2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ගම්පෙරළියට පසු?

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

අවුරුදු සියයකට පසු උදාවන දීර්ඝ චන්ද්‍රග්‍රහණය නැරඹීමේ ආශාවෙන් යුතුව, මම කන්තෝරු කාමරයේ හාන්සි පුටුවට වී නිදිමරමින් සිටියෙමි. කවුළුවෙන් පෙනෙන අහස වළාකුළින් බරය. ග්‍රහණය කෙසේවෙතත් චන්ද්‍රයාවත් නොපෙනී යාමටද ඉඩ ඇත. දෑස් පියාගෙන කල්පනාවක නිමග්නව සිටි මා එක්වරම තිගැස්සුණේ, අමුත්තෙකු කාමරයට පිවිසෙන පියහඬිනි.

මම මවිතයටත්, සතුටටත් පත්වීමි. පැමිණ සිටින්නේ මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ මහතාය. මවිතය, දිගු කලකට පෙර මියගිය එතුමා මෙසේ දකින්නට ලැබීම පමණක් නොව, මගේ කාමරයටම පැමිණ සිටීමය. සතුට, බාලවියේ සිටම මගේ ලෝකයේ වීරයෙකු වූ ලේඛකයෙකු සමඟ, යළි “සජීවී” පිළිසඳරක යෙදෙන්නට අවස්ථාවක් පෑදීමය. එය මා වැනි සිල්ලර මාධ්‍යවේදියෙකුට කලාතුරකින් ලැබෙන භාග්‍යයකි.

මට අපගේ සාහිත්‍ය අතිරේකය සඳහා මාර්ටින් වික්‍රමසිංහයන් සමඟ සංවාදයක යෙදී ලිපියක් සකස් කොට, අනෙක් මාධ්‍ය සගයන් විමතියට පත් කළ හැකිය. එසේම, යථාර්ථවාදී සාහිත්‍ය ගැන අපට බොහෝ දේ කියාදී එතුමා, පශ්චාත් නූතනවාදය වැනි මතවාද ගැනත්, රෝලන්ඩ් බාත්, වෝල්ටර් බෙන්ජමින්, ජැක් ලැකාන්, ෆ්‍රෙඩ්රික් ජෙම්සන් වැනි නූතන සාහිත්‍ය විචාරකයන් ගැනත් යාවත්කාලීන වී ඇතිදැයි විමසිය යුතුය. එවැනි නමක් දෙකක් හෝ නොදා වර්තමානයේ සාහිත්‍ය විචාරයෙහි යෙදිය නොහැකි බව එතුමාට කියාදිය යුතුය.

මගේ කාමරයේ ඇති පතපොත දෙස බැලූ වික්‍රමසිංහයන් මා දෙස සිනාවක් පෑවේය.

“පොත්පත් කියවීමට කැමතියි වගේ?”

“එහෙමයි. එක අතකින් ඒක මගේ විනෝදාංශය. අනිත් අතින් මගෙ රැකියාවට අවශ්‍ය දෙයක්. මම මාධ්‍යවේදියෙක්”

මම ටිකක් ආඩම්බරයෙන් කීවෙමි.

“ඔව්. මම දන්නවා. ඒ නිසාම තමයි මුන්නැහේව මුණගැහෙන්න ආවෙත්.”

මම වික්‍රමසිංහයන්ට අසුනක් පැනවීමි. එතුමා ලියූ සියලුම පොත්, මගේ පොත් රාක්කයේ ඉහළට තබා ඇත. එදෙසට අත දිගුකළ වික්‍රමසිංහ මහතා, “ගම්පෙරළිය” පොත පිටතට ගත්තේය. ඉන්පසු. කපු පුළුන් සේ සුදෝසුදු හිසකෙස් අතින් සකසමින්, නළල රැලි කළේය.

“පහුගිය කාලෙ ස්ටර් පීරිස්, මගේ ගම්පෙරළිය සිනමාවට නැගුවා. ඊටපස්සෙ රූපවාහිනියෙනුත් පෙන්නුවනෙ. දැන් මේ මොකද්ද කරන්න හදන අලුත්ම සෙල්ලම?”

“ආ... ඔබතුමා මේ අහන්නෙ ගම්පෙරළිය එන්ටප්‍රයිස් ප්‍රොජෙක්ට් එක ගැන නේද?”

“අන්න හරි”

“ඔබතුමාට කලබල වෙන්න දෙයක් නෑ. ඒක මේ නවකතාවට සම්බන්ධයක් නෑ. ඒක මේ ආණ්ඩුවෙ සංවර්ධන වැඩපිළිවෙළක්.”

“ආ එහෙම... එහෙමනම් තව ටික දවසක් යනකොට කලියුගයයි, යුගාන්තයයි දෙකටත් වැඩේ දෙයි නේද?” වික්‍රමසිංහයෝ සරදම් සිනාවක් පෑහ.

“කලියුගය කෙසේවෙතත් යුගාන්තය නම් ෂුවර්!” මම කීවෙමි.

“මට බය, විරාගය කියලත් සංවර්ධන ව්‍යාපෘතියක් පටන්ගනීවිද කියලා?” වික්‍රමසිංහයන් පවසයි.

“ඒවා කියන්ඩ බෑ සර්. දැන් දේශපාලනඥයො පොතෙන්ම තමයි වැඩ! කාලෙකට ඉස්සෙල්ල “යුද්ධය හා සාමය” තමයි පෙරළුවේ. ළඟදි ඉඳන් “අපරාධය සහ දඬුවම” ඉස්සරහට අරගෙන.”

“කොහොම වුණත් මේ ගැන මම සන්තෝස වෙනවා. ජේ.ආර්. උන්නැහේ කිව්වලුනෙ, සාහිත්‍ය කන්ඩද කියලා. ඒකට හොඳ උත්තරයක් මේක. සාහිත්‍ය කෘතිවල නම් යොදාගෙන රට සංවර්ධනය කරන්න හදනවා. මම ගම්පෙරළියට සුබ පැතුවය කියල කියන්න.” වික්‍රමසිංහයන් ආපසු යාමට සැරසුණි.

“සර්... මේ පාර කොළඹ පොත් ප්‍රදර්ශනේදි වැඩිපුරම විකි‍ණෙන්නෙ ගම්පෙරළිය... මිනිස්සු පෝලිම් ගැහිලා, පොත ගනීවි.”

“ආ... ඒක හොඳ දෙයක්. කොහොමද දැන් ලංකාවෙ පොත් අලෙවිය? නවකතා එහෙම හොඳට විකිණෙනව ඇති?”

“මොන පිස්සුද සර්, පොත් ගහන්නෙත් පන්සීයයි, දාහයි. ඒක විකිණෙන්නත් අවුරුදු දෙක තුනක් යනවා.”

“හැබෑට...? මගේ මුල්ම නවකතා දෙක, සෝමයි, අයිරංගනියි පොත් දෙදාහකට වඩා විකුණුනානේ.”

“ඒවට සම්මාන ලැබිලත් නෙවෙයිනෙ? නේද සර්?”

“ඒ කාලෙ කොහෙද සම්මාන?”

“මේ කාලෙ නම් පොත් විකුණගන්න සම්මාන ඕනෙ”

“ඔව්. ඔව්. මමත් මේ ළඟදි සම්මාන ලැබුණු පොතක් දෙකක් කියවල බැලුවා.”

“ඒව කොහොමද සර්... හොඳද?”

“මොන තරම් හොඳද කියනව නම්, ඊටපස්සේ මම මගේ “සිංහල සාහිත්‍යයේ නැඟීම” කියන පොතේ දෙවෙනි කොටස ලියන්න පටන් ගත්තා.”

“ඇත්තද සර්... අපේ සාහිත්‍ය දැන් ඒ තරම් නැඟල ගිහිල්ලද?”

“දෙවෙනි කොටසේ නම, “සිංහල සාහිත්‍යයේ පරිහානිය.”

එසේ කියූ වික්‍රමසිංහයෝ එක්වරම අතුරුදන් වූහ. ඒ සමඟම තවත් අමුත්තෙක් පැමිණියේය. මම එක්වරම ඔහු හඳුනාගතිමි. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රය.

“වික්‍රමසිංහ ඇවිත් ගියා නේද, මිනිහ මං ගැන විවේචනයක් හෙම කළාද? පේරාදෙණිය ගුරැකුලය ගැන?”

“අනේ නෑ සර්. එතුමා කතා කළේ ගම්පෙරළිය ගැන.”

“ඉතින් බලනව අයිසෙ, මේ ආණ්ඩුව එයාගෙ පොත් විතරක් උඩට උස්සන එක හොඳ නෑනෙ. මගේ පොතකුත් ගන්ඩ කියනවකො. තමුසෙලට පුළුවන්නෙ යෝජනා කරන්ඩ.”

“මොකක්ද සර් පොත? මළගිය ඇත්තොද?”

“නෑ. ඒක පස්සේ ගත්තැකි. මේගොල්ලන්ට දැනට ගැලපෙන්නෙ, මම ලියපු ‘වල්මත් වී හසරක් නුදුටිමි’ තමයි.

ඒ සමඟම මගේ බිරිඳ ඈත සිට කෑගැසුවේ “පුටුවෙම නිදිදෝ... චන්ද්‍රග්‍රහණය බලන්නෙ නැද්දෝ...”යි කියමිනි. මම දෑස් පිසදාගෙන, හාන්සි පුටුවෙන් නැගිට්ටෙමි.

►කපිල කුමාර කාලිංග