ජෝමෝ කෙන්යාටා සහ මාවු මාවු යනු 50 – 70 දශකයන් තුළ, ලෝක ප්‍රවාත්ති අතරේ නිතර නිතර අසන්නට ලැබුණු නම් දෙකකි. ජෝමෝ කෙන්යාටා යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ කෙන්යානු නායකයෙකි. මාවු මාවු යනු ඔහු නායකත්වය දුන් රැඩිකල් විමුක්ති ව්‍යාපාරයයි. පසු කලෙක, නිදහස් කෙන්යාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත්වූයේද කෙන්යාටාය.
කෙන්යාටා ලියූ කෙටි කතාවක්, ඔහුගේ “මාවු මාවු” ව්‍යාපාරය තරමටම ලොව පුරා ප්‍රකට විය. “කැලෑවේ මහත්තුරු” (The Gentleman Of The Jungle) නමැති එය, ජනප්‍රවාදයක් ඇසුරින් ලියැවුණකි.
මහ වැසි දිනයක කැලෑවේ සිටින අලියෙක් මිනිසකුගේ පැල වෙත පැමිණ, එහි නොතෙමී ඉන්නට අවසර ඉල්ලයි. මිනිසාද, අලියාට අනුකම්පාකොට ඊට ඉඩ දෙයි. එහෙත් අවසානයේ පැලට රිංගා ගෙන මිනිසා පිටතට දමයි. මේ නිසා දෙදෙනා බහින් බස් වෙති. ඒ ඝෝෂාව අසන කැලේ රජා සිංහයා එහි පැමිණෙයි.
සිදුවී ඇති දෙය විමසන සිංහයා ප්රශ්නය විසඳනු පිණිස කැලෑවේ සතුන්ගෙන්ම සමන්විත කොමිසමක් පත්කරයි. මිනිසකු ද එයට පත් කරන්නැයි, පැල්පත් හිමියා ඉල්ලයි. එය ඉටු නොවෙයි. කොමිසමේ තීරණය අනුව මිනිසාගේ පැල්පත අලියාටම හිමි වෙයි. ඒ වෙනුවට අලුත් පැලක් ඉදිකර ගැනීම සඳහා මිනිසාට ඉඩම් කෑල්ලක් ලැබෙයි.
කලක් ඉවසීමෙන් සිටින මිනිසා කැලෑවේ මහත්තුරැ තම අලුත් පැලට ද කඩාවැදුණු අවස්ථාවක එයට ගිනි තබයි. කතාව අවසානයේ එහි ජෝමෝ කෙන්යාටා මෙසේ කියයි. “සාමය මිල අධිකය, එහෙත් ඒ සඳහා කරන වියදම වටනේය.” කෙන්යාටා තම කතාවෙන් සෝපහාසයට ලක් කරන්නේ අප්‍රිකා මහාද්වීපයේ පැතිරුණු යටත්විජිත වාදය බව පැහැදිලිය.
මේ කතාව ජනප්‍රිය උපමා කතාවක් වන “ඔටුවා සහ කූඩාරම” ද මතකයට නංවයි. ඔටුවා ද නොයෙකුත් චාටු කතා කියමින් “කොටස් වශයෙන්” කූඩාරම තුළට රිංගා ගනී. අවසානයේ මිනිසා එළියේය.
ඒ කෙසේ වෙතත් ඉතිහාසය තුළ නම් අපට පෙනී යන්නේ ඔටුවා මිනිසාගේ හිතවතකුව සිටි බවකි. විශේෂයෙන්ම, කාන්තාර සහිත රටවල මිනිසුන්ට ඔටුවා නැතිවම බැරි සතෙක් විය. ඇතැම් රටවල දෑවැද්දට පවා දුන්නේ ඔටුවෙකි. කෙනෙකුගේ ධනවත් භාවය සැළකුණේ ද ඔහුට හිමි ඔටුවන් ගණනිනි.
මෑතකදී නම් ඔටුවා ගැන අසන්නට ලැබුණේ දුක්මුසු කතාය. ඕස්ට්‍රේලියාවේ විසූ ඔටුවන් දස දහසක් පමණ වෙඩි තබා මැරූ බවක් ද වාර්තා විය. උන් කළ වරද වැඩිපුර වතුර බීමය. ඔටුවා වතුර පානය කරනවා. පමණක් නොව, මොල්ලියේ ද තැන්පත් කර තබා ගන්නා බව අපි අසා ඇත්තෙමු.
ඕස්ට්‍රේලියාවට, ඔටුවා යනු පරිසර ප්රශ්නයකි. ලක්ෂ ගණන් ඔටුවෝ එහි වනාන්තර තුළ සරති. මේ නිසා සෑම වර්ෂයකම ඔටුවන් වෙඩි තබා මරා දැමීම සිදුවෙයි.
ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් හෝ වන සත්ව ආරක්ෂකයන්, ඒ පිළිබඳව මොන මොනවා කියනවා දැයි අපි නොදනිමු. ඔවුන්ගෙන් කුමන ප්‍රතිචාරයක් ලැබුණත් ලැව් ගින්නෙන් “ෆයර්” වී සිටින ඕස්ට්‍රේලියානු පාලකයන්ට ඒ ගැන තැවෙන්නට සිතන්නට වෙලාවක් නැත. ඔවුන් සිටින්නේ. “ඔටුවාට වඩා මිනිසාත්, ඔහුගේ පරිසරයත් වැදගත්ය.” යන ස්ථාවරයකය.
සිරි ලංකාවට නම් වාසනාවකට මෙන් ඔටුවන් නැත. අලින්, මොණරුන්, වල් ඌරන් හා ඉත්තෑවන් වැනි සතුන්ගෙන් නම් අඩුවක් නැත. උන්ගෙන් ගොවීන්ට වන අලාභ හානිවලද ඉවරයක් කෙළවරක් නැත.
සිරි ලංකාව ඕස්ට්‍රේලියාව නොවනා හෙයින් මිනිසා මෙන්ම කැලෑ සතා ද වැදගත්ය යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවක් පෙනී යයි. සමාජ මාධ්‍ය ජාලා ද, සත්ව කරුණාවෙන් පිරී ගොසිනි. කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නොකළ යුතුය යන තැන අපිදු සිටිමු. එහෙත් කොතැනක හෝ වරදක් සිදුව ඇත්නම් සීමාව පැන ඇත්නම් විසඳුමක් ද සෙවිය යුතුය. නොඑසේ නම් වන්නේ ජෝමෝ කෙන්යාටාගේ කැලෑ මහත්වරු මිනිසා පලවා හැර ඔහුගේ නිවහන අල්ලා ගැනීමය.
රැවුල ගිනි ගනිද්දී ඉන් සුරුට්ටුව පත්තු කර ගැනීමට තැන් කරන මිනිසුන් ගැන අපි අසා ඇත්තෙමු. උපහාස කතා කාරයෝද ඒ වර්ගයට අයත් වෙති. පසුගිය දිනවල අන්තර්ජාලයෙන් කියවන්නට ලැබුණු “ඔටු කතා” ඊට නිදසුන්ය. ඕස්ට්‍රේලියාවේ වනාන්තරයක හට ගත් ලැව් ගින්න නිවීමට ගිය, හෙලිකොප්ටරයක් යාන්ත්‍රික දෝෂයකින් කඩා වැටුණේය. නියමුවා තුවාල ලැබූ නමුත් යානයෙන් පිටතට ඇදී දිවි ගලවා ගැනීමට සමත් විය.
වනයේ සිටි ඔටුවෙක් නියමුවා වෙත පැමිණ ඔහු තම පිට මත නංවාගෙන ආරක්ෂිත තැනැකට ගෙන ගියේය. ඔටුවාගෙන් බිමට බට නියමුවා මෙසේ කීය.
“ඔබ මට කළේ ලොකුම උදව්වක්... මටත් ඔබට කළගුණ සලකන්න ඕනේ. එන්න මාත් එක්ක අපේ නගරයට යන්න. ඔබට පුළුවන් අපේ වත්තේ නතර වෙන්න.”
ඔටුවා හිස දෙපසට සැළීය.
“ඕස්ට්‍රේලියාවෙ මිනිස්සු ගැන අපි හොඳට දන්නවා. ඒ ගොල්ලෝ අතරට යනවට වඩා හොඳයි මේ කැලේම ඉඳලා ලැව් ගින්නෙන් මැරිලා යන එක.” නියමුවා ලැජ්ජාවෙන් බලා සිටියදී ඔටුවා ආපසු වනාන්තරය තුළට ගමන් කරන්නට විය.
“එහෙමනම් ඇයි ඔබ මගේ ජීවිතය බේරුවේ?”
“ඒ අපි ඔටුවෝ නිසා.”
ඕස්ට්‍රේලියාවේ ආදිවාසීහු අපබාර්ජිනියානු ගෝත්‍රිකයෝය. මෑතකදී වනය මැදදී ඇබොර්ජිනියුවකු දුටු ඔටුවෙක් මෙසේ ඇසුවේය.
“තමුන්නැහෙලගෙ කාලෙ මෙහෙම ලැව් ගිනි පැතිරැණේ නෑ.. ඇයි ඉතින් ඕස්ට්රේලියන්කාරයන්ට ඒ ගැන උපදෙසක් දෙන්නෙ නැත්තේ?”
“ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ හරි දියුණුයි කියලා. අපි නොදියුණුයි. ඉතින් අපි කියන දෙයක් ගණන් ගන්නේ නෑ. ලැව් ගින්නක් නිවා ගන්න දන්නෙ නෑ..”
අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙක්, තම රූමත් බිරිඳ සමඟ කාන්තාර පෙදෙසක සංචාරයෙහි යෙදුණේය. රූමතිය දුටු ගෝත්‍රික නායකයෙක් අමෙරිකානුවාගෙන් මෙසේ ඇසීය.
“ඔබ කැමති ද ඔටුවො සියකට ඔබේ බිරිඳ හුවමාරු කර ගන්න.”
අමෙරිකානු සුළු මොහොතක් කල්පනා කළේය. ඉන්පසු මෙසේ පිළිතුරු දුනි.
“නෑ.. මම කැමති නෑ..”
ටික වේලාවකට පසු රූමතිය සිය සැමියාගෙන් මෙසේ ඇසීය.
“ඇයි ඔයා ඒ උත්තරේ දෙන්න ඔච්චර කල්පනා කෙරුවේ?”
“මම කල්පනා කළේ මේ දවස්වල හොලිවුඩ්වලට ඔටුවෝ ඕන කරලා තියෙනවද කියලා.”
- කපිල කුමාර කාලිංග