“පහේ ශිෂ්‍යත්වෙ නවත්තන්ඩලු හදන්නෙ නේද?”
“කවුද කියන්නෙ?”
“ලොක්කනෙ කියන්නෙ”
“ලේසිවෙන එකක් නෑ. දෙමව්පියොත් එකතු කරගෙන පහේ ගුරවරු කොළඹට පෙළපාලියක් එයි”
“ජනබලයත් ගණන් ගත්තෙ නැති ආණ්ඩුව සිසු - ගුරු බලය ගණන් ගනීද? කිරිපැකට් එකක් දීලා අහක බලාගනී.”
ඒ, පසුගිය දිනෙක මට අසන්නට ලැබුණු පුරවැසි සංවාදයක කොටසකි.
5 ශිෂ්‍යත්වය අහෝසි කිරීමට යන බවක් නම් ආරංචි නැතත්, මිනිස්සු කනින් කොණින් අල්ලාගන්නා කතා තමන් කැමති කැමති විදිහට අර්ථකථනය කරගැනීම මේ රටේ හැටියකි.
රටේ බුද්ධි මට්ටම මනින ආකාරය කලින් කලට වෙනස් වෙයි. කලකට ඉහත අට පාස්වීමත් ලොකු වැඩකි. එහෙත් දැන් නම්, ‘අට පාස් එකා’ යනු අපහාසයකි. සමහර ලොකු සභාවල ද, අට පාස් උදවිය සිටිනා බවද දැනගන්නට ලැබෙයි.
අපට නම් එහි ප්‍රශ්නයක් නැත. අට නොව දෙක තුන හෝ පාස්වීම අගය කළ යුතුය. වරද තිබෙන්නේ වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය එවුන්ද, ලොකු ලොකු තැන්වල සිටීමය. ඒ මදිවට කරන කරන වැඩේ ද ෆේල් වීමය.
විභාගයක් සමත්වීම නම්බුවකි. ඒ අනුව නම් පහේ ශිෂ්‍යත්වය ද ලොකු කඩඉමක් පැනගැනීමකි. ළමයා පමණක් නොව අම්මා අප්පා ද පාස්වන විභාගයක් ලෝකයේ තිබේ නම්, පහේ ශිෂ්‍යත්වයම පමණි. ශිෂ්‍යත්ව සමත් පොඩි දරුවන්ට, ජනාධිපති මන්දිරයට ගෙන්වා තෑගිබෝග දෙන රටක් වේ නම් එයද සිරිලංකාවම පමණි.
පහේ ශිෂ්‍යත්වය සමතාට ලැබෙන ලොකුම තෑග්ග නගරයේ ජාතික පාසලකි. අනෙක් පාසල් අව-ජාතිකය. ඒ අතරම ‘ගමේ පාසල හොඳම පාසල යැයි ප්‍රචාරයක්ද කරනු ඇසේ. ළමයින් සම්බන්ධයෙන් නොව ගුරුවරුන් සම්බන්ධයෙන් නම් එය ඇත්තකි. එසේම, එබඳු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනවිට, දුෂ්කර පාසල් යනුවෙන් දෙයක් ද නැතිවී යනු ඇත. සියලුම පාසල් එක හා සමානය.
ඇමැතිගේ පුතාත්, පොලිස් අධිකාරිගේ පුතාත්, ත්‍රිරෝද රියැදුරාගේ පුතාත්, ගස් නගින එකාගේ පුතාත් එකම පන්තියේ ඉගෙනගන්නා දාට, මේ රටේ සමාජවාදය ද ඉබේම බිහිවනු ඇත. ඇත්තෙන්ම අධ්‍යාපන විප්ලවය, අනෙක් හැම විප්ලවයකටම වඩා වැඩදායකය.
අට පාස් උගතාට වඩා, එස්.එස්.සී. පාස් තැනැත්තා උසස් වූයේ ද, අධ්‍යාපන ක්‍රමයේ පරිණාමය සමඟය. එච්.එස්.සී. සමත්තු විශ්වවිද්‍යාලයට ද ගියහ. මේ විභාග දෙකම බාලවූයේ, අපොස (සා.පෙ.) හා (උ.පෙ.) යනුවෙන් සිංහලකරණය වීමත් සමඟය. එහෙත් ඊට කලකට පෙර, අට පාස් උගතුන්ට මෙන්ම එස්.එස්.සී.කාරයන්ට ද ගුරුපත්වීම් පවා ලබාගත හැකිවුණි. ‘ශිෂ්‍ය ගුරුන්’ ලෙස පාසලට ආ, එස්.එස්.සී.කාරයෝ, පසුව විදුහල්පතිවරු බවට ද උසස් වූහ.
විභාග පාස්වී හෝ නොපාස්වී, සහතික ඇතුව හෝ නැතුව, ටියුෂන් ගුරුවරුන් ලෙස කටයුතු කරමින්, හවසට, ප්ලාස්ටික් කූඩවල මුදල් නෝට්ටු පුරවාගෙන ගෙදර යන ගුරු පරපුරක් බිහිවූයේ, මෙරට විවෘත ආර්ථිකයේම ප්‍රතිඵලයක් වශයෙනි.
ටියුෂන් ගුරා පාසලේ ගුරාට වඩා හපනෙකි. පාසලේ ගුරාම වුව, ටියුෂන් පන්තියට ගිය කල වඩා හොඳින් උගන්වන්නකු බවට පත්වෙයි. විභාග සමත් කළ හැක්කේ ටියුෂන් ගුරාට බව ළමයි ද අදහති. පහේ ශිෂ්‍යත්වයේ සිට ලංකාවේ සියලුම විභාගවල ප්‍රතිඵල නිකුත් වූ පසු, තාප්ප පුරා පෝස්ටර් වදින්නේ ළමයාගේ නොව ගුරාගේ හපන්කම කියාපෑමටය.
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වන දිනයද ලංකාවේ විශේෂ දිනයකි. පහ ගොඩදාගන්නා ළමයාගේ ගෙදර පාටිය. ළමයාටත් වඩා උදම් අනන්නේ අම්මා හෝ තාත්තාය.
“ඔයාට වඩා ළමයව ක්ලාස් ගෙනිච්චෙ මම” අම්මා, තාත්තාට කියයි.
“ෆීස් ගෙව්වෙ මමනෙ” තාත්තා ද ලකුණු දමාගනී.
“ටියුෂන් සර් බුදුවෙන්ඩ ඕනේ” දෙදෙනාම ඊට එකඟවෙති. ළමයාගේ කිසිම හපන්කමක් නැත.
දිවයිනෙන්ම, පළාතෙන්ම හෝ අඩුම ගණනේ පාසලින්ම වැඩිම ලකුණු ලබාගන්නා ළමයින්ට නම් විශේෂ සැලකීමක් ලැබේ. පුවත්පත් වාර්තාකරුවෝ ඔවුන් සොයා ගොස්, ලොකු ප්‍රවෘත්ති පළකරති.
“මම ටී.වී. බැලුවෙම නෑ” එක ළමයෙක් කියයි.
“මම අම්මත් එක්ක ටෙලිනාට්‍ය බලබලා පාඩම් කෙරුවා.” තව ළමයෙක් කියයි. අම්මා ද එය ස්ථිර කරයි.
“මම ටියුෂන් ගියෙම නෑ. ඉස්කෝලෙ වැඩයි, බාහිර වැඩයි සේරම කෙරුවා. පන්තියේ ගුරැතුමී හොඳට ඉගැන්නුවා.” තවත් ළමයෙක් කියයි.
සමහරවිට, ඒ ළමයා පන්තිය බාර ගුරුතුමියගේ හෝ විදුහල්පතිවරයාගේ දරුවකු විය හැකිය. ටියුෂන් නැතිව විභාග පාස්විය නොහැකි බව, මේ රටේ හෝඩියේ සිට සයිටම් දක්වාම ළමයි පිළිගන්නා සත්‍යයකි.
මේ රටේ සමහර දෙමව්පියන්ට, තමන්ගේ දරුවා අනෙක් විභාග මොනවා කරගත්තත් කමක් නැත. එහෙත්, පහේ ශිෂ්‍යත්වය නම් අනිවාර්යයෙන්ම සමත්විය යුතුය. නැත්නම් ලෝකයාට මුහුණදිය නොහැකිය. බැරි වෙලාවත්, තමන්ගෙ ළමයා පහ අසමත් වී, අල්ලපු ගෙදර ළමයා සමත් වී සිටියහොත් වැඩේ කිරිමේල්ය! ළමයා පමණක් නොව අම්මා අප්පාද හැඬූ කඳුළිනි. ඒ තරම් නින්දාවක් ඔවුන්ගේ පරම්පරාවේම සිදුවී නැත. හත් දවසක් ලිපගිනි නොදැල්වේ. ගෙදර දොර ජනෙල් නොඇරේ. ඉදිරිපස සුදුකොඩි නොදමනවා පමණි!
මගේ මිත්‍රයෙකු පැවසූ අන්දමට, සිරිලංකාවේ වැඩිහිටියන්ට, ගැහැනු ළමයකු වැඩිවිය පැමිණීමත්, පිරිමි ළමයෙකු පහේ ශිෂ්‍යත්වය සමත්වීමත් එක හා සමාන උත්සව කාරණාය. තවත් අයකුගේ මතය වූයේ පහේ ශිෂ්‍යත්වය යනු, ‘ස්කොලර්ෂිප්’ (Scholarship) එකක් නොව, ලොකු පාසලකට පැනගන්නා, ‘ඉස්කෝල-ෂිප්ට්’ එකකි!
මට හිතෙන හැටියට නම් (පුංචි පහේ මං!) සිරිලංකාවේ බොහෝ දේවල් අහෝසි කළ යුතු නැත. ඒවායේ ප්‍රමිතිය උසස් කළ යුතුය. නිදසුනක් ලෙස, එල්ලුම්ගස වෙනුවට ගෑස් කුටියක් හෝ විදුලි පුටුවක් ආදේශ කළ හැකිය.
පහේ ශිෂ්‍යත්වය ද, උපාධි මට්ටමකට (ප්‍රාථමික උපාධිය) උසස් කළ යුතුය. පහ සමතුන්ට ද උපාධි ලෝගු හා තොප්පි ලබාදී, උපාධි ප්‍රදානෝත්සව පැවැත්විය යුතුය. එවිට රටේ බුද්ධිමතුන්ගේ සංඛ්‍යාවද ඉබේම ඉහළ ගොස්, ගිනස් වාර්තාවකට යා හැකිය. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ, අනාගතයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පවා තම නමට අගින් ‘පහේ ශිෂ්‍යත්වධාරී’ වැනි ගෞරව නාමයක් යොදාගත හැකිවීමය. සිරිලංකාවේ සියලුම දරුවෝ පහ සමත්වෙත්වා! දෙමව්පියන්ගේ ‘පහේ ආතතිය’ දුරැවෙත්වා! ඉන් පසුව, රාජා භවතු ධම්මිකෝ!
►කපිල කුමාර කාලිංග