එක්සත් ජාතීන්ගේ සංගමය, එක් එක් අවස්ථාවල, නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් තම සාමාජික රටවලින් මත විමසීමෙහි යෙදෙයි. ලෝක ආහාර දිනය ළඟා වෙද්දී, එබඳු මත විමසීමක යෙදුණු අතර, සාමාජික රටවල් වෙත මෙබඳු ප්‍රශ්නයක් යොමු කෙරුණි.
“ලෝකයේ බොහෝ රටවල පවතින ආහාර හිඟය විසඳීමට ඔබට ඉදිරිපත් කළ හැකි අවංක උපදේශයන් මොනවාද?”
අවාසනාවකට මෙන්, මෙම මත විමසුම සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ඊට හේතු මෙසේය.
අප්‍රිකා මහාද්වීපයේ ඇතැම් රටවල් ‘ආහාර’ යනු මොනවාදැයි හරිහැටි දැන සිටියේ නැත.
ධනවත් රටවල් ‘හිඟය’ යනු කුමක්දැයි දැන සිටියේ නැත.
පලස්තීනය, ඉරානය වැනි රටවල් ‘විසඳීම’ යන්නෙහි සැබෑ අර්ථය දැන සිටියේ නැත.
චීනය, රැසියාව වැනි රටවල් ‘උපදේශයන්’ ගැන උනන්දුවක් නොදැක්වීම ගැටලුවක් විය.
අමෙරිකාව, ලෝකයේ බොහෝ රටවල් (වෙනත් රටවල්) ගැන දැන සිටියේ නැත.
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් කිහිපයක්, අවංකභාවය දැන සිටියේ නැත!
බැලූ බැල්මට ඉහත කතාව, දේශපාලන උපහාසයක් ලෙස පෙනී ගියත්, ගැඹුරින් ගත් කළ බරපතළ තත්ත්වයකි. එක්සත් ජාතීන්ගේ සංගමයට ලෝකයේ පවතින බොහෝ අර්බුද විසඳිය නොහැකිව ඇත්තේ ද, ඉහත දැක්වූ ආකාරයේ අනවබෝධයන් නිසාය.
ආහාර දින මත විමසුමෙහි අසාර්ථකභාවය පිළිබඳව පසු විපරමක යෙදුණු විද්වතුන් බොහෝ දෙනෙක් තම කනස්සල්ල පළ කර තිබුණේ, සිරි ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයක් අවංකභාවය වටහාගෙන නොතිබීම සම්බන්ධයෙනි. පුදුමයකට මෙන් එම රටවල පුරවැසියෝ බොහෝ අවංක අය වූහ. එහෙත් ඔවුන්ගේ පාලකයෝ අවංක උදවිය නොවූහ.
අවංකභාවයත්, දේශපාලනයත් එකිනෙකට පරස්පර කාරණා දෙකක් ලෙස පෙනී යතත්, දේශපාලනඥයන් තරම් අවංකභාවය ගැන කතා කරන වංක පිරිසක් ලොව තවත් නැති තරම්ය. ඉන්දියාවේ මැතිවරණ සමයකදී අන්තර්ජාල පුවරුවක මෙසේ දැක්වුණි.
“ජනතාවගේ අවංකභාවය මෝඩකමකැයි නොසිතන්න. ඔවුන් කරනා ලොකුම මෝඩකම, වංකයන් අතරින් වංක බව අඩුම පුද්ගලයන්, තම නියෝජිතයන් ලෙස තෝරාගැනීමය.”
ජනමාධ්‍ය තුළ, අවංකභාවය හා දේශපාලනය ගැන පළවන උපහාස කතා බොහෝය. පහත දැක්වෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයෙන් ඇසුණු කතාවකි.
දෙවියන් වහන්සේ, අමෙරිකානුවන්ට තෑගි තුනක් දීමට තීරණය කළහ. අවංකභාවය, බුද්ධිය හා ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඒ තෑගි තුනය. එහෙත්, වඩා තෘෂ්ණාධික නොවීම පිණිස, සෑම කෙනකුටම ඒ තෑගි තුනෙන් දෙකක් තෝරාගන්නා ලෙස, ආගමික නායකයන්ගෙන් උපදෙස් ලැබුණි. සුපුරුදු පරිදිම, සී.අයි.ඒ. සංවිධානය ද, අමෙරිකානුවන්ගේ තෝරාගැනීම් දෙස පරීක්ෂාවෙන් සිටියේය. ඒ අනුව ඔවුන් බැසගත් නිගමන මෙසේ විය.
කිසියම් අමෙරිකානුවෙක්, අවංකභාවය හා ට්‍රම්ප්, තෝරාගන්නේ නම්, ඔහු බුද්ධිමතකු නොවේ.
කිසිවෙක්, බුද්ධිය හා ට්‍රම්ප් තෝරාගන්නේ නම්, ඔහු අවංක පුද්ගලයකු නොවේ.
කිසිවෙක්, අවංක බව හා බුද්ධිය තෝරාගන්නේ නම්, ඔහු ට්‍රම්ප් විරෝධී, රාජ්‍ය ද්‍රෝහියෙකි!
පොරව නැති කරගත් ගස් කපන්නා සහ වරම් දුන් දෙවියා පිළිබඳ පැරණි ජනප්‍රවාදය ද අවංක බව තේමාකර ගත්තකි. කලින් කලට ප්‍රවාදයන් ද වෙනස් වන බවට කදිම නිදසුනකි මේ.
එක් දිනක්, ගස් කපන්නකු, ගසකට නැඟ මුදුන් අත්තක් කැපීමෙහි යෙදී සිටියදී, ඔහු අත තිබූ පොරව, පහතින් තිබූ ගඟට වැටුණේය. බලවත් කනගාටුවට පත් ඔහු ගසින් බැස හඬන්නට වූයේය. ගස් කපන්නා ගැන අනුකම්පා කළ, වන දෙවියෙක් ඔහු වෙත පැමිණ මෙසේ විමසුවේය.
“මොකද ඔබ අඬන්නෙ?”
“මගේ පොරව ගඟට වැටුණා. දැන් මට ජීවත් වෙන්න විදිහක් නෑ.”
වහා ගඟ දියෙහි කිමිදුණු දෙවියා, රන් පොරවක් ගෙන මතු විය.
“මේකද ඔබේ පොරව?”
“නෑ.”
අවංක පුද්ගලයකු වූ, ගස් කපන්නා රන් පොරව ප්‍රතික්ෂේප කළේය.
දෙවියා යළිත් ගඟ දියට බැස්සේය. එවර ඔහු ගෙනාවේ රිදී පොරවකි.
“මෙයද ඔබේ පොරව?”
“නෑ.”
එවරද, ගස් කපන්නා අවංක පිළිතුරක් දුන්නේය.
දෙවියා යළිත් ගඟට බැස, ගස් කපන්නාගේ ලෝහ පොරව ගෙන ආවේය. ගස් කපන්නා එය තමාගේ බව කීවේය. ඔහුගේ අවංකභාවය ගැන මහත් සතුටට පත් දෙවියා, රන්, රිදී හා ලෝහ පොරෝ තුනම, තෑගි කොට පිටව ගියේය.
ඊට මඳ කලකට පසු, ගස් කපන්නා හා ඔහුගේ බිරිඳ ගමනක් යමින් සිටියදී, බිරිඳගේ පය ලිස්සා ගොස් ගඟට වැටුණි. ගස් කපන්නා, ගං ඉවුරට වී හඬා වැළපෙන්නට විය.
දෙවියා එවරද ඔහුගේ පිහිටට පැමිණියේය. වහා ගඟ දියෙහි කිමිදුණු දෙවියා, ගොඩට ආවේ, සුරෑපී හින්දි නිළි අයිෂ්වර්යා රායි සමඟය.
“මේ ඔබේ බිරිඳද?”
“ඔව්.”
දෙවියා පුදුමයට පත් විය.
“තමුසෙ බොරැනෙ කියන්නෙ.”
“ඔව්. මම දන්නවා මේ අයිෂ්වර්යා කියලා. ඒත් මම නෑ කිව්ව නං, ඔබවහන්සේ ගඟට බැහැලා, කාජල්වත් අරන් එයි. එයාටත් නෑ කිව්වම, මගේ ඇත්ත භාර්යාවම අරන් එයි. අන්තිමේට මගේ අවංකකමට තෑග්ගක් කියලා තුන්දෙනාම මට දීලා යයි. එක පවුලක් එක්කත් අමාරුවෙන් ඉන්න මං, නිළියො දෙන්නකුත් නඩත්තු කරන්නෙ කොහොමද?”
දෙවියා ආ ගිය අතක් නැති විය.
► කපිල කුමාර කාලිංග