2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

දුම්රිය රාජ්‍යයක පෙරනිමිති

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

දිගු කලක් මුළුල්ලේ අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන මගේ මිතුරෙක් පසුගිය දිනෙක දුරකතන ඇමතුමක් දෙමින් නියම කතාවක් කීවේය.

කලකට ඉහත අමෙරිකාවේ පදිංචියට ගිය ඉහළ පෙළේ ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් දැන් විශ්‍රාම ලබා සුඛෝපභෝගී ජීවිත ගත කරති. සැඳෑ සමය ගත කිරීම සඳහා නිතරම පාහේ එකිනෙකාගේ නිවෙස් වෙත යාම ඔවුන්ගේ සිරිතකි. ඉහළම වර්ගයේ මධු විතකින් සප්පායම් වන ඔවුහු සිරිලංකාවේ පවතින ප්‍රශ්නවලට විසඳුම් සොයති. එහෙත් මේ කිසිවෙකු පාසලකට පරිගණකයක් තරම් දෙයක් දීමටවත් මෙරටට නොඑති.

මෑතකදී ඔවුන්ගේ සාකච්ඡාවට නිමිති වූයේ දුම්රිය රියැදුරන්ගේ වැඩවර්ජනයය. අවසානයේදී ඔවුහු මෙබඳු විසඳුමකට එළඹුණාහ. දුම්රිය රියදුරන්ගේ ඒකාධිකාරී බලය බිඳදැමීම සඳහා රටේ සෑම පළාතකම දුම්රිය පාසල් පිහිටුවිය යුතුය. පාසල් හා සරසවි හැරගිය රැකියාවිරහිත තරුණයන් පමණක් නොව විනෝදාංශයක් වශයෙන් දුම්රිය ධාවනයට ප්‍රියකරන ඕනෑම පුරවැසියෙකුට මෙම පාසල්හි ඉගෙනුම ලද හැකිය. 
(කුඩා වියේදී බොහෝ දෙනා එන්ජින් ඩ්‍රයිවර්ලා, ගාඩ්ලා වීමට සිහින දකින බව අපි දනිමු.)

ඉහත කී පාසල් තුළින් දුම්රිය අධ්‍යාපනය ලබා නිමකරන අයට ඕනෑම අවස්ථාවක ස්වේඡාවෙන්ම දුම්රිය සේවාවට එක්වීමේ අවසරය ලබාදිය යුතුය. එවිට දුම්රිය රියැදුරන්, නියාමකයින් හා සංඥා සේවකයින් පඳුරක් පඳුරක් ගාණේ සිටින බැවින් වර්ජන කිරීම ලෙහෙසි පහසු නොවනු ඇත. දුම්රිය මගියෙකුටම වුව උදෑසන වැඩට යන ගමනේදීම දුම්රියද ධාවනය කරගෙන යා හැකිය.

දුම්රිය මගීන්ගේ ඉවසීමේ සීමාව පැන ඇති බැවින් එබඳු පුහුණුවක් ලැබීමට ඔවුන් මහත් උනන්දුවෙන් ඉදිරිපත් වෙනවාට සැක නැත. කාන්තාවන්ට පවා ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුය. කාන්තා මැදිරි වෙනුවට කාන්තාවන් විසින්ම ධාවනය කරනු ලබන කාන්තා දුම්රිය සේවයක් ද ආරම්භ කළ හැකිය.

දුම්රිය ප්‍රමාද වී ධාවනය ද මෙරට පවතින ගැටලුවකි. පෞද්ගලික බස් රියැදුරන් හා වැලි ලොරි රියැදුරන් පිරිසක් ද දුම්රිය ධාවනයට පුහුණු කරවීමෙන් එම ගැටලුවට පිළියම් යෙදිය හැකිය. එවිට දුම්රිය මාර්ගවල තරගයට දුම්රියේ ධාවනයක් ද දැකිය හැකිවනු ඇත.

දුම්රිය අනතුරු අවම කිරීම සඳහා දුම්රිය ආරක්ෂක සේවය මගින් අධික වේගයෙන් ගමන් කරන රියැදුරන් සඳහා දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක කළ හැකිය.

දුම්රිය පාසල් ක්‍රමය තුළින් වසර කීපයකට පසු සිරි ලංකාවේ සෑම පවුලකින්ම දුම්රිය රියදුරෙක් හෝ නියාමකවරයෙක් බිහිවනු ඇත. සිරි ලංකාව දුම්රිය රාජ්‍යයක් බවට පත්වීම මුළු ලෝකයේම කතාබහට ලක්වනු ඇත.

ඕනෑම විද්වත් සභාවක අනවශ්‍ය ප්‍රශ්න නගා කාලය නාස්ති කරන පුද්ගලයෝ සිටිති. අමෙරිකානු - ශ්‍රී ලාංකික විද්වතුන්ගේ ඉහත කී සාකච්ඡාවේදී ද එක් අයෙක් මෙබඳු ප්‍රශ්නයක් මතු කළේය.

“ඔය දුම්රිය පාසල්වල උගන්වන්නෙ කවුද? දැනට ඉන්න එන්ජින් ඩ්‍රයිවර්ස්ලා ඒකට කැමති වෙයිද?”

“වැටුප් දෙගුණ කරලා දෙනවා කිව්වම පැනලා ඒවී.”

“ඔව්.. ඒක කල් තියාම තීරණය කරන්න වෙයි. නැත්නම් එතැනත් ඇවිල්ලා වර්ජනය කරයි.”

තව තවත් යෝජනා කීපයකට පසු ශ්‍රී ලංකා - අමෙරිකා විද්වත් සභාව බීමතින් විසිර ගියහ. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙබඳු වටිනා, විසඳුම්, යෝජනා හා සැලසුම් පිළිබඳව මෙරටට දැනගැනීමටවත් ලැබෙන්නේ නැත.

මගේ සේවා ස්ථානයෙහි ද අදාළ රාජකාරිවලට අමතරව රටේ කාලීන ප්‍රශ්න ගැන ඉතා උණුසුම් කතිකාවක් පැවැත්වෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. එහිදී ඉහළම නිලධාරියාගේ සිට සුළු සේවකයා දක්වාම වන ධූරාවලියේ ඕනෑම තැනකින් ජනාධිපති උපදේශකවරුන් පරයන ආකාරයේ උපදේශකයින් මතුවෙයි.

පසුගිය සඳුදා නිමාවූ දුම්රිය වර්ජනයෙන් මගීහු හෙම්බත් වූහ. එහෙයින් එහි නිමාව ඔවුන් තුළ මහත් සතුටක් ඉපදවීය. යහපාලනය සඳහා කඩේ ගිය අයෙකු ලෙස සැලකුණු, ප්‍රනාන්දු මහතා, වර්ජනය නිමා කිරීමේ ගෞරවය ජනාධිපතිතුමාට දිය යුතු යැයි කියා සිටියේය.

“දැන් කාට කාටත් තේරෙන්න ඇති සිරිසේන ජනාධිපතිතුමාගේ අගේ.. අපරාදේ ජනාධිපතිවරණෙට ඉදිරිපත් වුණේ නැත්තේ. ආව නම් උඩින් දිනනවා.” ප්‍රනාන්දු කීය.

“විකාර කතා කියන්න එපා ප්‍රනාන්දු මහත්තයා. දුම්රිය රියැදුරෝ ඡන්දෙ දුන්නා කියලා ජනාධිපතිවරණෙ දිනන්නෙ කොහොමද?”

“මම කිව්වේ රියදුරෝ ගැන නෙවෙයි. දුම්රිය මගියෝ ගැන හිතලා.”

“එහෙම නම් මගියෝ වැඩිය කැමති වෙයි. වර්ජනේ දිගටම යනවට.”

විමලේ සරදම් සිනාවක් පෑවේය.

“මට නම් පුදුමේ ආණ්ඩුවෙ පොරොන්දුවලට දුම්රිය සංගම්කාරයො කැමැතිවුණේ ඇයි කියන එකයි.” කවුදෝ කීය.

ඒ ඇසූ රොබින් මෙසේ කීවේය.

“ජනාධිපතිතුමා රහසින් කියන්න ඇති මම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නද ඊට කලින් තමුසෙලා වැඩට යනවද කියලා. කට්ටිය බයවෙලා ස්ටේෂන් එකට දුවන්න ඇති.”

රොබින්ගේ කතාව සභාව සිනා ගන්වා එහි තිබූ උණුසුම නිවාලීය.

යන යකා යන්නේ කොරහත් බිඳගෙනය. එහෙත් සිරිසේන ජනාධිපතිතුමා නම් යන්නේ වර්ජනයකුත් විසඳමිනි. ඒ අතින් ගත් කළ එතුමා මේ රටේ දේශපාලන පෙරළි ඉතිහාසයට පමණක් නොව දුම්රිය වර්ජන ඉතිහාසයට ද එක්වනු ඇත. මතු දිනෙක අමෙරිකානු - ශ්‍රී ලංකා විද්වතුන්ගේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එම දුම්රිය පාසල එතුමා නමින් නම් කිරීමට ද ඉඩ ඇත.

එහි ඕනෑම කෙනෙකුට පුහුණුව ලද හැකි නිසා විශ්‍රාමික දේශපාලනඥයන්ට ද දුම්රිය රියදුරන්වීමේ අවස්ථාව හිමිවෙයි. විරිඳු ගායකයකු වීමට වඩා සාර්ථක දුම්රිය රියැදුරෙකු වශයෙන් ඉතිහාසයට එක්වීම හැම අතින්ම හොඳය.

► කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00