“තාත්තේ, ඉම්රාන් ඛාන් කියන්නේ නළුවෙක්ද?”
අපේ කාර්යාලයේ නැණසිරිගේ පොඩිපුතා එසේ ඇසුවේලු! තවම පාසල්වත් නොයන පොඩි එකාගේ මේ ප්‍රශ්නයෙන් අවුල් වූ නැණසිරි තම බිරිඳ දෙස බැලුවේ ගුවන් විදුලි ප්‍රශ්නෝත්තර තරගයකදී ‘පොඩි උදව්වක් කරන්නැ’යි කියන්නාක් මෙනි.
මොන්ටිසෝරි ඩිප්ලෝමාවක් හදාරා ඇති නැණසිරිගේ බිරිඳ දරුවාට ළංව කාරුණික ලෙස පිළිතුරු දුන්නාය.
“නෑ පුතේ.. සල්මන් ඛාන්ලා, ෂාරුක් ඛාන්ලා නළුවො වුණාට හැම ඛාන් කෙනෙක්ම නළුවෙක් නෙවෙයි.”
“එතකොට එයා කොහොමද ඔය තරම් ජනප්‍රිය වුණේ?”
“ඇයි පුතේ එයා පාකිස්ථානෙට වර්ල්ඩ් කප් එක අරන් දුන්නු ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්නේ”
“ක්‍රිකට් කැප්ටන්ලා අගමැතිලා වෙනවද අම්මේ?”
“දැන් ඔය වෙලා තියෙන්නේ?”
“ඉතින් අර්ජුන රණතුංගට අපේ රටේ අගමැති වෙන්න බැරිද? එයත් වර්ල්ඩ් කප් එක අරන් දුන්නනේ.”
පොඩි එකාගේ ඒ ප්‍රශ්නෙන් නැණසිරිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.
“පුතා ශිෂ්‍යත්වෙට තව කල් තියෙනවනේ. දැන් ගිහින් සෙල්ලම් කරන්ඩ.”
ඔහු පොඩි එකා එලවා ගත්තේය.
“පොඩිකමට නෙවෙයි අහන ප්‍රශ්න.. නේද මෙයා..?” නැණසිරි බිරිඳ දෙස බැලුවේය.
“එහෙම කියන් එපා අනේ. අලුත් ජෙනරේෂන් එකේ ළමයි උපදින්නෙම අයි.ටී. නොලේජ් එකත් අරගෙන.”
“ඒකට අපි පොඩි කාලෙනං අයි. ටී. තියා අයි. ටී. එන්. එකවත් තිබුණෙ නෑ.” නැණසිරි සිනාවක් පෑවේය.
“පුතාගේ ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවේදී වුණත් අහන්න වටින එකක්. අනූ දෙකේ ලෝක කුසලානේ දිනලා දුන්න පකිස්ථානෙ ඉම්රාන් ඛාන්ට එහෙ අගමැති වෙන්න පුළුවන්නම් අනූහයේ ලෝක කුසලානය දිනලා දුන්න අර්ජුනට ඇයි අපේ රටේ බැරි?”
බිරිඳ එසේ කියමින් නැණසිරි දෙස බැලුවාය.
“අර්ජුන අගමැති වෙන්ඩ කලින්, ක්‍රිකට් බෝඩ් එකේවත් චෙයාමන් වෙලා ඉන්ඩ එපායැ..”
“ඒ වුණාට එයා ඇමැති කෙනෙක්නේ. පෙනුම වුණත් අගමැතිකමට ගැලපෙනවනේ?”
“පෙනුමෙන් බැලුවොත් එයාගේ සහෝදරයා ප්‍රසන්න ඊට වඩා ගැලපෙනවා.”
“ඒ වුණාට ප්‍රසන්න වර්ල්ඩ් කප් එක ගෙනාවෙ නෑනේ.” නැණසිරිගේ බිරිඳ මොන්ටිසෝරි ගුරුවරියක වුවද, සාමාන්‍ය දැනුම අතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුටත් වඩා හොඳ පාටය.
“ඉන්දියාව පාකිස්ථානෙත් එක්ක එකට එක කරන රට නිසා මහේන්ද්‍ර සිං දෝනිට අගමැතිකම දෙයිද කියන්ඩ බෑ.” නැණසිරි ද තම දේශපාලන දැනුම පෙන්වීමට උත්සාහ ගත්තේය.
“ඒක වෙන දෙයක් නෙවෙයි. දෝනිට පක්ෂයක් නෑනේ.”
“සල්ලි තියෙනවනං පක්ෂයක් හදාගන්න එක මහ වැඩක්ද? මිනිහා මෝදිවත් සල්ලිවලට ගනී.”
“වර්ල්ඩ් කප් එක කාලෙනම් සනත් ජයසූරියටත් ඉන්දියාවෙ අගමැති වෙන්ඩ තිබුණා නේද ඒයි?”
“අනේ එයා ගැන කතා කරන්ඩ එපා. අඩුම ගාණෙ දකුණු පළාත් සභාවෙ සභාපතිවත් වුණායෑ...”
“එහෙම කියන්ඩ එපා. එයත් පාර්ලිමේන්තුවට ආවනේ.”
“ලසිත් මාලිංගටත් තිබුණා වෙස්ට් ඉන්ඩීස්වල අගමැති කෙනෙක් වෙන්න.”
“ඒත් එයාටත් එහෙ පක්ෂයක් තියෙන්ඩ එපායැ..”
“මොකද නැත්තේ? එහෙ ගෑනු පක්ෂය මාලිංගට ෆුල් සපෝට්”
“මම නම් මාලිංගට වඩා කැමති සංගට” නැණසිරිගේ බිරිඳ එසේ කියා මොන්ටිසෝරි ටීචර් කෙනකු නොව ළමයකු ලෙස ඇඹරී නියපොත්තක් සැපුවාය.
“සංගගෙත් නරක කාලෙද කොහෙද.. ඔන්න එයත් දේශපාලනේට එන්ඩ යනවලු” නැණසිරි කීවේය.
“ඉතින් මොකද වෙන්නෙ අනේ.. දැන් ක්‍රිකට් ගහන්නෙත් නැති එකේ එයාටත් ජීවත් වෙන්න විදිහක් තියෙන්න එපායැ”
බිරිඳගේ මනාපය සංගාටය.
“සංගට මෙහෙට වඩා ගැලපෙන්නෙ එංගලන්තෙ. මිනිහා එහෙදි කරපු කතාවට සුද්දොත් හොල්මන් වුණානේ. සංගා එහෙ ඉංග්ලිෂ් ටියුෂන් කරන්ඩ ගත්තනං, හොඳ සල්ලියක් හොයන්ඩ තිබුණා. මෙහෙ ඇඩ්වර්ටීස්මන්ට්වලට ගිහිං පල් වෙන්නෙ නැතුව...”
“අපේ ජාතික සහජීවනය පෙන්නන්නත් එක්ක මුරලිදරන්ට අගමැතිකම දුන්නොත් කොහොමද?”
“අපෝ ඒක ලෙඩක්. එතකොට තව කට්ටියක් කියයි මහරුෆ් හරි මුබාරක් හරි ජනාධිපතිකමට දාන්ඩ කියලා. තව කට්ටියක් කියයි වැන්ඩසේට කතානායකකම දෙන්ඩ කියලා... ජාතිවාදය කියන්නෙත් මැච් ෆික්සින් වගේ ලෝක ලෙඩක්”
“එහෙමනම් වෙන කවුද දාන්නේ?”
“තරුණ නායකයෙක් හැටියට චන්දිමාල්ව වුණත් ඉදිරියට ගන්න තිබුණා. පන්දුව පළුදු කළේ නැත්නම්.”
“ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ! ක්‍රිකට්කාරයොත් අපේ දේශපාලනේට ඇඟිලි ගහනවා කියන එකනේ ඕකෙන් පේන්නේ.”
“ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. හතුරුසිංහට බංගලාදේශ් අගමැති වෙන්ඩ ලොකු චාන්ස් එකක් තිබුණා. මිනිහා ඒක නැති කරගත්තා කියලයි හැමෝම හිතන්නේ. මම නම් කියන්නේ ඒක ඉන්දියාවෙ කුමන්ත්‍රණයක් කියලා.”
“අරවින්ද සිල්වා කොහොමද අපේ අගමැතිකමට?”
“දැන් ඉන්න එක්කෙනා වගේම තමයි. ක්‍රිකට් ගැහුවට කතාව පණ මදි.”
“එහෙම කියන්න එපා. කතාව නෙවෙයි වැඩනෙ තියෙන්ඩ ඕනෙ. අරවින්ද සෙන්චරීස් කීයක් ගහලා තියෙනවද? අගමැතිතුමත් විපක්ෂ නායක හැටියට ඡන්ද කීයක් කරලා තියෙනවද?”
“ඉම්රාන් ඛාන්ට වුණත්, ක්‍රිකට් තිබුණට මදි. වැඩ පෙන්නන්ඩ වෙයි. නැත්නං මිනිස්සු එයාගෙ නම ඉම්රාන් “කාන්ට්” කියලා වෙනස් කරයි.”
පොඩි එකා එහි දිව ආවේ කලකට පසු පියා සහ මව එකමුතුව, උස් හඬින් සිනාසෙන්නේ මන්දැයි දැක ගැනීමටය. මව හේතුව කීවේය. එවිට පොඩි එකා මෙසේ කීවේය.
“එතකොට ඉම්රානුත් ෆිල්ම් එකක් හදයි. ‘මයි නේම් ඊස් ඛාන්’ කියලා.
►කපිල කුමාර කාලිංග