මීට මඳ කලකට ඉහත, නාසා ආයතනයේ චන්ද්‍රිකා විමර්ශනයකින් හෙළි වූයේ, ලෝකයේ විශාලතම මිරිදිය ජල මූලාශ්‍ර 37න්, 21ක්ම විනාශ වෙමින් පවතින බවය. නොඑසේ නම්, එම ජලාශයන්හි ධාරිතාව, එයින් ප්‍රයෝජන ලැබීමට සිටින ජනතාවගේ අවශ්‍යතා පිරිමසාලීමට තරම් ප්‍රමාණවත් නොවන බවය.
මේ පිළිබඳව අදහස් දක්වන්නට වූ ඇතැම් වියතුන්ගේ මතය වූයේ, තුන්වැනි ලෝක යුද්ධය, ජලය මූලික කරගෙන ඇරඹෙනු ඇති බවය. සමාජ ජාලා ඔස්සේද “ලෝක ජල සංග්‍රාමය” ගැන නොයෙක් උපහාස කතා, විහිළු තහළු දක්නට ලැබුණි. යුද්ධය නම් කිසිසේත්ම විහිළුවක් නොවේමය.
අමෙරිකාව හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටුම, ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරති. ට්‍රම්ප්ගේ යුද හදිස්සියට අමෙරිකානු ජනතාව තුළින්ම විරෝධය මතුවෙමින් තිබේ.
මීට කලකට ඉහත, ඉන්දීය පුවත්පතක පළවූ කාටූනයක් මගේ මතකයට නැගෙයි. එය ඉන්දියාව හා චීනය අතර ගැටුම් පැවති සමයකි. එයද ලෝක බල කඳවුරු අතර යුද්ධයකට හේතුවනු ඇතැයි බිය පළ කෙරුණි. කාටූනයේ සිටින ගැමියෙක්, පාසල් ගුරුවරයකු සේ පෙනෙන පුද්ගලයකුගෙන් මෙසේ අසයි.
“සර්, තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවුණොත් මොකද වෙන්නෙ?”
“හතරවැනි ලෝක යුද්ධයක් ඇතිවෙන්න ලෝකයක් ඉතුරුවෙන එකක් නෑ.”
ඉරාන - අමෙරිකා යුද්ධය ගැන ලියැවෙන උපහාස කතා පිළිබඳව කලකිරුණු පුද්ගලයෙක්, ට්විටර් සඳෙසක මෙසේ ලියා තිබුණි.
ඉරාකය විහිළුවක් නොවීය.
ලිබියාව විහිළුවක් නොවීය.
සිරියාව විහිළුවක් නොවීය.
ඇෆ්ගනිස්ථානය විහිළුවක් නොවීය.
තර්ජනයන් අවසන් වූයේ ආක්‍රමණයන්ගෙනි.
මිලියන ගණන් මිනිස් ජීවිත විනාශ විය.
මිලියන ගණන් ජනතාව අවතැන් වූහ.
කලාප බෙදීම් හා අත්පත් කර ගැනීම් සිදුවිණි.
එසේ හෙයින්, යුද්ධය ගැන විහිළුවටවත්, විහිළු කරන්නේ කෙසේද?
නැවතත් මොහොතකට ‘ජල යුද්ධය’ දෙසට හැරෙමු. යුද්ධයෙන් මෙන්ම, ජල හිඟයෙන්ද මිනිසුන් අවතැන් කෙරෙයි.
ඉන්දියාවේ ජල මිනිසා (Indian Water Man) ලෙසින් හැඳින්වෙන්නේ, පරිසරවේදියකු වන රාජේන්ද්‍ර සිංය. ජල හිඟය නිසා, තම ගම්බිම් හැරගොස් සිටි ජනකොටස් 1200 ක් නැවත, පදිංචි කරවීමට ඔහු සමත් විය. “තාරුණ් භාරත් සිං” නමැති ඉන්දීය තරුණ සංවිධානය සමඟ, පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කළ රාජේන්ද්‍ර සිං, විනාශ වී ගිය ජලාශ ප්‍රතිසංස්කරණය හා ළිං, වගා ළිං බිහිකිරීමට මූලික වූයේය. ඔහුට ස්ටොක්හෝම් ජල ත්‍යාගය හා මැග්සේසේ සම්මානය හිමිවූයේ එම සේවය අගයනු පිණිසය.
මීට වසර කිහිපයකට ඉහත, ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් මම, Pool Theatre (තටාක නාටක) නමින් හැඳින්වූ, කෙටි නාට්‍යයක් නිර්මාණය කළෙමි. එය රඟදැක්වුණේ, අඩකටත් වඩා දිය රහිත, පිහිනුම් තටාකයකය. එහි තේමාව වූයේ, ලෝක අවසානයේ, ජලාශයක ඉතිරි වූ ජලජ ජීවීන් කිහිප දෙනෙක්, පොළොවේ ඉතිරිව සිටින මිනිසුන් තම ආහාරයට ගැනීමට දරන වෑයමය. එම නාටකය නිමාවන්නේ, වෙස්සන්තර ජාතක කාව්‍ය ගායනා කිරීමෙනි. ලෝකය ආරම්භ වූයේද ජලයෙනි. අවසාන වන්නේ ද ජලයෙනැයි මතයක් ඇත. එහෙත්, ජලයෙන් වැසී අවසන් වන ලෝකයක් වෙනුවට, ජලය අවසාන වීමෙන් හෝ හිඟවීමෙන් විනාශයට පත්වන ලෝකයක් ගැන සිතීම පවා භයානකය.
කොළඹට නුදුරු ප්‍රදේශයක විසූ, අප මිතුරකුගේ නිවසට යාබද වෙල්යායේ, නිල් කැටයක් බඳු ළිඳක් තිබුණි. උදෑසන එහි වතුර, උතුරා ගියේය. ළිඳට ඉහළින් කුඹුක් ගසකි. ඇතැම් සති අන්තවල එම නිවසට යන අපි, වෙලේ ළිඳෙන් නා, සැනහී, කා බී විනෝද වෙමු.
පසු කලෙක එම වෙල්යාය පුරවා, නිවාස ඉදිවුණි. ළිඳද පසින් පිරවුණි. මෑතකදී මා එහි යනවිට, මගේ මිතුරා, ඉදිරිපස අසුනක හිඳ සිටියේය. ඔහුගේ මුහුණ අඳුරුය.
“මොකද.. ප්‍රශ්නයක්ද? අසනීපයක්ද?”
“අද දවසම අපිට වතුර නෑ. වෝටර් කට්.”
“වෙලේ ළිඳ මතක් වෙනව ඇති නේද?”
“කියල වැඩක් නෑ.” මිතුරා සුසුමක් හෙළීය.
පසුගිය වසරේ, මාතලේ, සෙම්බුවත්ත ජලාශය නැරඹීමට ගිය මට, ඒ අසල පොළොවෙන් මතුවන ජල උල්පත් නරඹනු පිණිස, බිම දණගසාගෙන සිටි අරාබි පවුලක් දක්නට ලැබුණි. කාන්තාර බිම්වල වෙසෙන ඔවුනට ජල උල්පත් ආශ්චර්යයකි. අපි, ළිං වසා දමන්නෙමු. ගංඟා, වැව්, අමුණු සිඳීයන තැනට කටයුතු කරන්නෙමු.
කොතරම් ධනය තිබුණත්, තාක්ෂණය දියුණු වූවත්, සොබාදහම හා තරග කිරීමට මිනිසාට නොහැකි බව දැන් ඔස්ට්‍රේලියාවෙන් නැවතත් සනාථ වෙමින් තිබේ. ලැව්ගිනි, නියඟ හා සුනාමි හමුවේ මිනිසා පරාජිතය. ඔස්ට්‍රේලියාවට වැසි පතා දෙවියන් යදින්නැයි ලංකාවේ මුහුණුපොතේ පවා ආයාචනා පළවෙයි. සොබාදහමත් සමඟ සෙල්ලම් බැරිය. සොබාදහමට නිගරු කරන්නාට අවසානයේ දෙයියන් බුදුන් සිහිවෙයි.
ලැව්ගිනි නිවීමටත් අසමත් මිනිසා, යුදගිනි ඇවිලීමට නම් හපනෙකි. ඉරාන යුද සෙනෙවියා නසන්නේ එහෙයිනි. යුද්ධයට නිමිත්තක් අවශ්‍යය. එක මිනිසකුගෙන් හෝ හත්අට දෙනකුගෙන් ඇරඹෙන ගැටුමක්, මිලියන ගණන් මිනිසුන් මරාදැමෙන කුරිරු යුද්ධයක් බවට පත්වෙයි. ලෝකය දියුණුද? මිනිසා, මනසින් උසස් සත්වයෙක්ද? නැත. ලෝකය තවමත් ශිෂ්ට වී නැත. මිනිසා තවමත් ගෝත්‍රිකය.
යුද්ධය විහිළුවක් නොවුණත්, යුද විහිළුවකින්ම මෙවර ‘හීසරය’ අවසන් කරන්නෙමි.
ඩොනල්ඩ් ට්‍රම්ප්, යුද කඳවුරක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ, තරුණ යුද සෙබළකුගෙන් මෙසේ ඇසුවේය.
“අපි හිතමු, ඔබ ඉන්නේ ඉරාන දේශසීමාවේ අපේ බංකරයක් ඇතුළේ කියලා. සතුරු ගුවන්යානා බෝම්බ දාගෙන එනවා. ඒ වගේ මොහොතක ඔබට මොකද හිතෙන්නෙ?”
“මේ දැන් ඉන්නවා වගේ, ඔබතුමාත් මගෙ ළඟින් ඉන්නව නං කියල හිතෙයි.”
► කපිල කුමාර කාලිංග