කාලිංග