මුළු සිරි ලංකාවම කලාගාරයක් වෙමින් පවතී. ඉතා හොඳ වැඩකි. තාප්පයක් තාප්පයක් ගානේ චිත්‍ර ඇඳෙයි. දහසකුත් එකක් ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට, මඟ දෙපසැති චිත්‍ර තුළින්, නෙතට සිතට සිසිලසක් දැනෙනවා නිසැකය.
අපට අලුත් දෙයක් වුවද, Street Art නොහොත් වීදි කලාව යනු ලෝකයේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නකි. ස්ප්‍රේ කෑන් මගින්, තාප්පවල තම විරෝධතා සටහන් කිරීමද, යුරෝපා රටවල තරුණයන්ගේ සිරිතකි. වීදි කලාව තුළ හොඳ නිර්මාණ මෙන්ම, වැඩකට නැති දේවල් ද දක්නට ලැබේ. ලංකාවේ හටගත් කලා රැල්ල තුළින් පෙනී යන්නේ, නව දේශපාලන පෙරළියත් සමඟ තරුණ පරපුර තුළ හටගත් ප්‍රබෝධයකි. වඩා වැදගත් වන්නේ, එය අර්ථවත් ලෙස, දිගින් දිගටම පවත්වාගෙන යාමය. නොයෙක් ඉසව් කෙරෙහි යොමු කිරීමය. සිරි ලංකාවේ බොහෝ දේවල් සෝඩා බෝතලය කැඩීමක් බඳු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
කලා රැල්ල, “ලොරි ආට්, බස් ආට්” රටාවෙන් මුදවාගෙන, වඩා කලාත්මක ප්‍රකාශනයක් දක්වා ගෙනයාමේ වගකීම ද තරුණ පරපුර සතුය. දත් පිලිස්සා ගත් භූත පිසාචාදීන් හෝ ලේ පෙරාගත් ඩ්‍රැකියුලාවරු මඟ දෙපස දකින්නට කවුරුවත් කැමති නැත. වැඩිහිටි චිත්‍ර ශිල්පීන්ගෙන් හෝ චිත්‍ර ගුරුවරුන්ගෙන් යම් උපදෙසක් ගැනීමට තරුණයන් නම්‍යශීලී වන්නේ නම්, මේ ලද අවස්ථාව වඩා ඵලදායී වනු ඇත.
අප මෙසේ සතුටුදායක හා ශුභවාදී හැඟුමින් යුතුව සිටියදී, මහත් කනස්සල්ලෙන් යුතුව ඈත බලා සිටින බස් රියැදුරකු ඇස ගැටුණි.
“මොකද ඩ්‍රයිවර් උන්නැහේ, දාහට අරන් සීයට දීල වගේ?” මම පරණ උපමාවකින්ම, ප්‍රශ්නය සැරසුවෙමි.
“බලන්ඩකො මහත්තය රට යන විදිහ..” රියැදුරා, යටිතොල පෙරළීය.
“ඇයි මොකක්ද ප්‍රශ්නෙ?”
“මෙහෙම ගියොත් අපිට බුලත් කෙළ පාරක්වත් ගහන්ඩ තැනක් නැතුව යනවනෙ.. කොල්ලො කෙල්ලො හැම බිත්තියකම, තාප්පෙකම චිත්‍ර අඳින්ඩ පටන් අරන්නෙ.”
රියැදුරාගේ කතාවෙහිද කිසියම් ඇත්තක් ඇත. මෙතෙක් කල් තාප්ප, බිත්ති පමණක් නොව මහපාර පවා සැරසීම සඳහා ඔවුහුද මහත් දායකත්වයක් ලබා දුන්හ. ලේ පැහැති “බුලත් කෙළ චිත්‍ර” නැති තැනක් මේ රටේ නොවීය. ඔවුන්ට ද තාප්පයක් දෙකක් ඉතිරි කළ යුතුය. එසේ නැතිනම් සෑම බස් රථයකටම පඩික්කමක් සවි කිරීමට (රියැදුරු අසුන අසල) බලධාරීන් කටයුතු කළ යුතුය.
රියැදුරාගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් කල්පනාවීම ගැන සතුටින් පසුවන අතරේ, බස් නැවතුම කෙළවරේ පෙට්ටි කඩයක් අසල මුහුණු නොරොක් කරගෙන සිටින, කොන්දොස්තර තරුණයකු නොහොත් බස් ගෝලයකු දැක එතැනට ගියෙමි.
“මොකද මල්ලි, සජිත් මහත්තයට වැඩ කෙරුව වගේ?”
“අනේ නෑ සර්, මාත් ගෝඨාභය මහත්තයට ඡන්දෙ දුන්නෙ.”
කතාව පිළිගත හැකිය. සජිත්ට ඡන්දය දුන් කෙනෙක් දැන් පාර්ලිමේන්තුවේවත් නැත!
“එහෙනං මොකද මල්ලි, දුකෙන් වගේ?”
“බලන්ඩකෝ සර්, අපේ බස්වල දාන සින්දුත් නවත්තන්න යනවලුනෙ. සින්දු නැතුව කොහොමද අපි මේ බස් රස්සාව කරන්නෙ. කිසිම ආතල් එකක් නෑනෙ.” ගෝලයා දුක්මුසු හඬින් කීය.
“නෑ නෑ තාම එහෙම නීතියක් නෑ.. එක එක යෝජනා, අදහස් මතුවෙනවා විතරයි.” මම ගෝලයා අස්වැසීමට උත්සාහ කළෙමි.
“ඇයි සර්, අපි සින්දු දානවට මිනිස්සු විරුද්ධ.. ඒගොල්ලොත් අහගෙන යන්නෙ..”
“මල්ලිලා බස්වල දාන සින්දු, මෙලෝ රහක් නෑ කියලනෙ හැමෝම වගේ කියන්නෙ.. ඔය කසිකබල් අඳෝනා අයින් කරල, හොඳ සින්දු ටිකක් දැම්ම නං ප්‍රශ්නෙ ඉවරයිනෙ. මේ රටේ කොච්චර හොඳ ගායකයො ඉන්නවද? හොඳ සින්දු තියෙනවද?”
ගෝලයා කිසිත් නොකියා ඉවත බලාගත්තේය.
මෑතකදී ප්‍රවීණ ගීත රචකයකු සඳහන් කර තිබූ අන්දමට දැන් ඇසෙන බොහෝ සින්දුවලින් දැනෙන්නේ කොත්තු ස්මෙල් එකය. කේරළ ජොයින්ට් ගඳය. නැත්නම් CHF, CH, OH හෝ C2H5OH එකේ ගඳය! නිසි අධ්‍යාපනයක්, රසවින්දනයක් නැති, බස් ගෝලබාලයන්ට මෙන්ම සංගීත ප්‍රසංග ලෝලීන්ට අර කී දුර්ගන්ධයන් සුවඳය. කලා රැල්ල, මෙකී බාල සංගීතය දෙසටත් ගලා යන්නේ නම් මැනවිය. එය බස් රථයේ කන්දොස්කිරියාවෙන් පටන්ගෙන, විද්‍යුත් නාලිකාවන්ගේ අඬවැඩියාව දක්වාම දිගුවිය යුතුය. එහෙත් මේ සියල්ල සිදුවිය යුත්තේ චීනයේ “සංස්කෘතික විප්ලවය” මෙන් නොව, සෞම්‍ය වූද, මානුෂික වූද ක්‍රියා පිළිවෙතකිනි.
එක රැයකින් දහසක් මල් පුබුදුවාලිය නොහැක. එහෙත් දහසක් මල් සෑදෙන්නේ එක් එක් මල් එකතු වීමෙනි. කලා රැල්ලද, සංයමයෙන්, ඉවසීමෙන් හා කුසලතාවෙන් යුතුව සිදුවන සද් ව්‍යාපාරයක් මිස “බොරු ෂෝ” එකක් නොවිය යුතුය.
චිත්‍ර කලාව ගැන කතා කිරීමට සිදුවූ නිසා, ඒ පිළිබඳ උපහාස කතාවක් දෙකක් ද එකතු කිරීමට කැමැත්තෙමි.
ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝ, “මොඩර්න් ආර්ට්” නමින් හැඳින්වෙන භාව චිත්‍ර සම්ප්‍රදාය ගොඩනැගීමෙහි මූලික වූවෙකි. ඔහුගේ චිත්‍ර තාත්විකත්වයෙන් ඔබ්බට ගිය සංකල්ප රූප ශෛලියක් ගත්තේය.
එක් දිනක්, පිකාසෝගේ නිවෙසට කඩා වැදුණු හොරු කීප දෙනෙක්, එහි වූ වටිනා චිත්‍ර හා භාණ්ඩ සොරාගෙන පලා ගියහ. පිකාසෝ ඔවුන් ඈතින් දුටු බව දැනගත් පොලිසිය, සොරුන් ඇල්ලීම පිණිස, රූපසටහන් කිහිපයක් ඇඳ දෙන මෙන් ඉල්ලීය. පිකාසෝ ද එය ඉටු කළේය.
පොලිසිය පසුදිනම, තැලුණු ඇපල් ගෙඩි දෙකක්, අනතුරකට ලක්වූ මෝටර් රථයක්, රෙදි සෝදන මැෂිමක් සහ අයිෆල් කුලුන සැකපිට අඩඅඩංගුවට ගෙන තිබුණි!
චිත්‍ර ප්‍රදර්ශනයක් නැරුඹීමට ගිය කලා විචාරකයෙක්, එක් “චිත්‍රයක්” අසල නැවතී, කෝපයෙන් කෑගසන්නට විය.
“මොකක්ද මේ විකාරෙ.. මේවත් චිත්‍රද.. මේ වගේ කැත, අවලස්සන, චිත්‍රයක් මම නං ජීවිතේට දැකල නෑ.. කාටද පුළුවන් මේක බලාගෙන ඉන්න.”
කලාගාරයේ ආරක්ෂක නිලධාරියා එහි දිව ආවේය.
“මහත්මයා, ඕක චිත්‍රයක් නෙවෙයි, අපේ මූණ බලන කණ්නාඩිය.”
► කපිල කුමාර කාලිංග