“වැඩිය වටින්නේ ප්‍රජාතන්ත්‍රවාදෙ ද, ඒකාධිපතිවාදෙ ද?”
රොබින් මගෙන් ඇසුවේය.
“අහන්ඩත් දෙයක් ද රොබින්? ප්‍රජාතන්ත්‍රවාදෙනෙ.”
“ඒ වුණාට සර් රටක් හැටියට ගත්තම අපිට නම් වටින්නෙ ඒකාධිපතිවාදෙ නේද?”
“තමුසෙ කොහොමද එහෙම කියන්නෙ?”
“ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කෝටි හත්සීයකට වඩා යනවලු. ඒකාධිපතිවාදෙ තිබ්බම ජනාධිපතිවරණ, මැතිවරණ නෑනෙ. කෝටි හත්සීයම ඉතුරුයි.”
රොබින්ගෙ කතාවට මට පමණක් නොව ඒ අසල තේ බොමින් සිටි තවත් අයට ද සිනා පිපිරුණේය.
“මේ රටේ මොනවද රොබින් ගණන් නැත්තෙ? ප්‍රජාතන්ත්‍රවාදෙත් ගිනි ගණන්.”
සකලසූරිය කීවේය. රතු විමලේට අනුව සිරිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට උසක් ද නියමව ඇත. එනම් අඩි දෙකකි. (ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ උස අඩි දෙකකි.)
රටක් පාලනය කිරීමට අවශ්‍ය වන්නේ එක ජනාධිපතිවරයෙකි. ඒ සඳහා තිස්පස් දෙනෙකුම ඉදිරිපත්ව සිටීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය හැර තව තවත් දේද ප්‍රදර්ශනය වන බව සමහරු කියති. මේ අපේක්ෂකයන්ගෙන් දෙතුන් දෙනෙකුට හැර අනෙක් අයට ජනාධිපතිවීමේ උවමනාවක් නැතිලු. ඔවුන් ඉදිරිපත්ව සිටින්නේ වෙනත් අය දිනවීමටලු. රටේ ජාතික ධනයෙන් කෝටි පනහක් වැය කිරීමට සිදුව තිබෙන්නේ එකී තරගෙට නැති අය වෙනුවෙන්ය. ඡන්ද පත්‍රිකාව ඕනෑවට වඩා දික්වුණේ ද ඒ නිසාය. මේවා ලෝකේ වෙන කොහෙවත් නැති ජාතියේ “ඉලෙක්ෂන් ජෝක්ස්ය.” රන්ජන් රාමනායකගේ මීළඟ චිත්‍රපටය සඳහා අවශ්‍ය විහිළු තහළු, චරිත හා දෙබස්වලින් ජනාධිපතිවරණය පිරීඉතිරී යමින් පවතී.
සිරිලංකාවේ ජනතාවද හරිම ප්‍රජාතන්ත්‍රවාදීය. ඒ නිසා ඕනෑම පක්ෂයකට, අපේක්ෂකයෙකුට පිට්ටනි පිරෙන්නට සෙනඟ ගෙන්වා ගතහැකිය. පක්ෂ භේදයකින් තොරව අරක්කු බාගයකට, බත් පැකට්ටුවකට, රුපියල් දාහකට තම සහයෝගය ලබාදීමට කැමති මනාප ප්‍රජාතන්ත්‍රවාදීන් මේ රටේ සුලබය. ඡන්ද රැස්වීම් සඳහා එන මෙකී සුලබ ප්‍රජාතන්ත්‍රවාදීහු ඒ පළාතම වනසා දමති. ගස් යට මුත්‍රා කරති. පාර පුරා බුලත් කෙළ ගසති. බත් කෑ කොළ දස අතේය.
අපේක්ෂකයාට වේදිකාවට නගින්නටත් බැරි තරමට ඔහු වටා රොක්ව මල්මාලා දමන්නට පොරකන මේ ආධාරකරුවෝ, රැස්වීමේ කෙරෙන කතාවලට ජය ඝෝෂා දමති. එහෙත් රැස්වීමේදී කිව්වේ මොනවාදැයි ඇසුවොත් ඔවුන්ට මතක නැත. ඡන්ද රැස්වීම්ද “සංගීතයක්” ගාණට බාලවී තිබේ. මීට කලකට පෙර අපේ ගම් පළාතේ විසූ විලියම් පිළිබඳ කතාවක් මගේ මතකයට නැඟෙයි. ඔහු වෘත්තීය පොල් කඩන්නෙකි. ඊට අමතරව ගස් කැපීමද කරයි.
මැයි දිනයේදී විලියම් රතු කමිසයකින් සැරසී කොළඹ යයි. යූ.ඇන්.පී රුස්වීම් සඳහා කොළ කමිසයකින් ද ශ්‍රී.ල.නි.ප. රැස්වීම් සඳහා නිල් කමිසයකින් ද සැරසෙයි. ඔහුට මේ ගමන් වන්දනා ගමන් බඳුය. පක්ෂය හෝ අපේක්ෂකයා ඔහුට අදාළ නැත. එක් වතාවක්, දේශපාලන රැස්වීමක් සඳහා ගමේ කට්ටියක් සමඟ ගෝල්ෆේස් ගිය විලියම් පිනට ලැබෙන දෙයින් හොඳට සප්පායම් වූයේය. බස් නැවත්වූයේ කොතැනදැයි ඔහුට මතක නැත. නගර ශාලාව තෙක් පයින් ආ ඔහු විහාර මහා දේවී උයනේ ගසක් යට ඇලවුණේය. විලියම් සොයාගත නොහැකි වූ තැන ගමේ නඩය ද බසයේ නැගි ආපසු ගියහ.
විලියම් අවදිවූයේ පසු දින උදෑසන කොළඹ කාක්කන් කෑ ගසනු ඇසීමෙනි. ආපසු ගමට ඒමට තරම් මුදලක් ද ඔහු අත නැත. එහෙත් කලබල නොවූ විලියම් නුවර පාර අසාගෙන පයින්ම ආපසු ඒමට පිටත් වූයේය.
අතරමගදී ඔහු තම රස්සාවට බැස්සේය.
“පොල් කඩනවා, ගස් කපනවා” යනුවෙන් කෑ ගසමින් ගමන් කළ විලියම් කඩවතට ළඟාවන විට දොළහ පසුවිය. පොල් කැඩූ මුදලින් කමිස සාක්කුව පිරුණි. බසයක නැගගත් විලියම් අඳුර වැටෙන විට ගමේය.”
“විලියම් තමුසෙට මොකද වුණේ?”
ගමේ කට්ටිය විමසූහ.
“මට පහුවදා තව රැස්වීමක් තිබුණා හලෝ”
විලියම් පිළිතුරු දුන්නේ සිනාවකින් ද තොරවය.
අද දවසේත් ඡන්ද රැස්වීම්වලට මෙවන් විලියම්ලාගෙන් අඩුවක් නැත. වැඩිහිටියන් පවසන ආකාරයට අතීතයේදී නම් දේශපාලන රැස්වීම්වල කෙරුණේ හරබර කතාය. එන්.එම්. කොල්වින්, ෆිලිප්, වික්‍රමසිංහ, බණ්ඩාරනායක ආදීන්ගේ කතාවල ගතයුත්තක් තිබුණේය. ඒවායින් මිනිසුන්ගේ දේශපාලන දැනුම වැඩුණේය. (ඉහත ලැයිස්තුවට ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ප්‍රේමදාස හා විජේවීරද ඇතුළත් කිරීමට මා කැමතිය.)
වර්තමානයේ රැස්වීම්වල වැඩිපුරම ඇසෙන්නේ එකිනෙකාට විරුද්ධව කෙරෙන අවලාදය, මඩගැසීම්ය. ගැලරියට කෙරෙන බාල විහිළුය. බොරු පොරොන්දුය. කාටත් ඕනෑ කරන්නේ බලයය. බලය ලබාගත් පසු බලය ලැබුණේ කාගෙන් ද යන්න ඔවුනට අමතකය.
බලය ඇත්තේ ජනතාව අතය. අවාසනාවකට මෙන් ජනතාව එය නොදනිති. රුපියල් දාහකට, අරක්කු ටිකකට එය විකුණා දමන්නට ඔවුන් පෙළඹෙන්නේ එහෙයිනි. මගේ මිතුරු මාධ්‍යවේදියෙක් මෑතකදී වටිනා කතාවක් කීවේය.
“මේ රටේ පොදු ජනතාව යනු කවුරුන්දැයි දැන ගැනීමට අවශ්‍ය නම් දේශපාලන රැස්වීමක සිටින මිනිසුන්ගේ මුහුණු දෙස බලන්න. මේ රටේ අනාගතය තීරණය කරන්නේ වේදිකාවේ සිටින උදවිය විසින් නොව අර පොදු මිනිසා විසිනි.”
ප්‍රජාතන්ත්‍රවාදය හා බලලෝභය එකට බැඳුණු මාතෘකාවන් දෙකකි. ඒ පිළිබඳ කදිම උපහාස කතාවකි මේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් බුෂ්ට දෙවියන්වහන්සේ මුණගැසුණි. උන්වහන්සේ මෙසේ විමසූහ.
“ඔබ විශ්වාද කරන්නේ කුමක්ද?”
“අමෙරිකානු විවෘත ආර්ථික ක්‍රමය.. එමගින් ධනවත් ජාතියක් බිහිවුණා.”
බුෂ් පැවසීය.
“ජෝර්ජ්.. ඔබට මගේ දකුණු පස අසුනේ හිඳගත හැකියි.”
දෙවනුවට පැමිණියේ බැරක් ඔබාමාය.
“බැරක්! ඔබ විශ්වාස කරන්නේ කුමක්ද?”
“ප්‍රජාතන්ත්‍රවාදය. එමගින් දිළිඳු ජනතාවට පිහිට විය හැකියි. ලෝක සාමය උදාකළ හැකියි.”
“බොහොම හොඳයි බැරක්, ඔබට මගේ වම්පස අසුනේ හිඳගත හැකියි.”
තෙවනුව පැමිණියේ වර්තමාන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
“ඩොනල්ඩ්! ඔබ විශ්වාස කරන්නේ කුමක්ද?”
“මා විශ්වාස කරන්නේ ඔබ හිඳ සිටින්නේ මා සිටිය යුතු අසුනේ බවයි.”
ට්‍රම්ප් ක්ෂණිකව පිළිතුරු දුන්නේය.
► කපිල කුමාර කාලිංග