අපේ කන්තෝරුවේ රොබින් ගැන මේ තීරු ලිපිය කියවන ඔබ දැනටමත් දැන සිටී. ඔහු හැමදාමත් වැඩට එන්නේ කතාබහක් ඇරඹීමට සුදුසු කුමක් හෝ අලුත් තේමාවක් ද රැගෙනය. බොහෝ විට එය මෙය ලිවීම සඳහා මට ද පිහිට වෙයි.
පසුගිය සඳුදා ඔහු අප හමුවට පැමිණියේ මෙසේ කියමිනි.
“සර්.. දන්නවද වැඩක්. තවත් කෝච්චියකට ගෑනු නමක් දාලා.”
“ඒ මොකක්ද?”
“ශ්‍රී දේවි.. කොළඹ කොටුවේ ඉඳලා කන්කසන්තුරේට යන කෝච්චිය.”
“ෂා.. ලස්සන නම.. ඉන්දියාවේ ප්‍රසිද්ධ නිළියකුත් හිටියනෙ ශ්‍රී දේවි කියලා.”
“කෝච්චිවලට ගෑනු නම් විතරක් දාන්නේ මොකද සර්?”
රොබින්ගේ ප්‍රශ්නයට එකවර පිළිතුරක් දිය නොහැකි තැන මම මඳ සිනාවක් පාමින් මෙසේ කීවෙමි.
“ලැසි ගමනින් යන හින්දා වෙන්ඩැති.”
“මම හිතුවෙ එක දිගට කචබචේ හින්දා වෙන්ඩැති කියලා.. දිගට කතා කරන මිනිස්සුන්ට කියන්නෙත් කෝච්චිය කියලනෙ.”
සිරි ලංකාවේ දුම්රියවලට ස්ත්‍රී නාම යෙදීමට නිශ්චිත හේතුවක් තිබිණි දැයි කීමට මා දන්නේ නැත. දුම්රිය ඉතිහාසයට අනුව නම් මෙරටට අමෙරිකාවෙන් ගෙන්වූ මුල්ම දුම්රිය එන්ජින්වලට තිබුණේ එරට ප්‍රාන්ත නාමයන්ය. පසුව එකල කොළඹ තිබූ ලොකු ලොකු “කොලීජි” වල නම් යොදා ගැනුණි.
කෙසේ වෙතත් මුල් කාලයේ නම් අපේ රටේ ජනතාව දුම්රියේ කිසිදු ගැහැනු ගතියක් දුටුවේ නැත. ඔවුන් එය දුටුවේ “අඟුරු කකා, වතුර බිබී කොළඹ දුවන යකඩ යකෙකු” ලෙසිනි.
මැණිකේලා, දේවිලා සහ රැජිනිලා ගේ නමින් දුම්රිය දුවන්නට ගත්තේ පනස් හයෙන් පසුව පැතිර ගිය සිංහල ජාතික ප්‍රබෝධයක් සමඟය. උඩරට මැණිකේ ප්‍රධාන මැණිකෙලාම හතර දෙනෙකි. (පස්වෙනියා වූ දෙනුවර මැණිකේ දැන් නැත.) යාල් දේවි වටකර ගත් සෙසු දේවිලා හතර දෙනකි. රුහුණු කුමාරි ඇතුළු කුමාරිලා තිදෙනෙකි. මඩකලපුවේ සින්දු කියන මාළු බලන්නට යන්නේ “මීන ගයා” දුම්රියෙනි. රාජකීය හා ත්‍රිත්ව විදුහල් අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ රගර් තරගය නැරැඹීමට යාමට “බ්‍රැඩ්බි ස්පෙෂල්” නම් දුම්රියක් ලැබෙයි. සංචාරක ආකර්ශනය සඳහා වෙන් වූ පරණ කාලේ දුම්රිය “වයිස්රෝයි ස්පෙෂල්”ය. පිරිමි නම් ඇත්තේ ඉඳහිට දුවන පහත දැක්වුණු දුම්රිය දෙකට පමණි.
දුම්රිය දෙපාර්තමේන්තුව ඉහත කී ගැහැනු නම් ඇති දුම්රිය හඳුන්වන්නේ එකම පවුලක සහෝදරියන් පිරිසක් ලෙසිනි. දේශපාලන ලොක්කෙක් ඒ අතරට නිළි කුමාරියකගේ නමක් ද එක්කිරීමට ගොස් පීලි පැනගත් කතාවක් ද පසුගිය කාලේ අසන්නට ලැබුණි. දුම්රිය “හූ” කියන්නේ ඒ ඇත්තන්ටත් ඇහෙන්නටමය.
හූනන්ට ජාතික වීරයන්ගේ නම් තැබීමට යාම ගැන ජනමාධ්‍ය තුළින් බොහෝ දෙනා “චික් චික්” ගාන හඬ පසුගිය දිනවල අසන්නට ලැබුණි.
නම් තැබීම ද කලාවකි. මිනිසුන්ට පමණක් නොව ගොඩනැගිලි, වෙළෙඳ භාණ්ඩ, යාන වාහන, ගංඟා, ඇළ දොළ යනාදි සියලු දෙයට නම් ලැබෙයි. නම් තැබීමට ගොස් වැඩේ අනාගන්නා උදවිය ගැන විහිළු කතාද ඇත.
එක්තරා ව්‍යාපාරිකයෙක් අලුත ඉදිකළ ගොඩනැගිල්ලෙහි දෙපස භෝජන ශාලාවක් සහ ලී බඩු වෙළඳ සලක් ආරම්භ කිරීමට අදහස්කොට සුදුසු නම් දෙකක් යෙදීම සඳහා පඬිවරයෙක් හමුවට ගියේය. විස්තර ඇසූ පඬිතුමා කඩදාසියක නම් දෙකක් ලියා දුන්නේය.
ව්‍යාපාරිකයා ද එය රුගෙන ගොස් අලංකාර භෝජන ශාලාව සහ මිහිරි ගෘහ භාණ්ඩ වෙළඳ සල යනුවෙන් නම් තැබුවේය. ඔහුට නම් දෙක පැටැලී තිබුණි. නොගැලපෙන, නුසුදුසු නම් යෙදීම් රට පුරා දක්නට ලැබේ. ලීලා ගල් මෝල, සුමුදු බ්ලොක් ගල්, ගං ඉවුර කැෆේ, සැනසුම මල් ශාලාව, සුනාමි බීච් රෙසෝට් වැනි නම් ඊට නිදසුන්ය.
මෙබඳු උදවිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නම් තැබීමේ මාස්ටර්ලාගෙන් උපදෙස් ගැනීම වැදගත්ය.
දුම්රිය සේවයේ අය අතර මෙන්ම දුම්රිය මගීන් අතරද පවතින ජනප්‍රිය විහිළු කතා රැසකි. ඉන් කීපයක් මගේ මතකයට නැඟෙයි.
දුර ගමනාන්තයකට යන දුම්රියක නැගී සිටි මහලු මහතෙක් එය නවත්වන සෑම දුම්රිය ස්ථානයකදීම ඉන් බැස ගොස් ටිකට් පතක් මිලදී ගනී. ඔහුගේ ඉදිරි අසුනේ සිටි තරුණයාට මෙය පුදුමයට කාරණයක් විය.
ගමන අවසානයේ දුම්රියෙන් බැස යන අතරේ තරුණයා මහලු මහතාට ළංව මෙසේ ඇසුවේය.
“මහත්මයා, හැම ස්ටේෂන් එකකදීම ටිකට් ගත්තේ ඇයි? එක සැරේ මුළු ගමනටම ටිකට් එක ගත්ත නම් ලේසියිනේ?”
“මේකයි හේතුව මගේ දොස්තර මට අවවාද කරලා තියෙනවා. දුර ගමන්වලින් වළකින්න කියලා.” මහලු මහතා බැරෑරුම් බැල්මෙන් යුතුව පිළිතුරු දුන්නේය.
එක්තරා නගරයක කුලී රථ සේවා අයතනයකට දුරකතන ඇමතුමක් ලැබුණි.
“පුළුවන් තරම් ඉක්මනට මට කැබ් එකක් එවනවද? දහයේ කෝච්චියට ස්ටේෂන් එකට යන්න ඕනේ.”
“කැබ් එකක් එවන්න පුළුවන්. ඒත් ටිකක් ප්‍රමාද වෙයි. බයවෙන්න එපා සර්. දහයේ කෝච්චිය කවදාවත් වෙලාවට යන්නේ නෑ.”
“ආ එහෙමද? අදත් ඒක ඒ විදිහටම සිද්ධ වෙයි. තමුසෙලත් ඒකට වග කියන්න වෙයි.”
“ඒ මොකද?”
“මම තමයි ඒකේ එන්ජින් ඩ්‍රයිවර්”
ඇමතුම විසන්ධි විය.
දුර පළාතකට යන සීඝ්‍රගාමී දුම්රියක් ගමනාරම්භ කිරීමට සැරසුණා පමණි. කාන්තාවෝ දෙදෙනෙක් බලාසිටිනු දුටු දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් ඔවුන් දෙදෙනා ඔසවා දුම්රිය තුළට දැමුවේය. ඒ සමඟම දිව ආ මහලු මහතෙක් ඈත්ව යන දුම්රිය දෙස බලමින් ආරක්ෂක නිලධාරියාට බැණ වදින්නට විය.
“තමුසෙ මොකක්ද ඒ කරපු වැඩේ? තමුසෙ කෝච්චියට දැම්මෙ මාව ඇරලන්ඩ ආපු මගේ නෝනයි දුවයි.”
“අයියෝ ඇත්තද? දැන් ඒ දෙන්නට ටිකට්ස් නෑ කියලා අල්ල ගනී.”
දුම්රිය ආරක්ෂකයා කනගාටු වූයේය.
► කපිල කුමාර කාලිංග