2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

කට වැට සහ රට

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

අහසින් ගිය ඉබ්බාගේ කතාව නොදන්නා කෙනෙක් නැත. කට රැකගැනීමට නොහැකි වූ ඉබ්බා පොලොවට වැටී මිය ගියේය.

පුරාණයේ සිට එන එම ඉබි කතාවට පසුව තවත් කතා ඈඳුණි. ඒ කතාවක එන ඉබ්බෙක් ද නියං සමයකදී තමා ජලය ඇති පෙදෙසකට ගෙන යන මෙන් කොකුන් දෙදෙනෙකුගෙන් ඉල්ලා සිටියේය. මුල් කතාව දැනසිටි කොකුන් දෙදෙනා එක්වරම ඊට කැමති වූයේ නැත. එහෙත් ඉබ්බාගේ බලවත් ඉල්ලීම නිසා අවසානයේ ඊට එකඟ වූ කොකුන් ගමන පිටත් වූයේ කිසිම දෙයකට කට නොඅරින මෙන් තරයේ අවවාද කරමිනි.

මඳ දුරක් යන විට පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි ළමයි පිරිසක් ඉබ්බා දැක උසුළු විසිළු කරමින් කෑ ගසන්නට වූහ. එහෙත් මේ වතාවේදී ඉබ්බා නියම ගල් ඉබ්බෙකු මෙන් කට තද කරගෙනම සිටියේය. ඉන් පැහැදීමට පත් කොකෙක් ඉබ්බාට සතුට ප්‍රකාශ කිරීම සඳහා කටඇරියා පමණි. කොටුවේ සමබරතාව නැතිවී ඉබ්බා ලිස්සා ගොස් පොළොවට වැටී කුඩුපට්ටම් වූයේය.

තවත් අවස්ථාවකදී අහසින් යන ඉබ්බා දුටු ළමයි පිරිසක් ඉබ්බාට පමණක් නොව ඌ රැගෙන යන කොකුන් දෙදෙනාට ද විසිළු කරන්නට වූහ. මෙවර ද ඉබ්බා කට පියාගෙනම සිටි නමුත් කොකෙකුට තදවී ළමුන්ට බැණ වැදීමට කට ඇරියේය. ඒ සමඟම කෝටුව ඇලවුණි. එහෙත් කොකා කරණමක් ගසා යළිත් එය හොටින් අල්ලා ගත්තේය. ඒ දුටු ඉබ්බා “වෙල්ඩන්” යැයි කීමට ගොස් බිම වැටී නැසුණේය.

කට රැකගැනීමේ වැදගත්කම කියැවෙන මෙබඳු උපමා කතා, ජනකතා, බොහෝය. ඒ කොතෙක් කතා තිබුණත් රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳිනු බැරි යැයි කියා ඇත්තේ කටකහනවාට නම් නොවේ.

විශේෂයෙන්ම ඡන්ද කාලවලදී කට පමණක් නොව අතද පරිස්සම් කර ගත යුතුය. එහෙත් සමහරු නම් කියන්නේ ඇත්තක් කියා පැත්තක් ගියක් කමක් නැති බවය. ළඟ වාසි බලන්නෝ, එක එක කාලවලදී එක එක පැතිවලට කතා කරති. පැති මාරු කරති. හැරෙන හැරෙන පැත්තට කතා කරන්නේ එවැනි උදවියය.

හිතෝපදේශයෙහි එන ශ්ලෝකයකට අනුව, මෝඩ මිනිසෙකු වස්ත්‍රාභරණයෙන් සැරසී සභාවකට පැමිණි විට එහි සිටින්නෝ ඔහුගේ විලාශයට මුලාවී ගරුබුහුමන් කරති. එහෙත් ඒ මෝඩයා කට ඇරියා පමණින් සැබෑ තත්ත්වය හෙළිවී නින්දාවට පත්වෙයි. කට පියාගෙන සිටින තෙක් මෝඩයාත් පණ්ඩිතයෙකැයි කියන්නේ එහෙයිනි.

කතා කිරීමේ නිදහස මෙන්ම ලිවීමේ නිදහස ද අවශ්‍යය. ලියන්නාට අත දිගහැර ලිවීමට ඉඩ නැති කළ ඔහුගේ ලිවීමේ හැඩ නැති වෙයි. රස අඩු වෙයි. සීමා බන්ධන ඇති කාලවලදී ලියන දෙයෙහි කෑලි කැපී, හැලී, මැකී යන්නේ එහෙයිනි.

ලියන්නෝ ද උපක්‍රම සොයා ගනිති. කලකට ඉහත පුවත්පත් වාරණයක් පැවති යුගයකදී ‘ඇත්ත’ පත්‍රයේ කතුවර බී.ඒ. සිරිවර්ධනයන්, කතුවැකිය නොලියා හිස් තීරුවක් ඉතිරි කළේ “බල්ලෝ කෑවා” යැයි සඳහන් කරමිනි. ඇත්තෙන්ම එය සිරිවර්ධනගේ සැර කතුවැකියකට ද වඩා සැර විය.

කට තියෙන පළියට කතා කරන අයසේම, කටකම සෙයියාවක් නැතුව කතා කරන අයද බොහෝය. එහෙත් කතාවට ද පිළිවෙළක් ඇත. කලාවක් ඇත. මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ කලා පොත් පෙළට “කතා කලාව” නම් පොතක් ද එක්වූයේ එහෙයිනි. එය සියලු ආකරයේ කතාකාරයන්ට අත්පොතක් බඳුය. සිරිසීවලී හිමියෝ එහිලා මෙසේද සඳහන් කරති.

“කතාව සිතීමට තුඩු දෙයි. කතාව ජීවිතයට සුළඟක් කුසට අහරක් වැනිය. කතාව මිනිසාගේ ස්වාභාවික පැවැත්මට ආධාරයකි. කතාව වැස්සක් වැනිය. කිරි දෙවුමක් වැනිය. පරිසරය මගින් මොළයට ඇතුළුවන අදහස් නමැති වලාකුළු කතාව නමැති වැස්ස නිසා ක්‍රියාවේ යෙදේ. පිරුණු කිරි දෙවීමෙන් බුරුල්ලක් සැහැල්ලු වන්නාක් මෙන් කතා කිරීමෙන් මොළය සැහැල්ලු වේ. කතාවෙන් ලොවට සිදුවන වැඩ වැස්සෙන් හා කිරෙන් සිදුවන වැඩට වැඩිය.”

කතා කිරීම මෙන්ම අසා සිටීම ද වැදගත්ය. නූතන මිනිසාට යම්කිසි දෙසුමකට සවන් දී සිටිය හැකි හෝ නැරඹිය හැකි කාලය මිනිත්තු 12 දක්වා අඩුවී ඇති බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවිය. ඒ ප්‍රථම මිනිත්තු දොළහෙන් පසු ඔහුගේ අවධානය බිඳ වැටේ. එබඳු තත්ත්වයක් යටතේ නූතන කථිකයාට ද තම අසන්නා ආකර්ශණය කර ගැනීම සඳහා මහත් වෑයමක් දැරීමට සිදුවේ. නීරස කථිකයෙකු නම් ඔහු තම කතාවේ මුල් භාගයේදීම අසාර්ථක වේ.

ප්‍රසිද්ධ දේශන පැවැත්වෙන තැන්වලදී සවන් දෙනවාට වඩා ප්‍රශ්න ඇසීම අරමුණු කරගත් පුද්ගලයන් ද දක්නට ලැබෙයි. මීට කලකට පෙර අගනුවර පැවැත්වෙන දේශන සඳහා සහභාගී වන ප්‍රකට පුද්ගලයෙකු ගැන මගේ මතකයට නැඟෙයි. කාල වර්ණ, තරබාරු පුද්ගලයෙකු වූ ඔහු නිතරම තොප්පියක් පැළඳ, සැරයටියක් ද අතින් ගෙන සිටියේය. දේශනය අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරයක් තිබුණත් නැතත් ඔහු නැගිට ප්‍රශ්නයක් අසයි. එය සභාව සිනාගන්වන සුළුය. දේශනයට කිසිසේත් අදාළ නොවන්නකි. නිතර නිතරම මෙය සිදුවන නිසා ඔහු සභා ශාලාවකට පැමිණෙනු දකින විටත් රැස්ව සිටින්නෝ සිනා නඟති. ඔහුද එය නොදන්නවා නොවේ. එහෙත් ඒ ගැන තැකීමක් නොකරයි. එක් දිනක් ඔහුගේ මෙම ප්‍රශ්න ඇසීමේ සිරිත ගැන මගේ මිත්‍රයෙක් උපහාසාත්මකව මෙසේ විමසා සිටියේය.

“මිස්ටර්.. හැම දේශනයකදීම මොනව හරි ප්‍රශ්නයක් අහන එකේ තේරුම මොකක්ද? ප්‍රශ්න ඇසීම ඔබේ විනෝදාංශයක්ද?”

එවිට අර පුද්ගලයා සිනාමුසුව මෙසේ පිළිතුරු දුන්නේය.

“නෑ.. එතකොට දේශකයාට තිබූ අවධානය මා දෙසට හැරෙනවා. ඔබ දැන් මා සමඟ කතා කරන්නෙත් ඒ නිසා නේද?”

ඒ පුද්ගලයාගේ අරමුණ පැහැදිලිය. ඔහුට අවශ්‍ය සමාජය තුළ කැපී පෙනීම පමණි. ඒ සඳහා ඔහු අනුන්ගේ කාලය නාස්ති කරදමයි. පුදුමය මොහු ඒ කාලයේ කිසියම් ප්‍රසිද්ධියක් දිනා සිටි පුද්ගලයෙකු ද වීමය.

අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් දක්ෂ කථිකයෙකි. එක් මැතිවරණ සමයකදී ලින්කන් යන යන තැන පැමිණ ප්‍රශ්න අසා කරදර කරන පුද්ගලයෙක් සිටියේය. එක දිනක් ලින්කන්ගේ දේශනයක් අතරතුර නැගී සිටි ඔහු මෙසේ ඇසුවේය.

“අමෙරිකාවේ ජනාධිපති වෙන්න හදන ඔබ කුඩා කාලෙදි දර කරත්තයක් අරන් වෙළඳාමේ ගියා කියන්නෙ ඇත්තද?” ලින්කන් සිනාමුසුව මෙසේ පිළිතුරු දුන්නේය.

“ඒක ඇත්ත. ඒත් මම දර වෙළඳාම අතැරලා හුඟාක් කල්. ඒ වුණත් මගේ කරත්තේ බැඳපු බූරුවා මම යන යන තැන පස්සෙන් එනවා.”
සභාවේ සිනා හඬ මැද “බූරුවා” අතුරුදහන් විය!

කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00