එක්සත් රාජධානියේ මැතිවරණය අවසන් වූයේ, යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව කියා සිටින ජොන්සන්ගේ කොන්සර්වැටිව් පක්ෂයයි. එහෙත්, උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන්තය ඔහුගේ බ්‍රෙක්සිට් ප්‍රතිපත්තියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඇතැම් දේශපාලන විචාරකයන් මෙය දුටුවේ, අනාගතයේදී එංගලන්තය හුදෙකලා වීමේ පෙරනිමිත්තක් වශයෙනි.
මෙම ඡන්ද ප්‍රතිඵලය ගැන ලියැවුණු ලිපියක් කියවමින් සිටි මගේ මතකයට නැඟුණේ, පරණ විහිළු කතාවකි. (හොඳ විහිළු පරණ නොවන බවට ද මෙය නිදසුනකි.)
එංගලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය හා අමෙරිකාව යන රටවලට අයත් පැරෂුට් භටයෝ සිව් දෙනෙක්, දෙවැනි ලෝක මහා සංග්‍රාම අවධියේ ගුවන් යානයක ගමන් කරමින් සිටියහ. කිසියම් ස්ථානයකදී, ඔවුනට පහළට පැනීමට නියෝග ලැබී තිබුණි. එහෙත් අවාසනාවකට මෙන්, යානයේ තිබුණේ එක පැරෂුටයකි.
ප්‍රංශ භටයා, වහා තීරණයක් ගත්තේය. බ්‍රැන්ඩි වීදුරුවක් පානය කළ ඔහු, “ප්‍රංශය දිනේවා” කියමින්, යානයෙන් පැන්නේය. ඒ දුටු අමෙරිකානුවා ද විස්කි වීදුරුවක් පානය කොට, “අමෙරිකාව දිනේවා” කියමින් පැන්නේය. ස්කොට් ජාතික භටයා ද තම රාජකාරිය ඉටු කිරීමට සූදානම් විය. ස්කොච් විස්කි වීදුරුවක් උගුරට හලාගත් ඔහු, “ස්කොට්ලන්තයට ජයවේවා” කියමින්, අසල සිටි ඉංග්‍රීසි ජාතික භටයා බිමට තල්ලු කළේය.
හංගේරියානු සම්භවයකින් යුත්, ඉංග්‍රීසි ලේඛකයකු වන ජෝර්ජ් මයික්ස්, නොම්මර එකේ උපහාස කතාකාරයෙකි. ඔහුගේ පොත් එකදිගට කියවාගෙන යා නොහැක්කේ, සිනාසීම සඳහා වරින්වර නතර වීමට සිදුවන බැවිනි.
මයික්ස්ගේ “How to..” පොත් පෙළ ඉතා ජනප්‍රියය. “හව් ටු බී ගුරු”, “හව් ටු බී ගෝඩ්” ආදී වශයෙන් ඇති එම පොත් පෙළට, ඔහු තම ජීවිත කතාව එක් කළේ “හව් ටු බී සෙවන්ට්” යන මැයිනි.
මයික්ස්ගේ උපහාසය තියුණුය. බුද්ධිමත්ය. දේශපාලනිකය. සමාජශීලීය. මිත්‍රශීලීය. “හොඳම උපහාසකාරයා පළමුව සිනාසෙන්නේ තමන්ටමය.” යන කියමන මයික්ස්ට ඉතා ගැලපේ.
ඔහු ලියූ “How to be a Brit” (බ්‍රිතාන්‍යයකු වන්නේ කෙසේද?) යන ග්‍රන්ථයෙහි මෙබඳු කියුමක් වෙයි. “බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉතා නිර්භීතය. යථාර්ථයට හැර අනෙක් ඕනෑම දෙයකට ඔවුහු මුහුණ දෙති.”
ඉංග්‍රීසි උපහාසය කෙබඳුදැයි හඳුන්වා දෙනු පිණිස, මයික්ස් ලියූ English Humor for Beginners ග්‍රන්ථය, උපහාසය ලේඛකයන්ට පමණක් නොව, උපහාසප්‍රිය ජනයාට අත්පොතක් මෙනි.
ඉංග්‍රීසි උපහාසය පිළිබඳ නිදසුනක් වශයෙන්, මයික්ස් මෙබඳු කතාවක් ලියයි.
එක් ශීත රාත්‍රියක, ලන්ඩනයේ උමං දුම්රියපළක මගීහු දෙදෙනෙක් බැංකුවක හිඳ සිටිති. ඔවුනට මඳක් ඈතින්, වියපත් පුද්ගලයකු හිඳ සිටිනු පෙනේ.
මගීන් දෙදෙනාගෙන් එක් අයෙක්, අනෙකාගෙන් මෙසේ අසයි.
“ඒයි, කවුද අර නාකි මනුස්සයා.. මේ මහ රෑ කොහෙ යන්නද? අතරමං වෙලාද දන්නෙ ”
එවිට අනෙකා මෙසේ කියයි.
“එයා තමයි කැන්ටබරියෙ බිෂොප්තුමා.”
“තමුසෙට පිස්සුද? මිෂොප්තුමෙක් මේ වෙලාවට මෙතන ඉඳීවියැ?”
“මට හොඳටම විශ්වාසයි ඒ බිෂොප්තුමා කියලා. මං එතුමව පින්තූරවලිනුත් දැකල තියෙනවා.”
“මට නම් විශ්වාස නෑ.. මෙයා බිෂොප්තුමා නම් වෙන්න බෑ.”
“එහෙනං අපි ඔට්ටුවක් අල්ලමුද?”
මගියා ආපසු ඇවිත්, තම මිතුරා අසලින් හිඳගත්තේය.
“ඔට්ටුව පැත්තකට දාමු. ඒ යකාගෙන් ඇත්ත දැනගන්න හරි අමාරුයි.”
ඇතැම් කෙනකුට ජොර්ජ් මයික්ස්ගේ උපහාසයන්, ‘ටියුබ් ලයිට්’ විය හැකිය. එහෙත් ඒවා වටහාගත් විට ඉතා රසවත්ය. ඔහුගේ උපහාසය බුද්ධිමත් යැයි මා මුලින්ම කීවේ එහෙයිනි.
ඉංග්‍රීසියෙන් “අයිරිෂ් ජොක්ස්” නොහොත් අයර්ලන්ත විහිළු යනුවෙන් හඳුන්වන්නේ, “මෝඩ පහේ” විහිළු කතාවලටය. ඇත්තෙන්ම එය, උපහාසයේ වෙනම ශානරයකි. එබඳු විහිළු අයර්ලන්තයටම සීමා නොවේ. තමන්ටම සිනාසීමට හැකිවීම, ජාතියක උසස් රසවින්දනය දක්වන ලක්ෂණයක් මිස මෝඩකමක් නොවේ. සුප්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං ද, තම සීක ජාතිය ඒ වර්ගයෙහිලා සලකයි. ඔහුගේ සීක විහිළුද, සීකයන්ටම එල්ල කෙරෙන උපහාස හීසරය.
ජෝර්ජ් මයික්ස්, වෙනත් ජාතීන්ගේ විහිළු තහළු ගැන ද හොඳින් දනී. ඔහුගේ කතාවල, විවිධ ජාතීන් නිරෑපණය වන්නේ එහෙයිනි. මයික්ස්ගේ “ඉංග්ලිෂ් හියුමර්” පොතේ එන, අයිරිෂ් විහිළුවකි මේ.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට යන සංචාරකයකුට එහි ඇති ඔරලෝසු කණු දෙකක, වෙලාව දෙවිදිහකට දැක්වෙන බව පෙනෙයි. ඔහු, අයර්ලන්ත වැසියකුගෙන් ඒ ගැන විමසයි. එවිට, මෙසේ පිළිතුරු ලැබෙයි.
“එකම වෙලාව පෙන්නන්න නම්, ඔරලෝසු කණු දෙකක් හදන්න ඕනයැ!”
මයික්ස් දක්වන තවත් අයිරිෂ් උපහාසයක් මෙසේය.
අයර්ලන්ත නෞකාවක ගමන්ගත් මගියෙක් මිය ගියේය. ඔහුගේ අවසන් කටයුතු මුහුදේදීම සිදු කිරීමට කපිතාන් තීරණය කළේය.
පසුව වාර්තා වුණු අන්දමට, මිනී වළ කැපීමට සහභාගි වූ නාවිකයන් විසි දෙනෙක් ද, එහිදී මරණයට පත් වූහ.
අයර්ලන්තයේ නිපදවන සෑම ඉණිමඟකම, මුදුන් පියගැටයෙහි “STOP” (නවතිනු) යනුවෙන් සඳහන් කර ඇත. එසේ නැත්නම්, තවත් ඉහළට නැගීමට ඉඩ ඇති බැවිනි!
සිරි ලංකාවේ අපි ආඩම්බර ජාතියකි. අපි අපිට සිනා නොවන නමුදු, අනුන්ට ඒ සඳහා ඉඩ සලස්වන්නෙමු.
►කපිල කුමාර කාලිංග