2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

පුංචි සිඤ්ඤොලාට ආණ්ඩුවෙන් ටියුෂන්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

“ආණ්ඩුවෙන් ජනතාවට ටියුෂන් දෙන්ඩ යනවලු”

කැන්ටිමේදී කවුදෝ කාටදෝ කියනු ඇසුණි.

“ඒක හොඳයි, නැත්නම් ජනතාව ආණ්ඩුවට ටියුෂන් දෙයි ළඟදිම.

කාගෙන්දෝ පිළිතුරක් ද ලැබුණි. තව තවත් අය ඒ කතාවට එක්වූයේ, “මෙහි දේශපාලනය ගැන කතා කිරීමෙන් වළකින්නැයි එහි දැන්වීමක් ද සවිකර තිබියදීමය.

“මොනවද ඉතින් අපිට ටියුෂන් දෙන්ඩ යන්නෙ? දෙවැන්නා ඇසීය.

“බදු ගෙවීම ගැන පළවැන්නාගෙන් පිළිතුරු ලැබුණි.

“ඒ ගැන මොනව උගන්නන්නද?

“දේශීය ආදායම් පනත ගැන දැනුවත් කරන්නලු යන්නෙ.

“බදු ගැන මිනිස්සු හොඳටම දැනුවත් වෙලානෙ ඉන්නෙ දැන්. තවත් මොනවද උගන්නන්න යන්නෙ?

“බදු වගකීමක් නෙවෙයි සමාජ යුතුකමක් කියලයි උගන්නන්න යන්නෙ.

“හැබෑට? ඒ පාර අපිට යුතුකම් උගන්වන්න හදන්නෙ, හරියට ඒ ගොල්ලො යුතුකම් වගකීම් ඉෂ්ට කෙරුවා වගේනෙ.

“මම ඔය ගැන අපේ ලොක්කගෙනුත් ඇහුවා. එයත් කියනවා ජනතාව යුතුකම් ඉෂ්ට නොකරුවම ආණ්ඩුවට වගකීම් ඉෂ්ට කරන්න අමාරුයිලු.”

“යුතුකම අපි ඉෂ්ට කෙරුවෙ ඡන්දෙදිනෙ. තවත් මොන යුතුකම් ද?”

“බදු ගෙවන එක යුතුකමක් නෙවෙයිද?”

“බදු ගෙවන්ඩ අපිට සල්ලි තියෙන්ඩ එපායැ. එන්ජින් ඩ්‍රයිවර්ලා පවා ජීවත් වෙන්නෙ අමාරුවෙන්. එහෙව් එකේ අපි ගැන මොන කතාද?”

“ඒකනම් ඇත්ත. බදු ගෙවන්ඩය කියලා බල කරනවට වැඩිය හැම කෙනෙක්ටම ජීවන වියදම් දීමනාවක් හරි දිරි දීමනාවක් හරි දෙනව නං තමයි හොඳ?”

“දිරි දීමනාවක් මොනවටද?”

“ජීවත් වෙන්ඩ දිරියක් ඕන වෙලයි අපි ඉන්නෙ. මිනිස්සු ජීවත් වෙන්නෙ බාගෙට. ඒක තේරුම් ගන්නවා නම්, බදු ගැන මතක් කරන එකක් නෑ. ලොකු ලොක්කො.”

“ආණ්ඩුව මුළු ලෝකෙටම ණයයිලු. හිටපු කට්ටිය ණය අරන් ගෙවලා නැතිලු.”

“ඒක අපිට අදාළ නෑනෙ.”

“බදු ඉල්ලන්නෙ ණය ගෙවන්ඩද දන්නෑ?”

“ඒක යකාගෙ වැඩක්නෙ. හොරු ටික අල්ලලා කළු සල්ලිවලින් ණය ගෙවන්ඩ බැරියැ? එහෙමත් නැත්නම් මැති ඇමැතිලාගෙ පුටු ටිකයි. වාහන ටිකයි වික්කොත් ලෝක බැංකුවටත් ණය දෙතෑකි.”

මේ අවස්ථාවේ කැන්ටින් හිමියා පැමිණ දන්වීම් පුවරුව (දේශපාලන කතා තහනම) දැක්වූයෙන් කතාව එතැනින් නතර වුණි.

මේවා අපට අසන්නට ලැබෙන, සාමාන්‍ය මිනිසුන්ගෙ කතාය. ආර්ථික විශේෂඥයන් හා මුදල් ඇමැතිවරුන්ගේ කතා මීට වෙනස් බව දනිමු. ඒවා පුංචි සිංඤෝලාට නොතේරේ. ඔවුන්ට තේරෙන එකම දෙයක් ඇත. එය ආර්ථික විශේෂඥයන්ට, මහ බැංකු අධිපතීන්ට, මුදල් ඇමැතිවරුන්ට නොතේරේ. එනම් කාට කාටත් ජීවත් වීම යුද්ධයක් වී ඇති බවය. ජීවන යුද්ධය උතුරේ යුද්ධයට වඩා දරුණුය. ජීවන යුද්ධයට විසඳුම් නැත්නම් ලෝක යුද්ධයක් ජයගත්තත් ඇති වැඩක් නැතිය.

මේ රටේ බැරි අමාරුකම් නැති කෙනෙක් සොයා ගැනීම අමාරුය. හදිසියකට අතමාරුවක් ගැනීමට සිටි අනේපිඬුවරු ද සිංගප්පූරු ගොස් ඇති නිසා මැති ඇමැතිවරුන්ටත් අමාරුය. බදු ගැසීම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් නොව, පෞද්ගලික රෝහල් හිමියන්ට පවා අසාධ්‍යය.

රෝගියාගේ ජීවිතයට වඩා මුදලේ අගය පෙරට ඒම නිසා වෛද්‍ය වෘත්තිය ද නීතිඥ වෘත්තියේ තත්ත්වයට වැටී ඇතැයි විකට කතා ලියන්නෝ සහ කාටුන්කාරයෝ වැනි අය අවලාද නඟති.

මෑතකදී කියවන්නට ලැබුණු සිනා කතාවකි මේ.

බටහිර රටක වෛද්‍යවරයෙක්, තමන් වෙත වැඩිපුර රෝගීන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රචාරණ උපක්‍රමයක් යෙදීය. ඔහුගේ ඩිස්පෙන්සරිය ඉදිරිපස පුවරුවක මෙසේ සඳහන් කෙරුණි.

“ඩොලර් 20ක් ගෙවා ප්‍රතිකාර ලබන්න. ඔබ සුවපත් නොවුණහොත් ඩොලර් 100ක් ලබාගත හැකිය.”

මෙය දුටු නීතිඥවරයෙක් ඩොලර් 100ක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් පෑදී ඇති බව වැටහී එම වෛද්‍යවරයා හමුවට ගියේය.

“මොකක්ද අසනීපෙ?”

වෛද්‍යවරයා ඇසීය.

“මට කිසිම රසක් දැනෙන්නෙ නැහැනෙ.”

නීතිඥයා පැවසුවේ දිව ද ඉදිරියට දිගු කරමිනි. වෛද්‍යවරයා හෙදිය වෙතට හැරුණේය.

“නොම්මර 22 පෙට්ටියෙන්, හැඳි තුනක් මෙයාගෙ කටට වත් කරන්න.”

හෙදියද එය ඉටු කළේය.

“මේ මොනවද? ලාම්පු තෙල්නෙ.”

නීතිඥයා කෑ ගැසුවේය.

වෛද්‍යවරයා සිනාසුණේය.

“දැන් ඔබට රස දැනෙනවා නේද? මගේ අයකිරීම ඩොලර් 20යි.”

ගාස්තුව ගෙවූ නීතිඥයා, පරාජිත හැඟුමින් ආපසු ගියේය. දින කිපයකට පසු ඔහු නැවතත් වෛද්‍යවරයා හමුවීමට ගියේ අපතේ ගිය ඩොලර් 20 කෙසේ හෝ යළි ලබාගැනීමේ අරමුණෙනි.”

“මොකක්ද අසනීපෙ?” වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය නැඟුවේය.

“මගේ මතක ශක්තිය නැති වෙලානෙ. මට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ.”

ඒ ඇසූ වෛද්‍යවරයා, හෙදිය දෙසට හැරුණේය.

“නොම්බර 22 පෙට්ටියෙන් හැඳි තුනක් මෙයාගෙ කටට දාන්න.”

හෙදිය ද එසේ කළේය. නීතිඥයා කෝපයෙන් කෑ ගැසීය.

“මේ ලාම්පු තෙල්නෙ. ගිය සැරෙත් ඔය ජරාවමනෙ මට දුන්නෙ.”

වෛද්‍යවරයා සිනාසුණේය. “දැන් ඔබේ මතකය වැඩ කරනවා. මගේ අයකිරීම ඩොලර් 20යි.”

එවරද පරාජයට පත් නීතිඥයා, ආපසු ගිය නමුදු දින කීපයකින්ම යළි වෛද්‍යවරයා හමුවට ගියේ සිදුවූ පාඩුව මකා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

“ඩොක්ටර් මගේ ඇස් පෙනීම නැතුව ගියානෙ. සනීප කරල දෙන්න පුළුවන් නං ලොකු උදව්වයි.”

ඒ ඇසූ වෛද්‍යවරයා හිස දෙපසට වැනුවේය.

“සමාවෙන්න... මට ඒක කරන්න අමාරුයි. මෙන්න ඔබට මගෙන් ඩොලර් 100ක්.”

නෝට්ටුව අතට ගත් නීතිඥයා කෝපයට පත්විය.

“ඩොක්ටර් මාව රවට්ටන්න ද හදන්නෙ? මේක ඩොලර් 100ක්යැ. විස්සෙ නෝට්ටුවක්නෙ.”

“දැන් ඔබේ ඇස් පෙනීම හරි! මගේ අයකිරීම ඩොලර් 20යි.” වෛද්‍යවරයා සිනාසෙමින් කීය.

කපිල කුමාර කාලිංග

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00