“ජනබලය” බැස ගොසින් දෙසතියකට පසුත් ඒ ගැන කතාබහ අඩුවී නැත. ඊයේ පෙරේදා අපේ කැන්ටිමේදී මෙවැනි සංවාදයක් අසන්නට ලැබුණි.
“මේ ආණ්ඩුව හරිම අහිංසකයි”
“ඒ මොකද එහෙම කියන්නෙ?”
“ආණ්ඩුව පෙරළන්ඩය කියල අර තරම් සෙනඟක් කොළඹට එද්දිත්, අහක බලාගෙන හිටියනෙ.”
“ඒක අහිංසකකමක්ද... නැත්තං...?”
“මොකද නැත්තෙ? අඩුම ගාණෙ වතුර පාරක්වත් විද්දෙ නෑනෙ.”
“ඒ ආපු සෙනඟත් අහිංසකයිනෙ... ඒගොල්ලො පොදු දේපලවලට හානියක් කරයි කියල සමහරු බලං හිටියෙ. අනේ ඒ මිනිස්සු අරක්කු ටිකක් බීල, සින්දුවක් කියල, පාරෙ නටල යන්ඩ ගියා. ආතල් ගන්න මිනිස්සුන්ට වතුර ගහන සිරිතක් තියෙනවයැ.”
“ඒ වුණාට, අර විශ්වවිද්‍යාලවල ළමයි මොනවට හරි කොළඹ ආවොත්, වතුර ගහල නාවලනෙ යවන්නෙ. අන්තිමට ඒ දුප්පත් ළමයින්ගෙ සෙරෙප්පු සපත්තුත් එකතු කරගෙන යනව, පොලිසියෙන්. ඒකට කියන්නෙ කැරලි මර්දනය කියලා.”
“මෙදා පාර එහෙම වුණා නං, බ්ලූමැන්ඩල් කුණු කන්ද තරමට සෙරෙප්පු සපත්තු ගොඩගැහෙයි. සමහරවිට ඒකත් හේතුවක් වෙන්ඩැති වතුර නොගහන්ඩ. මේ ආණ්ඩුව පරිසරය ගැනත් ලොකු උනන්දුවක් දක්වනවනෙ.”
“හැබැයි මෙහෙම ගියොත්, කැරලි මර්දන හමුදාවත් විසුරුවලා දාන්න වෙයිනෙ.”
“ඔව්. ඊටපස්සෙ ඒගොල්ලො භාවනා පන්තිවලට දායි.”
“මට තව ප්‍රශ්නයක් මතුවුණා. කොළඹට ජනබලය ගෙනාවා කියල ආණ්ඩුව පෙරළන්ඩ පුළුවන්ද?”
“පිස්සුද යාළුවා. මේගොල්ලන්ට තව අවුරුදු දෙකක්ම තියෙනවනෙ. ඒක ජනබලය කට්ටියත් දන්නවා.”
“එහෙමනං ඔය මහන්සිය අපරාදෙනෙ.”
“නෑ නෑ. ඔය පෙන්නුවෙ ජනබලය නෙවෙයි, තමන්ගේ දේශපාලන එහෙයියන්ගෙ බලයනෙ... ජනතාව හිටියෙ ගෙවල්වල... ටෙලිවිෂන් ඉස්සරහ.”
“එහෙනං ආණ්ඩුව අහක බලං හිටියෙ ඒක තමයි.”
“හැබැයි, රතුපස්වලදි වගේ වෙඩිල්ලක් දෙකක් තිබ්බ නං ඔය ආපු සෙනඟ ආපහු දුවනවා ආපු තැන්වලටම... බස් ටිකත් කොළඹම තියලා.”
“අපොයි, එහෙම නං, සටන් පාඨය වෙනස් කරන්න වෙනවා, ජනබලය මැදමුලනට කියලා.”
“සමහරු, හෝටල්වල සැංගිලා හිටියා කියන්නෙ ඇත්තද?”
“ඉතින් මොකද වෙන්නෙ. ඒගොල්ලො ආවෙ කොළඹ රෑ පහන් කරන්නනෙ.”
“ඒ වුණාට මිනිස්සු යන්න ගියානෙ. නායකයො විතරලු රෑ පහන් කෙරුවෙ.”
“නෑ. සමහරු ලයිට් කණු උඩ රෑ පහන් කෙරැවා.”
“මාත් දැක්ක පත්තරවලින්, ලයිට් කණු උඩට නඟිනවා. ඒගොල්ලො විදුලිබල මණ්ඩලයේ අය වෙන්ඩැති නේද?”
“නෑ නෑ. අපේ කෙනෙක්. ඒ හාදයෙක් බිමට බැස්සට පස්සෙ පොඩි සාකච්ඡාවක් කරල තිබුණා. ඒ හාදයා, ලයිට් කණුවලට නගින්ඩ පුරැදුවෙලා තියෙන්නෙ සුනාමි වෙලාවෙ... දැන් ඕන හදිස්සියකට ඉබේම ලයිට් කණු උඩට නැග්ඟෙනවලු.”
“එතකොට අර පාරේ නිදාගෙන හිටපු කට්ටිය කවුද? ඒගොල්ලො කරුවල වැටෙන්ඩත් කලින්ම රෑ පහන් කරන්ඩ හැදුවද දන්නෙ නෑ?”
“ඒ අහිංසකයො උදේ පාන්දර නැඟිටල ආපු අයනෙ. ගමන් මහන්සියට නින්ද යන්ඩැති..”
“සමහරු නං කිව්වෙ බීල වැඩිවෙලා කියලා.”
“ඒව නිකං මඩ කතානෙ... කවුද දැක්කේ ඒ මිනිස්සු බොනවා...? අපේ රටේ ඉන්නෙ වතුර බෝතලෙයි, වොඩ්කා බෝතලෙයි වෙනස දන්නෙ නැති පකිස් බූරුවොනෙ.”
“මොකක්ද අර කිරිපැකට් සීන් එක? ඒව බීල සමහරු නැවතුණේ ඉස්පිරිතාලෙ...”
“ඒකත් අමූලික බොරුවක්නෙ... ලංකාවේ කිරි නිෂ්පාදනයට විරුද්ධ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවනෙ. ඒගොල්ලො තමයි මේක ප්‍රචාරය කරන්නෙ... දෙතුන් දෙනෙක්ට පාචනය හැදෙන එකත් මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් කරගන්න එකනෙ වැරැද්ද.”
“එතකොට මොකක්ද අර කෑම පැකට් විසිකරපු සිද්ධිය. ඒකත් හරියට ඉන්දියාවෙන් උතුරට පරිප්පු පැකට් දැම්ම වගේ පරිප්පුවක් නේද?”
“මාධ්‍යකාරයො හැමදේම පටලවගන්නවනෙ... එතන වුණේ, සෙනඟට පෝලිම් ගැහෙන්න වෙලා යන නිසා, ඉක්මනට කෑම ටික සපයන එකනෙ. නැත්තං ඒ අහිංසකයො හාමත්වෙලා, ක්ලාන්ත වෙන්ඩ තිබ්බා.”
“ඔහොම බැලුවම ජනබලයෙන් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ?”
“ඔව්. ප්‍රශ්නයක් ඇතිවෙන්ඩ ආණ්ඩුව ඉඩ තිබ්බෙත් නෑ.”
“ඒකට හේතුව ජනබලයෙන් ආණ්ඩුව පෙරළෙන්නෙ නෑ කියල දැනගෙන හිටපු එකද?”
“ඒ නිසාම නෙවෙයි, ආණ්ඩුව ධාර්මිකයි. අහිංසකයි.”
“මෙහෙම ගියොත්, ඊළඟ ජනබලය, අරලියගහ මන්දිරේටයි, පාර්ලිමේන්තුවටයි ඇතුළුවෙලාම නවතියිනෙ, මෙදා පාර කිව්වත් වගේ ආණ්ඩුව අල්ලයිනෙ.”
“ඉතින් මොකද වෙන්නෙ? ඒගොල්ලො කියයි ජනබලය ප්‍රදර්ශනය කළාය කියල. ඡන්දයක් තියලත් වෙන්නෙ ඕකමනෙ. ඊට වඩා හොඳ නැද්ද ඒ ක්‍රමේ? මහජනතාවගේ මුදලුත් ඉතිරිවෙනවා.”
“ආණ්ඩුව ඒකට ඉඩ දෙයිද?”
“අපොයි ඔව්. පොඩි වෙනස්කමක් දෙකක් තියෙයි?”
“ඒ මොනවද?”
“අගමැතියි, ජනාධිපතියි පුටු දෙක මාරුකරගනී. තරහකාරයො යාළුවෙයි. “සමගිය, ජනබලය වේ” කියල අපිට කියයි.”
“එතකොටවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙයිද? හොරු අල්ලයිද?”
“පිස්සුද හලෝ? මොන ආණ්ඩුවක් ආවත්, ඒවගේ ඉන්නෙ එකම අහිංසකයො ටිකනෙ...”
“එහෙම බැලුවම හැම ආණ්ඩුවක්ම අහිංසකයිනෙ!” සංවාදය එතැනින් නිමවිය.
►කපිල කුමාර කාලිංග