සාමාන්‍යයෙන් ලංකාව වැනි රටවල කෙරෙන්නේ පාලකයන් විසින් ජනතාවට පටි තද කරගන්නා ලෙස නියෝග නිකුත් කිරීමය. එහෙත් මෑතකදී එම චිරාගත සම්ප්‍රදාය කණපිට හරවමින්, මන්ත්‍රීවරුනට පටි තද කරගන්නා ලෙසට වක්‍ර මාර්ගයෙන් අවවාද කිරීම ජනතාවගේ මහත් සතුටට හා පුදුමයට හේතු වී තිබෙන බව මුලින්ම කිව යුතුය. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයක්ව තිබූ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර අත්හිටුවීමට රජය ගත් තීරණය එබඳු පියවරකි. ලක්ෂ ගණන් වටිනා මන්ත්‍රී පුටු ගෙන්වීම නැවැත්වීම ද තවත් එකකි. මිල සූත්‍රය පැවැත්වීමට යාම ද නියම වැඩකි.
එහෙත් අපේ කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන පරණගේ මහතා ඒ පිළිබඳව දක්වන්නේ වෙනත් අදහසකි. සෑම දෙයකම නරක පැත්ත පමණක් දකින අශුභවාදියකු නොවෙතත් පරණගේ මහතාගේ අදහස් ගැන කැන්ටිමේදී විවේචනාත්මක සාකච්ඡාවක් ද පැවැත්වුණි. මෙවර “හීසරය” ලියන්නට යමක් සොයමින් සිටි මට ඉන් පොටක් පෑදුණි.
මීට මඳකලකට ඉහත යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු කියා සිටියේ මේ රටේ වාහන තදබදයට හේතුව “ඕනෑ එකයි, එපා එකයි හැම එකාම වාහන මිලදී ගෙන තිබීම” බවය. මෙතැනදි වාහන ඕනෑ එවුන්ගේ ගොඩට, මැතිඇමැතිවරුන් ද ගැණෙන බවට සැකයක් නැත. ජනතා සේවයට යාමට දුම්රිය හෝ බස් රථ යොදා ගතහොත් සියල්ල අවුල්වන බව ඒවායින් වැඩට යන අපි අත්දැකීමෙන්ම පිළිගනිමු. එහෙයින් ඒ ජනතා සේවක උතුමන්ට තීරු බදු රහිත සැප වාහන දීමේ කිසිදු වරදක් නැත. එහෙත් පරණගේ මහතා එයටද “පොල්ලක්” දමයි.
“ඔය මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට දීපු සැප වාහනවලින් සීයක්ම පිටට විකුණලලු!”
ඒ ඇසූ කවිසේකර සිනාසුණේය.
“හොඳ වැඩේ... උන්දැලට ආයෙ වාහන ගන්න ලැබෙන එකක් නෑ... පර්මිට් කැන්සල් වෙන හින්දා.”
“මොන පිස්සුද අයිසේ, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැමෝම වගේ පර්මිට් වාහන අරගෙන ඉවරයිනෙ. අනික ඒ ගොල්ලන්ට තියෙන්නෙ එක වාහනයක්යැ.”
“එහෙමනං මේකත්, අනික් වැඩ වගේම කතාවට විතරක් සීමා වෙයිද? ඉස්තාලේ වහන්න යන්නෙ අස්සය පැනල ගියාට පස්සෙද?”
“අපි බලං ඉමුකො. ජනතාව හැටියට අපි කරන්නෙ ඡන්දෙ ඉල්ලනකොට ඡන්දෙ දෙන එකයි. ඊට පස්සෙ බලයට එන එවුං කරන කියන දේවල් බලං ඉන්න එකයි විතරයි.”
මේ කතාව අසා සිටි ආරියවංශ ද මැදට පැන්නේය.
“මට මෙන්න මෙහෙම දෙයක් පේනවා. රටේ ආර්ථික අර්බුදයක් තියෙන බව අපිට විතරක් නෙවෙයි ආණ්ඩුවටත් දැනිල තියෙනවා.”
“ඔව්... ඒකට විසඳුම් ඒ ගොල්ලන්ගෙම පටි තද කරගෙන පටන් ගන්න යන එකත් ලොකු දෙයක්.”
තවකෙක් කීය.
“අගමැතිතුමාත් කියලා තිබුණ ඉදිරියේ ඇතිවන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න කල්තියා ලෑස්ති වෙන්න කියලා.”
ආර්යවංශ කීවේය. සංවාදය දිග් ගැස්සුණි.
“ඒ කියන්නේ වර්තමානයේ අර්බුදයක් නැහැ කියලද?”
“එතුමා කියන්නෙ අමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීමයි, චීනයට අධික බදු පැනවීමයි නිසා තමයි අර්බුදයක් ඇති වෙන්න යන්නෙ කියලා.”
“එතකොට අපිට ගහන බදුවලින් ප්‍රශ්නයක් නැද්ද?”
“ප්‍රශ්න පටලවා ගන්න එපා. ජාත්‍යන්තර අර්බුද විසඳන්නෙ අගමැතිතුමා. දේශීය අර්බුද විසඳන්නෙ ජනාධිපතිතුමා.”
“තවත් පැත්තක් තියෙනවා. දේශපාලකයන්ගෙ අර්බුදයි, ජනතාවගේ අර්බුදයි කියන්නෙ එකිනෙකට වෙනස් දෙයක්.”
“ඒක හරි ඒ ගොල්ලො හැම තිස්සෙම උත්සාහ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ අර්බුද විසඳගන්නනෙ. අපේ ප්‍රශ්න අපිට විසඳගන්න ඕනේ.”
“ඒක හරි පෙළපාලි නොගියත් උද්ඝෝෂණ නොකළත් ඒ ගොල්ලො තමන්ගෙ පඩිනඩි වැඩි කර ගන්නවා. ගෙවල් දොරවල් ගන්නවා. රට සවාරි යනවා.”
“අපිට පටිතද කරගන්න කියලා ගොනාට අන්දන එකනෙ හැමදාම කෙරුවෙ.”
“රටට වැඩක් වෙන බව පේන්ඩ නං මිනිස්සු පටිතද කර ගන්නව නෙවෙයි පටියයි කලිසමයි දෙකම ගලවල දායි. මිනිස්සු කැප කිරීම් කරන්න කැමතියි. ලොකු ලොක්කොනෙ කිසිම කැපවීමක් නැත්තෙ.”
කවිසේකර තරමක් උස් හඬින් කීය.
සියල්ලෝම මොහොතකට නිහඬ වූයේ තමන්ගේ අසරණ භාවය පිළිබිඹු කරන්නා සේය. ඉන් මිදෙනු පිණිසදෝ ආරියංශ නිහඬ බව බින්දේය.
“වාහන පර්මිට් තහනම් කරන්න ගිහින් ජනාධිපතිතුමා තමන්ගෙ කණ්ඩායම තරහ කරගන්නවා. ඒකෙන් වෙන්නේ පර්මිට් නැතිවෙන කට්ටිය පොහොට්ටුවට පනින එක.”
“ඒක නං ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.”
පරණගේ සිනාසුණේය.
“ඇයි?”
ආරියවංශ නළල රැළි ගැන්වූයේය.
“එතුමත් ඉන්නෙ පොහොට්ටුවට පනින්න බලාගෙන. නැතුව කොහොමද මේ අර්බුද විසඳෙන්නෙ.”
“ඒක මරු! එහෙනං මහින්ද ලොක්කලගෙ ආණ්ඩුවෙන් කට්ටියටම ආයෙත් සැරයක් කාර් පර්මිට් හම්බවෙයි.”
“නිකං වාහන නෙවෙයි. ලැම්බෝගිනි!”
සභාව සිනාසී සතුටින් විසිර ගියහ.
►කපිල කුමාර කාලිංග