මේ දිනවල අපේ කන්තෝරුවේ උදවියට වැඩට ඒමට හරස් වන බොහෝ හේතු තිබේ. දුම්රිය වර්ජන, උද්ඝෝෂණ වැනි සුලබ හේතූන් අතරට ගංවතුර ද එක්ව ඇත.
ගංවතුර යැයි කියන්නේ ගංගා, ඇළ දොළ පිටාර ගැලීමෙන් ඇති වන ජල ගැල්මකටය. ඒවා බොහෝ විට සිදුවූයේ ඈත පළාත්වල, ගංගා නිම්න ආශ්‍රිතවය. එහෙත් මේ කාලේ ගංවතුර, ටවුන් වතුරක් වී තිබෙන අයුරු දිස්වේ.
පසුගිය අඟහරුවාදා දවස පුරාම කොළඹට වැස්සය. මම නිවසට ඒම සඳහා කුලී රියක් කැඳවා ගත්තෙමි. රියදුරා වාහන තදබදයෙන් මිදීම සඳහා අතුරු මාර්ග ඔස්සේ ගමන් කරන්නට විය. එහෙත් සුළු මොහොතකින්ම නැවත ප්‍රධාන මාර්ගයටම හරවා ගෙන ඒමට සිදුවූයේ අතුරු මාවත් තැන තැන වතුරින් යටවී තිබීම නිසාය.
“මේක පුදුම වැස්සක්නේ. ගංවතුරක් වගේ පෙනුණට මේ සේරම වැහි වතුරනෙ.”
රියැදුරා මැසිවිලි නඟන්නට විය.
“වතුර බහින්න තැනක් නෑ. ඒ තැන්වල ගෙවල් හදලා. ඒ මදිවට කාණු බ්ලොක් වෙලා. පාරවල් කැඩිලා, වළවල් හැදිලා. ඒවට වතුර පිරුණාම හරිම අනතුරුදායකයි.” රියදුරා දිගටම කියවයි.
මම නිහඬව කල්පනාවෙහි නිමග්න වූයෙමි.
මීට දශක කීපයකට ඉහත කැලණි ගඟ පිටාර ගැලූ විට කැලණි පාලම අවට විසූ පැල්පත්වාසීහු තාවකාලික පැල් අටවාගෙන පාලම මතට රොක්වූහ. ඔවුනට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමට ද දානපතීහු ඉදිරිපත් වූහ. ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ “කැලණි පාලම”ට නිමිති වූයේද ඒ පසුබිමය.
වැස්ස යනු නරක දෙයක් නොවේ. අව්ව මෙන්ම වැස්ස ද මිනිසාට අත්‍යවශ්‍යය. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා අවශ්‍ය නැත යන කාරණය ද මෙහිදී සැලකීය යුතුය. වැස්සෙන් කරදර වනවිටත් “මේක පුදුම ආණ්ඩුවක්නේ” යැයි දොස් පැවරීමට මිනිස්සු පෙළඹෙන්නේ එහෙයිනි.
කලකට ඉහත නම් වැස්ස වැඩිවන විට ගැමියන් දොස් පැවරුවේ වැස්ස වළාහකයාටය. දැන් යහපාලනයටය.
වැසි විපත් මැද්දේ බඩු මිල ඉහළ නගින්නේ, ගංවතුර සේමය. කිරිපිටි මිලද රුපියල් 20කින් ඉහළ ගියේය. “වැසි පාඩු” මකාගැනීමටදෝ වෙළෙන්දෝ හිතූ හිතූ ගණන් කියති. මිල පාලනයක් නැතත් කාලගුණ දෙපාර්තමේන්තුව අකුණු විපත්වලින් පරිස්සම් වන ලෙස පොදුවේ අවවාද කරයි.
ගංවතුර හෝ වැහි වතුර භයානක වන්නේ. ගෙවල් දොරවල් ගිලගත් විටය. නැතිනම් මිනිස් ජීවිත බිලිගත් විටය. එසේ නැති විට ගංවතුරේ සුන්දරත්වයක් ද නැත්තේම නොවේ.
කුඩා ළමයි කඩදාසි බෝට්ටු සෑදුවේ වැහි කාලයටය. ගම්බද ළමයි, කෙසෙල් කොට පාරු තනා ජලයෙන් වැසීගත් කුඹුරුවල යමින් විනෝද වූහ. අද නම් සරුංගලයක් තැනීමටවත් ළමයි නොදනිති. අනිත් අතට පාසල් ළමුන්ට වැඩිහිටියන්ටත් වඩා වැඩ වැඩිය.
මගේ නැගණියකගේ දියණිය, වැස්සට තෙමී සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන්නට වූවාය. සෙම් රෝගවලට හොඳ එක් ප්‍රතිකාරයක් වන්නේ පැය හත අටක දිගු නින්දක් ලැබීම යැයි කිසිවෙක් ඇයට පැවසීය.
“ඕලෙවල් ළමයින්ට එහෙම නිදාගන්න වෙලාවක් නෑ.”
ඇය පිළිතුරු දුන්නාය.
බරපතළ සිදුවීම් නැතිනම් ගංවතුර විනෝද සමයකට පෙරළා ගන්නා පිරිස් ද සිටිති. මධු සාද පැවැත්වීම පමණක් නොව වැසි නැති පළාත්වලට විනෝද ගමන් යාමද ඒ අතර වෙයි. මරණ තුනක් දැක දැක පැණි කන මිනිසුන් වැඩිපුරම සිටින්නේ ද මේ සිරිලංකාවෙහිය. එහෙව් අයට ගං වතුර ද “ආතල්”ය.
ගංවතුරින් වැඩ ගන්නා තවත් කොටසක් වෙති. ඒ දේශපාලනඥයෝය. ගංවතුර ආරංචි වෙද්දී එක්වරම ඔවුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසන රත් වෙයි. තම තමන්ගේ නම් ගම් තනතුරු හෝ ඡන්ද සලකුණු සහිත “ආධාර මලු” රැසක් ඔවුහු ආසනයේ ජල විපත් පෙදෙස්වලට යති. තමන් පත්කර යැවූ නියෝජිතයා (මන්ත්‍රීතුමා හෝ ඇමතිතුමා) ගං වතුර කාලයේදී දක්නට ලැබීම ගැන මහත් සතුටට පත්වන වැසියෝ අඩක් ජලය බැස හෝ “ජයවේවා” යැයි කෑ ගසති. බත් පැකට්ටුවකට, වියළි ආහාර මල්ලකට, වතුර බෝතලයකට වඩා එක් ඡන්දයක් බොහෝ වටිනා බව මන්ත්‍රී ජනයාද දනිති.
අත ළඟ තිබෙන්නේ ජනාධිපතිවරණයකි. එහෙයින් දැන් දැන් කළඑළි බසින අපේක්ෂකයින්ගේ අනාගත සැලසුම් අතරට ගංවතුර හා වැහි වතුර වළකන යෝජනා ක්‍රමද ඇතුළත් කිරීම වටී. ජයගත් පසු ඒවා ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම වෙනම කතාවකි. නිදහස ලැබූදා සිට ජනතාවට දුන් ඡන්ද පොරොන්දු ඉෂ්ට වූවා නම් මේ වනවිට සිරිලංකාව යනු ස්වර්ග රාජ්‍යයකි.
සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ ගං වතුරේ ද හොඳ පැත්තක්ද ඇත.
කැලණි ගඟ ජල මට්ටම ඉහළ ගිය අවස්ථාවල ඉහළ සිට ගලා එන බොහෝ දෑ එහි දක්නට ලැබෙයි. දැව කණු, කොට්ට මෙට්ට, ඇඳ පුටු, ඇඳුම් පැළඳුම් මෙන්ම කෙසෙල්, අඹ, මැංගුස් වැහි පළතුරු ද ඒ අතර වෙයි. ගං තීරයේ පැල්පතක විසූ දිළිඳු, තනිකඩයෙකු වූ සිරිපීනු සැඩ පහරේ ගලාඑන ද්‍රව්‍ය අල්ලා ගැනීමට පුරුදුව සිටියෙකි. එක් දිනක් ගඟේ පාව එන ලී පෙට්ටියක් දුටු ඔහු එය ගොඩට ඇද ගත්තේය. විවෘත කළ බැලූ විට ඒ තුළ සිටියේ බල්ලෙකි.
තම දිවි බේරාගත් නිසාදෝ ඌ සිරිපීනුට දැඩි ඇල්මක් දක්වන්නට විය. ටික දිනකින්ම ගං තීරයට යාබදව ඇරැඹුණු කම්හලක මුරකාර රුකියාවක් සිරිපීනුට ලැබුණි. බල්ලා ද ඔහු සමඟ වැඩට ගියේය. පසු කාලයක ද ගං වතුර කීපයක්ම ඇති වුවද සිරිපීනුට හෝ බල්ලාට ගඟේ පාවී ආ බල්ලා යැයි ඔහු දන්නා හඳුනන අය තවමත් පවසනු ඇසේ.
එක් ගං වතුර සමයක මන්ත්‍රීවරයා රට ගොස් සිටියෙන් ඔහුගේ බිරිඳ ආධාරකරැවන් ද සමඟ විපතට පත් වැසියන් බලන්නට ගියාය.
ජලයෙන් යටවූ පෙදෙසකට ගිය ඇය ප්‍රදේශවාසීන් සමඟ කතා බස් කරමින් සිටියදී එක්වරම කලබලයට පත්ව තම වාහනය වෙත දිවයන්නට වූවාය.
“මොකද මොකද මැඩම්?”
වැසියෝ ද ඇය ලුහුබැඳ යමින් ඇසූහ.
“ක්‍රොකඩයිල්! ක්‍රොකඩයිල්!..” (කිඹුලෙක්, කිඹුලෙක්)
ආපසු හැරී බැලූ වැසියන් දුටුවේ අලකොළ ගාලකින් මතුවන කබරගොයෙකි.
කිඹුලාත්, කබරගොයාත් වෙන්කර හඳුනා ගතනොහැකි මන්ත්‍රී බිරිඳ නිසා ඇගේ මන්ත්‍රී සැමියාටත් නැවත එම ආසයන දිනාගත හැකිවූයේ නැත.
ගං වතුරෙන් ද උගත හැකි දෑ බොහෝය. ඒ සඳහා වතුර බැස යන කල්ම සිටිය යුතුද නැත.
► කපිල කුමාර කාලිංග