අපේ කන්තෝරුවේ රොබින් යනු මට මේ තීරු ලිපිය ලිවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනය කරන්නෙකි. එහෙත් පුදුමයකට මෙන්, පසුගිය දිනවල ඔහු ගැන කිසිවක් ලියැවුණේ නැත. මේ සතියේ, නැවත වරක් ඒ සඳහා අවස්ථාවක් උදා වී ඇත.
පසුගිය දිනෙක, රොබින් මගෙන් මෙසේ ඇසුවේය.
“සර්, ඉන්දිරා ගාන්ධිගෙ පියා කවුද?”
“ශ්‍රී නේරු”
“එතකොට ඉන්දිරා ගාන්ධිට ගාන්ධි වාසගමක් කොහෙන්ද?”
“ඉන්දිරා මැතිනියගෙ ස්වාමිපුරුෂයා, ෆෙරෝස් ගාන්ධි නිසා.”
“එතකොට සර්, සන්ජේ ගාන්ධියි, රජීව් ගාන්ධියි කියන්නෙ ඒ දෙන්නගෙ පුත්තු.”
“හරියට හරි..”
“එතකොට, සෝනියා ගාන්ධි”
“රජීව් ගාන්ධිගෙ භාර්යාව. එයා ඉතාලි ජාතික කාන්තාවක්.”
“ඒ දෙන්නගෙ ළමයි තමයි රහුල් ගාන්ධියි, ප්‍රියංකා ගාන්ධියි.”
“හරියටම හරි”
“එතකොට සර්, මහත්මා ගාන්ධි කියන්නෙ කවුද?”
“එතුමා තමයි, ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයා.. මිනිස්සු එයාට කියන්නෙ ජාතියේ පියා කියල.”
“එතකොට, අර ගාන්ධිලයි, මේ ගාන්ධියි අතර සම්බන්ධයක් නැද්ද?”
“කොහෙත්ම නෑ.”
ඒ ඇසූ රොබින්, හිසේ අත ගසාගෙන සිනාසෙන්නට විය.
“මොකද රොබින්?”
“මං පොඩි පටලැවිල්ලක් තේරුම් බේරුම් කර ගත්ත සර්. වාසගම් පැටලුණාම මාර කේස් නේද සර්?”
රොබින් ඉවතට ගියේය.
මට ඔහුගේ පටලැවිල්ල පැහැදිලිය. මට නම් එහි සිනාසීමට හේතුවක් නැත.
ඉතිහාසය යනු සර්ව සම්පූර්ණ කතාන්දරයක් නොවේ. එහි පටලැවිලි, වැරදි, බොරු බොහෝය. එහෙයින් ඕනෑම කෙනකු අතින්, ඉතිහාස කරුණු පැටලීමට ඉඩ තිබේ.
කිසියම් කෙනෙක්, රහුල් ගාන්ධි යනු මහත්මා ගාන්ධිගේ මුණුබුරා යැයි කියූ පමණින් ඉන්දීය ඉතිහාසය වෙනස් වන්නේ නැත. එසේම, තවත් කවුරුන් හෝ, බුදුන්වහන්සේ උපන්නේ සිරි ලංකාවේ යැයි කියූ පමණින් ද, ඒ රටේ හෝ මේ රටේ ඉතිහාසය වෙනස් වන්නේ නැත. එහෙත් එබඳු කතා කියන උදවියගේ ඉතිහාසය, වර්තමානය පමණක් නොව අනාගතය ද වෙනස් වීමට ඉඩ තිබේ.
ඉතිහාසය වෙනස් විය යුතු යැයි කීමම, දෙබර කූඩුවක් අවුස්සා ගැනීමකි. එහෙත් ඉතිහාසය නැවත ලිවිය යුතු යැයි කියන්නෝ ඉතිහාසඥයෝමය. ඔවුන්ගේ අදහස වන්නේ, බොරු කතන්දර හා වර්ණනා ඉවත් කර, ඉතිහාසය ශුද්ධ පවිත්‍ර කළ යුතු බවය.
ඓතිහාසික නවකතාකාරයන් කරන්නේ ද, ඉතිහාසය ලියූවන්ට මඟහැරුණු හෝ අතහැර දැමුණු තැන් සොයාගනිමින්, ප්‍රබන්ධයක් සේ ඉදිරිපත් කිරීමය.
විද්‍යා ප්‍රබන්ධකාරයන් හැමවිටම පාහේ ලියන්නේ අනාගතය පිළිබඳවය. එහෙත් ඩී.එන්.ඒ. පරීක්ෂණ හරහා අතීතයට ගමන් කරන විද්‍යා ලේඛකයකු, නේරු පවුල සහ මහත්මා ගාන්ධි අතර ජාන සම්බන්ධතාවක් සොයාගැනීමට ද ඉඩ ඇත. එසේ වුවහොත්, මහත්මා ගාන්ධි, රහුල් ගාන්ධිගේ කිරිඅත්තා කෙනකු හෝ මී මුත්තා කෙනකු වීමට ද ඉඩ තිබේ.
ඒ කෙසේවෙතත් කට වැරදීමකින් හෝ ඉන්දියාවේ ඉතිහාසය සමඟ සෙල්ලම් කිරීමට යාම භයානකය. මාර්ක් ට්වේන් නමැති සුප්‍රසිද්ධ අමෙරිකානු ගත්කරුවා, මෙසේ කියා ඇති බව, ඉන්දියාවට නොව දඹදිවට යන ඇත්තන් පවා සිහියේ තබාගැනීම වැදගත්ය.
“ඉන්දියාව යනු මානව වර්ගයාගේ තොටිල්ලය.
මිනිසාගෙ කථනය උපන් තැනය.
ඉතිහාසයෙහි මවය.
ප්‍රවාදයන් හි මිත්තණියය.
සම්ප්‍රදායෙහි මී මිත්තණියය.
අපගේ ඉතිහාසයෙහි ඉතාම වටිනා සහ කලාත්මක වස්තූන් රැකුණේ ඉන්දියාවෙහිය.”
ගාන්ධිලා සහ ඉන්දියාව ගැන, අනම් මනම් කතා පැතිර යන මේ දිනවල, එරටින් ආ උපහාස කතාවකින්, අද ‘හීසරය’ අවසන් කරන්නට සිතුවෙමි.
ඉබාගාතේ ඇවිද යන දිළිඳු පුද්ගලයෙක්, එක් රාත්‍රියක තම නවාතැන කර ගත්තේ, මංසන්ධියක පිහිටා තිබූ මහත්මා ගාන්ධි ප්‍රතිමාවක් පාමුලය.
මධ්‍යම රාත්‍රිය එළැඹුණි.
මහත්මා ගාන්ධිතුමා, තම සැරයටියෙන් ඇන, අර පුද්ගලයා අවදි කළේය. පුදුමයට පත් ඔහු, ඉහළ බලමින් කතා කළේය.
“ගාන්ධි ජී, ඇයි මාව අවදි කෙරුවෙ?”
“උඹල වගේ ඉන්දියානුවො ඔක්කොම එකයි. කිසිම කෙලෙහි ගුණයක් නෑ. හැමතැනම මගේ ප්‍රතිමා හැදුවා. ඒත් ඒ හැමතැනම මම හිටගෙන. නිදහස් සටන කාලෙත් මම කොච්චර පයින් ඇවිද්දද? මට දැන් හරි මහන්සියි.” ගාන්ධි දොස් කියන්නට වූයේය.
“හරි හරි.. දැන් ඔබතුමාට මොකක්ද වෙන්ඩ ඕනෙ?”
“හැරමිටි වාරුවෙන් තව කොච්චර කල් මෙහෙම ඉන්ඩද? අර ශිවාජිට වගේ මටත් අශ්වයෙක් ගෙනත් දෙනවකො.”
ඒ ඇසූ දිළිඳු පුද්ගලයා, නගරයේ ප්‍රභූන්ගේ නිවෙස්වලට ගොස් මෙම සිද්ධිය කියා උපකාරයක් පැතුවේය. එහෙත්, කිසිවකුත් ඔහු විශ්වාස කළේ නැත. වැඩි ප්‍රසිද්ධියක් නැති මන්ත්‍රීවරයෙක් පමණක් මේ පිළිබඳව උනන්දු විය.
“අද රෑට මම තමුසෙත් එක්ක, ගාන්ධි ප්‍රතිමාව ළඟට යන්න එන්නං. අදත් එතුමා දුක් ගැනවිල්ල කිව්වොත්, මම අස්සයෙක් අරන් දෙනවා.”
ඔහු කියූ පරිදිම, එම රාත්‍රියේ දිළිඳු පුද්ගලයා සමඟ ප්‍රතිමාව අසලට ගියේය. මන්ත්‍රීවරයා දුටු ගාන්ධිට යකා නැග්ගේය. දිළින්ඳාට බැණ වැදුණේය.
“මිනිහෝ, අස්සයෙක් නැත්තං නිකා ඉඳිං. ඒ වෙනුවට බූරුවෙක් මොකටද ගෙනාවෙ?”
► කපිල කුමාර කාලිංග