මම කෙටි නිවාඩුවක් සඳහා ලන්ඩනයට පැමිණියෙමි. ඊට පෙර “දේශය”ට පොරොන්දු වී ආවේ කෙසේ හෝ “හී සරය”ද ලියා එවන බවටය. එහෙත් විදේශයකට පැමිණ එහි පරිසරයට කායිකව හා මානසිකව “පත්තියම්” වන්නට සතියක දෙකක් ගතවෙයි. අනිත් අතට මේ රටේ මේ කාලය ශීත ඍතුවේ ආරම්භයයි. ආරම්භය මෙසේ නම් පහු පහු වෙනකොට කොහොම වේදැයි මට දැනටමත් සිතෙයි. අත් දෙක වැඩිපුර තිබෙන්නෙ පිටත නොව සාක්කු ඇතුළේය. පාසල් කාලයේ නම් සාක්කුවේ අත ඔබාගෙන සිටින අයට “මොකද තමුසෙ පොකට් බිලියඩ් ගසනවාදැ*යි විහිළු කළෙමු. එංගලන්තයේ ශීත ඍතුවේ මෙකී බිලියඩ්කාරයින් නැති තැනක් නැත.
හීත්රූ ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් නඟන සුපුරුදු පැනයන් (ඔබ මොකටද ආවෙ? කවදා ද ආපසු යන්නේ? කොහෙද නවතින්නනේ? වැනි...) කීපයකට අනතුරැව මෙබඳු පැනයකට ද මුහුණ දීමට මට සිදුවිය.
“ඇයි ඔබ ඡන්දයට කලින්ම මෙහෙ ආවෙ? මොනව හරි දේශපාලන ප්‍රශ්නයක් තියෙනවාද?”
“අපොයි නෑ. මම කෙටි නිවාඩුවකට ආවේ.”
“ඡන්දය දාන්නෙ නෑ කියලා ඔබට නීති ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ නැද්ද?”
“අපේ රටේ එහෙම ප්‍රශ්නයක් නෑ. ඡන්දය නොදී සිටීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.”
“ඔබ නිර්පාක්ෂිකයෙක් ද?”
“මම කිසිම පක්ෂයක සාමාජිකයෙක්වත්, හිතවතෙක්වත් නෙවෙයි. ඒත් මට දේශපාලන මතයක් තියෙනවා. ඒක පෞද්ගලිකයි.”
“ඔබේ රටේ හිටපු ජනාධිපතිතුමාත් නිර්පාක්ෂිකයෙක් නේද?”
“අපොයි ඔව්... එතුමා මොනතරම් නිර්පාක්ෂික ද කියනවා නම් තමන්ගෙම පක්ෂයත් දියාරු කරල දැම්මා.”
“හැබෑට? එහෙම තමයි ප්‍රතිපත්තිගරුක නායකයො.”
ඉංග්‍රීසි ජාතික නිලධාරියා, මා දෙස ගෞරවයෙන් බලමින් මගේ ගමන් බලපත්‍රය ආපසු දුන්නේය. ශ්‍රී ලංකික පුරවැසියෙකු වීම ගැන මා තුළ අභිමානවත් හැඟීමක් ඇතිවිය. ඒ සමඟම එබඳු නායකයෙකු අකාලයේ රටට අහිමිවීමට යාම ගැන කනගාටුවක් ද සිතට දැනුණි.
එංගලන්තයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ දෙසැම්බරයෙහිය. ඒ ගැන දැනට ලොකු උණුසුමක් නැත. ඒ වෙනුවට මේ දිනවල වැඩි වැඩියෙන් කතාබහ කෙරෙන්නේ බ්‍රෙක්සිට් ප්‍රශ්නය ගැනය. බ්‍රෙක්සීට් ගිවිසුම අහෝසිවීමෙන් කෙරෙන්නේ, එංගලන්තය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමයි. එවිට යුරෝපා රටවල ජනයාට පෙරදී මෙන් නිදහසේ එක්සත් රාජධානියට ඒමට නොලැබෙයි. බ්‍රිතාන්‍යයින්ට ද ඒ රටවලට යාමට වීසා ගැනීමට සිදුවෙයි.
බ්‍රෙක්සීට් අහෝසියට පක්ෂව, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල පැවති උද්ඝෝෂණයක් නැරඹීමට මම ද ගියෙමි. ඔවුහු බ්‍රිතාන්‍ය ධජය ඔසවාගෙන “ඊ යූ බයි බායි” යනුවෙන් හඬ නැඟුහ. (“ඊ යූ” යනු European Union හඳුන්වන කෙටි නමය.) උද්ඝෝෂණය පැවති පාරේ රථ වාහන ධාවනය හදිසියේම නතර කෙරුණි. යකඩ බටවලින් කහ පැහැති බැරියර් පාර හරහා දැමුණි. අශ්වාරෝහක පොලිස් භටයෝ සීරුවෙන් බලා සිටියහ. පොලිස් සේනාංකද සූදානමින් සිටියද කුලු පොලු නම් දක්නට නොවීය.
මේ සිදුවීම් අතරේ බ්‍රෙක්සීට් ගිවිසුමට පක්ෂව ලියැවුණු පුවරුවක් අතින් ගත් පුද්ගලයෙකු ද ඒ මේ අත ගමන් කරනු මගේ ඇස ගැසුණි. එහෙත් කිසිවෙකු ඔහුට බාධා කළේ නැත. බැණ වැදුණේ නැත. ඒ මේ රටේ හැටිය.
විදේශයක දී ලංකාවේ පත්තරයක් දක්නට ලැබීම, නෑයෙකු මුණ ගැසුණාක් බඳුය. “ලංකා නිව්ස්” යනු මහා බ්‍රිතාන්‍යයේ පළවන ශ්‍රී ලාංකික ජාතික පුවත්පතය. ඉංග්‍රීසි, සිංහල දෙබසින්ම ලිපි පළවන එහි කියැවීමට බොහෝ දේ තිබේ. විවිධ මතවාද දරන ලේඛකයින්ගේ ලිපි එහි පළවෙයි. කතුවරයා ජනක අලහප්පෙරුමය. ඔහු ශ්‍රී ලංකාවේ සමාජ - දේශපාලන තත්ත්වයන් පිළිබඳව, තම කතුවැකියෙන් දක්වන නිදහස් අදහස් අගනේය. ඔහුගේ එක් කතුවැකියක මෙසේ ද සඳහන් වේ. “ජොකියා වෙනස් කළාට තවමත් දුවන්නේ එම අශ්වයාමය. එසේ නම් ජොකියා පමණක් නොව ඔහු වටේ ඉන්නා දූෂිත අශ්වයෝත් පොර පිටියත් වෙනස් කළ යුතුමය.”
“ලංකා නිව්ස්” සඳහා සමන් තුෂාර විද්‍යාරත්න ලියන “මට හිතෙන හැටි” විශේෂාංගය ද රසවත්ය. හරවත්ය. (විද්‍යාරත්න, ශ්‍රී ලංකාවේ “පත්තර පවුලකින්” පැවත එන්නෙකි.) ඔහු “ගිම්හාන නිවාඩුව” මැයින් ලියූ ලිපියෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව විවේචනාත්මක විවරණයක යෙදෙයි. එහිලා ඔහු මෙසේද සඳහන් කරයි.
“පිටරටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගිය විට ඉංග්‍රීසියෙන් පමණක් කතා කළ හැකි සිය දරුවන් තම ඥාතීන්ට පෙන්වන්නේ උජාරුවෙනි. බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, කැනඩාව හෝ නවසීලන්තය ආදී රටවල උපන් හෝ හැඳී වැඩුණු එකී දරුවන්ගේ ද දුඹුරු සමට යටින් තිබෙන්නේ තම මව්පියන්ගේ රටවල මානසිකත්වය නොව තමන් උපන් හෝ වෙසෙන රටේ මානසිකත්වයයි. සරල බසින් කියනවා නම් බ්‍රිතාන්‍යයේ වෙසෙන අපේ දරුවන් තුළ තිබෙන්නේ “සුදු හෙවත් බ්‍රිතාන්‍ය” මානසිකත්වයයි. වැඩිවිය පැමිණි පසු මේ දරුවන් ශ්‍රී ලංකාව දකිනු ඇත්තේ තවත් එක් නිවාඩු නිකේතන රටක් ලෙසිනි.”
ඊස්ට් ලන්ඩන් නොහොත් නැගෙනහිර එංගලන්තයේ ඇතැම් තැන් පුංචි ඉන්දියාවක් බඳුය. යාපනයෙන් ආ උදවිය කරගෙන යන ලංකාවේ කඩවල, නැති දෙයක් නැත. මුරුංගා, ඇඹරැල්ලා ආදිය පමණක් නොව සෝඩා බෝතල් ද දක්නට ලැබුණි. තෝසේ හා වඩේ කෑමේ අදහසින් මම “ටේස්ට් ඔෆ් ඉන්ඩියා” නම් හෝටලයට ගොඩ වැදුණෙමි. (ඒ අසලම “සරවන භවන්* නැමැති තවත් “තෝස කඩයක්” වෙයි.) එහි කවුන්ටරයේ සිටි ඉන්දියානුවා පැවසුවේ සේවක හිඟය නිසා උදේ වරුවේ එය විවෘත නොකෙරෙන බවය. මෙබඳු තැන්වල තාවකාලික සේවකයන් ලෙස කටයුතු කළේ ආසියානු රටවලින් එන ශිෂ්‍යයින්ය. දැන් මෙරට නීති අනුව ශිෂ්‍යයින්ට රැකියා කළ නොහැකිය.
ලන්ඩනයේ නිතර දැකිය හැකි කුලී රථ හැඳින්වෙන්නේ “බ්ලැක් කැබ්” යනුවෙනි. වැසි දිනයක මා නැඟ ගත් කළු - කුලී රියේ සිටි රියදුරා ද ඇංගෝලාවෙන් සංක්‍රමණය වූ කල්ලෙකි. ඔහු මා ශ්‍රී ලාංකිකයෙකු බව දැනගත් පසු වඩා මිත්‍රශීලී බවක් දැක්වීය. ඔහු රැජින ගැන කියූ කතාවට මට සිනා ගියේය. එවිට ඔහු මෙසේ කීය.
“මෙහෙ ආපු මුල් කාලේ මමත් ඔබ වගේ කට පුරා හිනා වුණා. ඒක අව්ව තියෙන රටවල මිනිස්සුන්ගේ හැටියක්. සීත රටවල මිනිස්සු නිතරම ඉන්නේ බුකවගෙන. කල්යාමේදී අපිටත් ඒක බෝ වෙනවා.”
රියැදුරා කට කොනකින් සිනාසුණේය.
“සිනාව නැතිවෙන්න කලින් ආපහු ලංකාවට යන්න.” ඔහු මට අවවාද කළේය.
► කපිල කුමාර කාලිංග