එක්තරා රටක, මධ්‍යම පාන්තික තරුණයෙක් කිසියම් කටයුත්තක් සඳහා ඈත නගරයකට ගියේය. එහි, තමා හා උගත් පාසල් මිතුරකු සිටින බව ඔහුට සිහිවිය. කලකින් නුදුටු මිතුරාගේ සුවදුක් විමසනු රිසියෙන් ඔහු, එම නිවස සොයා ගියේය.
මිතුරා ධනවතකු වී සිටින බව, ඔහුගේ විශාල මන්දිරය දුර සිටම කියාපෑවේය. අවාසනාවකට මෙන් මිතුරා ගෙදර නොසිටියේය. එහෙත්, ඔහුගේ බිරිඳ තම සැමියාගේ පාසල් මිතුරා පිළිගෙන ඔහුට සංග්‍රහ සත්කාර කිරීමට සූදානම් විය.
“ඔබ මොනවහරි බොනවද? තේ, කෝපි, පළතුරු යුෂ, චොකලට් පානයක්, යෝගට් පානයක්..”
“මට තේ එකක් දෙන්න.”
“මොන තේවලටද කැමති? සිලෝන් ටී, ඉන්ඩියන් ටී, හර්බල් ටී, බුෂ් ටී, ග්‍රීන් ටී?”
“සිලෝන් ටී හොඳයි.”
“කොහොමද කැමති? ප්ලේන් ටීද? මිල්ක් ටීද?”
“ඔව්.. කිරි තේ එකක් හොඳයි.”
“මොන කිරිවලටද කැමති? එළකිරිද? එළු කිරිද? පිටි කිරිද?”
“එළකිරි”
“නවසීලන්ත එළකිරිද? ඔස්ට්‍රේලියන් එළකිරිද?”
“මොනවහරි කමක් නෑ.”
“සීනි ප්‍රශ්නයක් නැද්ද?”
“නෑ”
“දුඹුරු සීනිද? සුදු සීනිද? මී පැණිද?”
“දුඹුරු සීනි”
“ඉන්දියාවේ සීනිද? කියුබාවේ සීනිද?”
දැඩි පිපාසයකින් පෙළුණු මිතුරා, මෙම ප්‍රශ්න වැලින් තවත් තෙහෙට්ටුවට පත් විය.
“දැන් තේ හදන්න කරදර වෙන්න එපා. මට හරි පිපාසයි. වතුර එකක් දුන්නොත් ඇති.”
“මිනරල් වෝටර්ද? ටැප් වෝටර්ද? ඩිස්ටිල්ඩ් වෝටර්ද?”
“මොනවහරි කමක් නෑ. වතුර වීදුරුවක් දෙන්න. මගෙ දිව ගිලෙන්න එනවා.”
“වයින් ග්ලාස් එකකට ගේන්නද? මග් එකකට ගේන්නද? උස වීදුරුවකට ගේන්නද?”
මිතුරාගේ රතු ඉර පැන්නේය. ඔහු වහා නිවෙසින් පිටවිය. මඟ අසල තිබූ වතුර පයිප්පයකින්, සිත් සේ පිපාසය සංසිඳවාගත් ඔහු ආපසු සිය නගරය බලා ගමන් කරන්නට වූයේ, “තිබහට පිහිට සුළු ළිඳ මිස, නොව සයුර” යන පිරුළ සිහියට නංවමිනි.
ධනවත් රටවල් සමඟ දිළිඳු හෝ නොදියුණු රටවල් අතර පවත්නා මිතුරු සබඳතාද, ඉහත කී කතාවට දෙවැනි නොවේ. ධනවතාගේ උදව් උපකාර ඇතුවත් බැරිය. නැවතුවත් බැරිය. බොහෝවිට ආධාර එන්නේ තනිවම නොවේ. කොන්දේසිද බන්දේසියක තබාගෙනය.
නැති බැරි රටවල, ආණ්ඩු පක්ෂ හා විපක්ෂ අතර අර්බුද, ආරවුල් හටගන්නේ එකී කොන්දේසි, ගිවිසුම් නිසාය. බොහෝදෙනා, දෑත් විදා ආධාර බාරගනිති. කොන්දේසි ගැන හිතන්නේ ඊට පසුවය. තවත් සමහරු මුලදී කොන්දේසිවලට එරෙහි වෙති. පසුව, තමන්ට අත්වන වාසි දැක, කොන්දේසිවල හොඳ කියන්නට වෙති. කසන්නට බැරි අත සිඹීම දේශපාලන චාරිත්‍රයකි.
විදේශ ආධාර වර්ග ගණනාවකි. ලෝක බැංකු ආධාර, ව්‍යාපෘති ආධාර, හමුදා ආධාර, ශිෂ්‍යත්ව යනාදී වශයෙනි. තුන්වැනි ලෝකයේ රටක මුදල් ඇමැතිවරයකුගෙන්, මාධ්‍යකරුවෙක් මෙසේ ප්‍රශ්න කළේය.
“අපේ රට ස්වභාවික සම්පත්වලින් පිරුණු රටක්. අපිට විදේශ ආධාරවලින් තොරව, රට සංවර්ධනය කරන්න බැරිද?”
එවිට, මුදල් ඇමැතිවරයා එක් සැණින් මෙසේ පිළිතුරු දුන්නේය.
“පුළුවන් ඇති! ඒත් එතකොට කොහොමද මම අයවැය ලේඛනය හදන්නෙ?”
ආසියානු කලාපයේ රටක විශාල ගංවතුරක් හටගෙන එරට භූමි ප්‍රමාණයෙන් හරි අඩකට වඩා වැසී ගියේය. ධනවත් රටක් වහා ඉදිරිපත්ව, බෝට්ටු, කූඩාරම්, බෙහෙත්, වියළි ආහාර, ඇඳුම් පැළඳුම් ආදියෙන් ආධාර කළේය.
ගංවතුර බැස යද්දී, එරට ආපදා ඇමැතිවරයා ධනවත් රටේ අගමැතිවරයාට දුරකතන ඇමැතුමක් දී බොහෝ ස්තූති කළේය. ඒ අසා සිටි අගමැතිවරයා මෙසේ කීය.
“ඒක සුළු දෙයක්. අපි තීරණය කෙරුවා, මීටපස්සෙ ඔබේ රටට ගංවතුර නොඑන වැඩපිළිවෙළකට ආධාර කරන්න.”
“හැබෑට? ඒ කොහොමද?”
“ගංවතුරින් යටවෙන ඉඩම් සේරම අපිට දෙන්න. අපි ඒවා බලාගන්නම්.. ගංවතුර නොඑන ඉඩම් ටික ඔබ බලාගන්න.”
බොහෝ ආධාරවල ස්වභාවය ඔහොමය!
සමහරු, අවංකවම ආධාර කිරීමට ඉදිරිපත් වෙති. එහෙත් ඒවා ලබාගැනීමට ඇතැම් රටවල් අසමත් වෙයි. මීට කලකට පෙර, විදේශ රටක පදිංචි ශ්‍රී ලාංකිකයෙක් මෙහි පැමිණියේ, කුණුවෙමින් පැවති කුණු ප්‍රශ්නයට විසඳුමක් දීමටය. ඔහු මෙරට වගකිව යුතු පුද්ගලයෙක් මුණගැසී මෙසේ පැවසීය.
“මට කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපාරයක් තියෙනවා. මම වෙනත් රටවල කුණු ගෙන ගිහින්, ඒවා මගේ ව්‍යාපාරයට යොදවනවා. ශ්‍රී ලංකාවට කරන ආධාරයක් හැටියට, මෙහෙ තියෙන කුණුත් නොමිලේම ගෙනියන්න කැමතියි.”
“ඔබට අපේ කුණුවලින් කිසියම් ආදායමක් ලැබෙනවද?”
“ඔව්. මම කරන්නෙ ව්‍යාපාරයක්නෙ.”
“හොඳයි. අපි කුණු දෙන්නම්. ඔබේ ආදායමින් මට සීයට දහයක කොමිස් එකක් දෙන්න.”
ශ්‍රී ලාංකිකයා ආපසු ගියේ, යළි කිසිදා සිය රට නොඑන්නෙමියි ඉටා ගනිමිනි.
මාධ්‍ය හමුවකදී, එක් මාධ්‍යකරුවෙක් අදාළ ඇමැතිවරයකුගෙන් මෙසේ ඇසීය.
“කුණු ප්‍රශ්නය ගැන ඔබතුමාගෙ අදහස කුමක්ද?”
ඇමැති සිනාසී මෙසේ කීය.
“කුණු ගොඩවල් තියෙන්නෙ හොඳට කන බොන මිනිස්සු ඉන්න රටවල විතරයි. ඒක සෞභාග්‍යයේ සංකේතයක්. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෙ.”
► කපිල කුමාර කාලිංග