2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සියලු ප්‍රශ්න නිවාරණයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

මගේ මිතුරෙකු වන නෂ්රුඩීන්ට, විවිධ තාරාතිරම්වල මිතුරු සබඳතා ඇත. ඉහළ සිට පහළටම. ඔහුගේ “පී.ආර්” එක ඒ තරමටම හොඳය.

මුල්ලා නස්රුදීන් නමැති, ලෝක ප්‍රකට උපහාස කතාකාරයා ගැන අපි දනිමු. ඔහු ජීවත් වූයේ 13 වැනි සියවසේදී තුර්කියෙහිය. අපේ යාළුවා නෂ්රැඩීන්ට ඒ නම වැටුණේ උප්පැන්නයෙන් නොවේ. මිතුරු සමාජයෙනි. ඊට හේතුව දෙදෙනා අතර වූ සමානකම් නිසාය.

සමහරැ ඔහු ඇමතුවේ “නසා” යන නමිනි. තවත් සමහරු ඔහුට “නසරු” යැයි කීහ. කෙසේ වෙතත් නෂ්රුඩීන්, කිසි කලෙක, කිසිවකුට “නසරානි” වැඩ නම් කළේ නැත. ඔහු අහිංසකයෙකි. ඔහුගේ විහිළුවලින් කිසිවකුගේ ඇස් රතු වූයේ නැත.

එතුමාද නසරුගේ යාළුවෙකි. පසුගිය දිනෙක නසරු, එතුමාගේ බංගලාවට ගියේය. එතුමා හාන්සි පුටුවක දිග ඇදී, සුදුරුදු පරිදි “බාගෙට නිදි” සුවය විඳිමින් සිටියේය. (පුවත්පත්වල පවා එතුමාගේ ඒ බාගෙට නිදි සුව ඡායාරූප පළවී ඇත.)

“ඔබතුමා නිදි ද?”

නසරු ඇසුවේය.

එතුමා තිගැස්සී ඇස් හැර බැලුවේය.

“නෑ.. නෑ... මම සවන් දෙනවා.”

“කාටද සර්?”

එතුමා වටපිට බැලුවේය. ඉන්නේ ගෙදරය.

“නෑ.. නෑ... මං කල්පනා කරනවා.”

“මට හිතුණා.”

එතුමා අතකින් නසරුට අසුනක් පෙන්වීය. නසරු එහි හිඳ හරිබරි ගැහුණේය.

“ඇත්තද සර් පක්ෂෙ දෙකට කැඩෙන්ඩ යනව කියන්නේ?”

“රට අවදානම් තත්ත්වෙක තියෙන්නෙ නස්රුඩීන්.. අපි දේශපාලනේ පැත්තකින් තියමු. ඔක්කොටම ඉස්සෙල්ලා කොරෝනා තුරන් කරලා ඉමු.”

“හාල් මිලදී ගන්න හමුදාවෙන් දාලලු නේද සර්?”

“කොරෝනා ගැන කතා කරමු. නසරු..”

“එළවළු මිල නං තාම අඩුවෙලා නෑ සර්..”

“චීනේ මැරුණු ගණන තුන්සීයත් පැනලලු බං..”

“මාර්තු මැදදී පාර්ලිමේන්තුව විසිරුවයිද සර්.”

“ඒවා පස්සේ බලාගමු. කොරෝනාවලට මුකවාඩම් ගෙන්නල ඉන්න එපායැ.”

“වෝහාරික වාර්තාවල ප්‍රශ්නෙ කොහොමද සර්.”

“අම්මප නසරු උඹටත් ඕන නැති මඟුලක් නෑනෙ.”

“මේ වෙලාවෙ මගේ ඔළුව පිරිලා තියෙන්නෙ කොරෝනාවලින්. අපි ඒ ගැන කතා කරමු.”

“සර්.. කලබල වෙන්න දෙයක් නෑ කියලා දොස්තර මහත්තයලත් කියනවා.”

“පිස්සුනේ අයිසේ... දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකනෙ.”

“ඒත් සර්, තාම හොයාගෙන තියෙන්නෙ එකම එක රෝගියයි. එයත් චීනෙන් ආපු කාන්තාවක්.”

“චීනෙට යවන්නද සර්...?”

“නෑ.. නෑ... අපිට වෙන රටකට පනින්න.. කොරෝනා නැති රටකට..”

“සර් කොරෝනාවලට වැඩිය ලොකුයි නේද ඩෙංගු?”

“ඒකට පිළියම් යොදලනෙ තියෙන්නෙ.”

“සර් ගිය අවුරුද්දෙ විතරක් ඩෙංගු රෝගියෝ පනස් පන්දාස් ගාණක් වාර්තාවෙලා තියෙනවලු. හැත්තෑ හතර දෙනෙක් මැරිලා.”

“හැබෑද බං? හෝදිසි කරලා බලන්ඩ ඕනේ.. එහෙමනම් කොරෝනාවලට වඩා බරපතලයි ඩෙංගු?”

“අන්න ඒකනෙ සර්.”

“එතුමා මොහොතක් කල්පනා කළේය.”

“ඇයි සර්... ඩෙංගුවලට විසඳුමක් හොයනවද?”

“නෑ.. බං... මං මේ කල්පනා කෙරැවෙ. අපි රටින් ඕඩර් කරපු මුහුණු ආවරණවලට මොකද කරන්නෙ කියලා...? අපේ සෙට් එකටම පන්දාහක්ද කොහෙද ගෙන්නන්න කිව්වනෙ...”

“ඒව සජිත් මහත්තයට දෙන්ඩ සර්.”

“ඒ මොකටද... කොරෝනා නැතිව එයා ඒවා කාට බෙදන්ඩද?”

“ස්ත්‍රී පක්ෂෙට..”

ඒ ඇසූ එතුමා එක අතක් හිසේ ගසා ගෙන අනෙක් අතින් මුව වසා ගත්තේය. ඉන්පසු නසරුගේ ජංගම දුරකතනය දෙසට විපරම් බැල්මක් හෙළුවේය.

“ඒයි උඹ මේවා වීඩියෝ කරන්ඩ හෙම නෙවෙයි.”

“ෂී... මම ඒ වගේ කැත වැඩ කරන්නෙ නෑ සර්.”

නසරු දුරකතනය කලිසම් සාක්කුවේ දමා ගත්තේය.

“වන්ෂොට් කරපු වැඩෙන් පස්සේ, මට දැන් එකෙක්වත් විස්වාස නෑ බං.”

එතුමා සුසුමක් හෙළුවේය.

“ඕවා මොන ප්‍රශ්නද සර්... මම නම් හිතන්නෙ මේ ලෝකෙදී අපි කරදර වෙන්න ඕනෙ කාරණා දෙකක් ගැන විතරයි.”

නසරැ එතුමා දෙස තියුණු බැල්මක් හෙළමින් කීය.

“ඒ මොනවද නසරු?”

“තමන්ගෙ සෞඛ්‍යය හොඳ ද නරක ද කියන කාරණා දෙක.”

“මට පැහැදිලි නෑ.”

“මෙහෙමනේ සර්. තමන් හොඳ සනීපෙන් නම් කරදර වෙන්න දෙයක් නෑ. ඒත් අසනීපෙන් නම් දෙපැත්තක් තියෙනවා. එක්කො හොඳ වෙයි. නැත්නම් මැරෙයි. හොඳ වුණොත් ප්‍රශ්නෙ ඉවරයි. ඒත් මළොත් ඒකෙත් දෙපැත්තක් තියෙනව හිතා බලන්න.”

“ඒ මොනවද?”

“දිව්‍ය ලෝකෙට යනවද අපායට යනවද කියලා. දිව්‍ය ලෝකෙට ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපායට ගියොත් ඒත් ප්‍රශ්නයක් නෑ.”

“ඒ කොහොමද?”

“සර් අපායට ගියොත් ඔක්කොම යාළුවොනේ ඉන්නෙ. උදේ ඉඳන් හවස වෙනකල් අතට අත දිදී හලෝ කිය කියා ඉන්න තමයි තියෙන්නේ.”

“ඉතින් බං මම මෙහෙත් කරන්නේ ඒකමනේ.”

“සමහර විට ඒක රිහර්සල් වෙන්න පුළුවන් සර්.”

මොහොතක් කල්පනා කළ එතුමා කොරෝනා ආසාදනයට ලක්වූවෙකු මෙන් තැති ගෙන නසරු දෙස බලාගත්වනම සිටින්නට විය.

► කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00