මම පසුගිය දිනෙක දුම්රියෙන් මහනුවර බලායමින් සිටියෙමි. අසල අසුනක හිඳසිටි මැදිවියේ මහත්මයෙක් පුවත්පතක් කියවයි.
මොහොතකට පසු ඔහු තමා අසල සිටින අනෙකා හා කතාවට වැටුණේය. අනුන්ගේ කතා ඇසීම මගේ පුරැද්දක් නොවුණත් ඉබේ ඇසෙන කතා අසා සිටීමෙහි එතරම් වරදක් නැතැයි සිතමි.
මට තැනින් තැන ඇසුණු එම සංවාදයේ කොටසකි මේ.
“ඉන්දියාව දැන් එංගලන්තෙටත් වඩා ලොකුයි කියලා මේ පත්තරේ දාලා තියෙනවා.”
“ඒක නම් වෙන්ඩ බැරි දෙයක්. එංගලන්තෙ ඉන්දියාව යටත් කරගෙන හිටපු බව නම් ඇත්ත. ඒත් ඉන්දියාවට වඩා ලොකු වෙන්නෙ කොහොමද?”
“නෑ.. නෑ.. මේකෙන් අදහස් කරන්නේ භූගෝලීය වශයෙන්වත් නෙවෙයි. ආර්ථික තත්ත්වයෙන්.”
එසේ කියු මැදිවියේ මහතා තම අතැති පුවත්පතින් පේළි කීපයක් කියැවුණේ පන්තියක උගන්වන ආර්ථික විද්‍යා ගුරෙකු සිහි කරවමින්.
“ලෝකයේ, සමස්ත ජාතික දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩකට වඩා නිපදවනු ලබන විශාලතම ආර්ථිකය සහිත රටවල් පහෙන් එකක් ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණෙයි. එම අනෙක් රටවල් නම් අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ජර්මනියයි.”
“එහෙම බැලුවම ලංකාව, ඉන්දියාවට හරි චීනෙට හරි හේත්තු වෙන එක හොඳයි වගේ. අනුන්ගේ පහනෙන් තමයි අපිටත් එළිය බලන්ඩ වෙන්නේ.”
“ඒක නම් ඇත්ත. අපි හැමදාම කටින් බතල හිටවනවා විතරයිනේ. අපිට හරි ආර්ථික සැලැස්මක් නෑ. මෝදි කියන විදිහට 2025දී ඉන්දියාව ආර්ථික දියුණුවෙන් ජපානයයි, ජර්මනියයි පරදවලා තුන්වෙනි තැනට එනවලු.”
“අපිට හරි නායකත්වයක් නෑ. මේසන් බාස්ලා ආවා කියලා රටක් ගොඩදාන්ඩ පුළුවන්ද?”
“මෙදා පාර දාහත් දෙනෙක් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙනවලු. කොහොමද රට හදන්න තියෙන උනන්දුව?”
“සේරටම කලින් ඒ කට්ටිය විශ්ව ශක්ති පිට්ටනියකට යැව්වොත් නරකද?”
“ඒ මොකටද?”
“තියෙන ලෙඩ රෝග හොඳ කර ගන්න. අමාරු ලෙඩ්ඩු හිටියොත් එකෙන් දෙන්නෙක් මඟදිම හැලෙයිනේ.”
දෙදෙනාම එක්වර සිනාසුණු අතර මම ද අහක බලාගෙන සිනාව මැඩ ගත්තෙමි.
කතාව යළිත් ඇරඹුණි.
“අර කොළොන්නෙ මහත්තයා කියපු සැඟවුණු අමුත්තා කවදා එළියට එයිද?”
“පේන විදිහට නම් ඡන්දෙන් පස්සෙ එයි වගේ!”
“එතකොට අර දාහත් දෙනාගෙන් කාවද අපි තෝරාගන්නේ?”
“අලි බබා සහ හොරු හතළිහෙන් හොඳම හොරා තෝරාගන්න කිව්වොත් ඒක ලේසි වෙයිද?”
“ඒ සේරමලා එකතු කරලා සන්ධානයක් හැදුවොත් නරකද?”
“ආඩි දාහත් දෙනාගේ කැඳ හැලිය කියලා අලුත් කතාවක් හදන්න වෙයි.”
දෙදෙනා යළිත් සිනාසී මොහොතකට නිහඬ වූහ.
වේයන්ගොඩ පසු කළ දුම්රිය, ගමන් වේගය වැඩි කළේය. දුම්රියෙන් නැඟෙන හඬ මට ඇසෙන්නේ. “ඡන්දෙත් එනවා ඡන්දෙත් එනවා.” යනුවෙයි. (අපේ වැඩිහිටියන්ට නම් ඇසුණේ “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක” යනුවෙනි. කාලයාගේ ඇවෑමෙන් දුම්රියේ හඬ පවා දේශපාලනීකරණය වී ඇති සේය.)
මැදිවියේ පුද්ගලයා එවර තරමක් බැරෑරුම් හඬකින් කතා කළේය.
“අපේ රටට මෙහෙම වුණේ ඇයි?”
අනෙකා මොහොතක් කල්පනා කර පිළිතුරක් දුන්නේය.
“මේ රටේ හැම තැනකම හොරු පිරිලා. පත්තර පිටු පිරෙන්නෙ අපරාධ, දූෂණ, වංචා, හොරකම්වලින්, හොරු අල්ලනවා කිව්වට ඒක වුණේ නෑනේ.”
“මට ආරංචියක් ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් පිරිසක් බඳවා ගන්න යනවලු. ඒ ගොල්ලන්ට පිටරට යවල පුහුණු කරනවලු.”
“අපේ රටේ ඉන්නේ ඔළුවෙ ඉතුරු කරලා බෙල්ල කපන් යන ජාතියේ හොරු. පිටරට විශේෂඥයන්ට ඒවා තේරෙන එකක් නෑ.”
“බලමුකෝ මොකද වෙන්නේ කියලා. මෙහෙම ගියොත් නම් මේක චෞර රාජ්‍යයක් වෙලා. නැත්තට නැතිවෙලා යයි.”
බලන කපොල්ලට ළං වෙද්දී දෙදෙනාම නින්දට වැටුණාහ.
කවුළුවෙන් පිටත බලන මට ලක්දිව විසු කීර්තිමක් මංකොල්ලකාරයෙකු වූ සරදියෙල් විසු උතුවන්කන්ද දිස්වේ. දැන් සරදියෙල්ලා හැමතැනමය.
අපරාධ විමර්ශන ගැන සඳහන් කෙරුණු බැවින් සිනා කතාවක් මතකයට නැඟුණි.
එක් රටක අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අලුත් නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවත්වුණි. එය මෙහෙයවූ ප්‍රධාන පොලිස් නිලධාරියා පළමුව කැඳවූ තරුණයා හමුවේ කිසියම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් තබා මෙසේ කීවේය.
“රහස් පරීක්ෂකයෙකුට තියුණු බුද්ධියක් වගේම ඇසකුත් තිබිය යුතුයි. මේ ඡායාරෑපයේ සිටින පුද්ගලයා දෙස හොඳින් බලා ඔහුගේ විශේෂ ලක්ෂණය කුමක්දැයි කියන්න.”
පළමුව තරුණයා ඡායාරූපය දෙස මොහොතක් බලාසිටියේය.
“එයාගේ එක ඇහැක් අන්ධයි.”
දෙවෙනි තරුණයා ද කැඳවුණි. ඔහුටද පළමු ප්‍රශ්නයම යොමු කෙරුණි. ඡායාරූපය නිරීක්ෂණය කළ ඔහු මෙසේ කීය.
“මිනිහට තියෙන්නේ එක කනයි.”
තෙවෙනි තරුණයා ද පැමිණියේය. ඡායාරූපය දෙස බලා සිට මෙසේ කීවේය.
“මේ හාදයා අක්ෂි කාචයක් (කන්ටෑක් ලෙන්සස්) දාගෙන ඉන්නේ.” ප්‍රධාන නිලධාරියා මවිතයට පත්විය.
“ෆොටෝ එකකින් එහෙම නිගමනය කරන්නේ කොහොමද? කන්ටෑක් ලෙන්සස් කියන දේ එහෙම පේන්නේ නෑනෙ.”
“ඇයි සර් මිනිහට තියෙන්නේ එක කනයි, එක ඇහැයි. එතකොට සාමාන්‍ය කණ්ණාඩි දෙකක් දාන්ඩ බැහැනේ. ඒකයි මම හිතුවේ කාචයක් දාලා ඇති කියලා.”
එම තරැණයා අද එරට අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
එහෙත් ඔහු සොරකම සම්පූර්ණයෙන්ම තුරන් කිරීම තහනම් කර ඇත. එසේ වුවහොත් ඔහුට රැකියාව අහිමි වන බැවිනි. රටක පැවැත්මට සොරකමද අවශ්‍යය. සිරි ලංකාව ඊට නිදසුනකි.
► කපිල කුමාර කාලිංග