සැම්සන් මහතා තමා හඳුන්වා ගන්නේ නිර්පාක්ෂික රාජ්‍ය සේවකයකු ලෙසිනි. ඒ නිසා ඔහුට දේශපාලනයක් නැත. ඔහු පවසන අන්දමට රජයේ සේවකයා ද මැති ඇමැතිවරු වගේමය. එන එන ආණ්ඩුවේ පැත්ත ගෙන වැඩ කළ යුතුය. දේශපාලනයට නොගෑවී සිටින නිසා සේවක අරගලවලදී සැම්සන් මහතාට හොරිකඩයා යන නම ද භාවිතා කෙරේ. එහෙත් ඔහුට ඒවායේ වගේවගක් නැත.
පසුගිය දිනක සැම්සන් මහතා බස් රථයෙන් වැඩට එන අතරේ විශාල රථ වාහන පෝලිමකට මැදි විය. ඔහු අසල සිටි පුද්ගලයා කවුළුවෙන් එබී බලනු දුටු සැම්සන් මෙසේ ඇසුවේය.
“අද ට්‍රැෆික් හොඳටම වැඩියි නේද..... වාහන පෙළපාලියක්වත් යනවද?” ඒ ඇසූ අනෙක් මගියා උපහාසයෙන් සිනාසුණේය.
“නෑ නෑ... හිටපු ඇමැති කෙනෙක් එයාගේ වාහන ආපහු බාරදෙන්ට යනවා”
“මගෙ අම්මේ... එක ඇමැති කෙනෙක්ට ඔච්චර වාහන ගොඩක්...”
“නැතුව කොහොමද ජනතාවට සේවය කරන්නේ?”
ඒ ඇසූ සැම්සන් මහතා නිශ්ශබ්ද වූයේය. එහෙත් අනෙකා යළිත් කතා කරන්නට විය.
“සමහර රටවල අගමැති යන්නෙත් බයිසිකලෙන්ලු. තවත් සමහර රටවල මන්ත්‍රීවරු පාර්ලිමන්ට් යන්නේ බස් එකේ නැත්නම් කෝච්චියේ. ඉස්සර නම් අපේ රටෙත් එහෙම තමයි”
සැම්සන් සුපුරුදු පරිදිම නිශ්ශබ්දව සිටියේය. මැති ඇමැතිවරු බසයෙන් හෝ දුම්රියෙන් වැඩට යාමට ගියොත් කිසිදාක පාර්ලිමේන්තුවට වෙලාවට යාමට නොලැබෙනු ඇතැයි ඔහුට සිතුණේය. එසේම පර්මිට් වාහන ලැබීම මන්ත්‍රීකමේම වරප්‍රසාදයකි. ‘ජොබ්’ එක නැතිවූ දාට ඒ අසරණයන් කීයක් හරි හොයාගන්නේ ද වාහනය කාට හරි විකුණා ගැනීමෙනි.
ලංකාවේ සිටින අකෘතඥ බොහෝ දෙනා සිතන්නේ ඡන්දයකින් දිනූ පසු මන්ත්‍රීවරු ධන කුවේරයන් බවට පත්වන බවය. එහෙත් සෑම මන්ත්‍රීවරයකුම එසේ නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නේ ජනාධිපති අරමුදලේ ආධාරයෙනි. එතැන ඇත්තේ මහජනයාට උපකාර කිරීම සඳහා ඇති මහජන මුදල් බව සැබෑය. මන්ත්‍රීවරු යනු මහජනයාගේ මනාපයෙන් පත්වන නියෝජිතයෝය. (කලකට ඉහත නම් ඔවුහු මහජන සේවකයෝ වූහ) සිරි ලංකාව වැනි රටවල මහජනයාට වඩා ඉදිරියෙන් සිටින්නේ මහජන නියෝජිතවරුන්ය. එහෙයින් මහජන මුදල් ද තමන්ගේ දෙයක් යැයි සිතා ඔවුන් කටයුතු කිරීම පුදුමයට කරුණක් නොවේ.
එදින සවස ගෙදර ගිය සැම්සන් තම කාමරයට වී විවේක සුවයෙන් පසුවෙද්දී පිටතින් රූපවාහිනියේ හඬ ඇසුණි.
“කෝටි තිහයි ඈවරයි.... දෑවරයි”
“කෝටි හතළිහයි.. ඈවරයි... දෑවරයි”
“කෝටි පනහයි.. ඈවරයි... දෑවරයි... තුන් ඈවරයි”
ඉන්පසුව සැම්සන්ට ඇසුණේ බිරිඳගේ කෑගැසීමකි.
“ඒයි ඉක්මනට එන්න. වෙන්දේසිය නැගලා යනවා”
සැම්සන් ටෙලි නාට්‍ය බලන්නේ නැත. එහෙත් ඔහුට ටෙලි නාට්‍ය කෑලි ඇසෙයි. ඒ නැතත් පසුදින කන්තෝරුවේදී සේවිකාවන් පසුගිය දවසේ නැරඹූ ටෙලි නාට්‍ය ගැන කතා වෙනු ඇසේ. සමහරු නාට්‍ය කොටසක් මඟහැරුණු අයට එහි සිදුවූ දේවල් කියා දෙති. ඒ නිසා බොහෝ විට සැම්සන් ද ටෙලි නාට්‍ය බැලුවා හා සමානය.
මෙම දිනයේ සැම්සන් පුදුමයට පත්වූයේ බිරිඳ ඔහුට ටෙලි නාට්‍යයක් නැරඹීමට කතා කළ නිසාය. නාට්‍යයේ නම “වෙන්දේසිය” විය යුතුය. බිරිඳ නැවතත් කෑ ගැසුවෙන් ඔහු ඇඳෙන් නැගිට සාලයට ගියේය. ඔහු පුදුමයට පත්කරමින් එහි කුඩා සභාවකි. පවුලේ සාමාජිකයන් හැරුණු විට අල්ලපු ගෙදර ඇලඩින් අයියා සහ ඔහුගේ බිරිඳ මැගිලින් අක්කා ද එහි වෙති. ඔවුන් සැමදෙනා කොතරම් උද්යෝගයෙන් රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටියේද කිවහොත් ඔවුන් කිසිවෙක් සැම්සන්ගේ පැමිණීම ද දුටුවේ නැත. ඔහු එකිනෙකාගේ උරහිස්වලට උඩින් රෑපවාහිනිය දෙස එබී බැලුවේය. එහි විකාශනය වන්නේ පුද්ගලයන් වෙන්දේසි කිරීමේ දර්ශනයකි. සුදු ඇඳුමින් සැරසී සිටින කිසිවකු ජංගම දුරකතනයකින් කාටදෝ මෙසේ කියනු ඇසෙයි.
“අනේ බණ්ඩේ ඉක්මනට වරෙන්. අපි මේ උඹ එනකම් බලාගෙන ඉන්නේ. උඹේ පැත්තේ කීප දෙනෙක්ම මේ දැනුත් අපිට ආවා. මේවගේ වෙලාවක් මඟහරින්න එපා. උඹලා වගේ අය ඉදිරියට එන්න ඕන. නිකම්ම නෙවෙයිනේ. පනහක්, හැටක් හම්බ වෙනවනේ. උඹ ටිකක් ඩිමාන්ඩ් කෙරුවොත් තව ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. හරි... හරි... එහෙනම් මං තිබ්බා.. සුබ අනාගතයක්!”
එක්වරම සැම්සන්ට සිතුණේ මෙය රූපවාහිනියෙන් ප්‍රචාරය වන ලක්ෂපතියන්, කෝටිපතියන් වැඩසටහනක් බවය. ඒ සමඟම මැගිලින් අක්කා කෑ ගසමින් හක හක ගා සිනාසුණාය. සැම්සන්ගේ බිරිඳ ද අත් පොළසන් දුන්නේ පොඩි ළමයකු මෙනි. මැගිලින් තම සැමියාගේ යැයි සිතා පසුපසින් සිටි සැම්සන්ගේ බඩට අනිමින් නෝක්කාඩු ස්වරයෙන් මෙසේ කීවාය.
“තව පොඩ්ඩෙන් අපිට මේ වැඩසටහන මිස් වෙනවා. මෙයාට කොච්චර කිව්වත් ටී.වී. එක හදාගන්නෙ නෑනේ”
සැම්සන් කිසිවක් නොකියා ඇලඩින් දෙස බැලුවේය.
“හරි හරි මං හෙටම හදන්න ගෙනියනවා... කවුද දන්නේ දැන් ටෙලිවිෂන් එකේ මේ වගේ හොඳ කොමඩි ප්‍රෝග්‍රෑම්ස් යනවා කියලා...”
ඇලඩින්ගේ හඬ යටපත් කරමින් රූපවාහිනියේ හඬ උස්ව ඇසුණි.
“ඔව්.. කෝටි පනහයි. ඈවරයි.. දෑවරයි... තුන් ඈවරයි..”
සාලයේ සිටි සැවොම වේගයෙන් අත්පොළසන් දුන්හ.
“පුදුමයි නේද අනේ... කවුද හිතුවේ එයත් පනී කියලා..”
මැගිලින් නැවතත් තම සැමියාගේ යයි වරදවා වටහා ගෙන සැම්සන්ගේ අත මිරිකුවාය. මඳක් කෝපයට පත් වූ ඔහු තම බිරිඳගෙන් මෙසේ ඇසුවේය.
“මොකද්ද ඕගොල්ලේ මේ බලන්නේ?”
“මන්ත්‍රීවරු වෙන්දේසියේ විකිණෙනවා. මාර ජොලි සීන් එක..”
බිරිඳ පිළිතුරු දුන්නේ සැම්සන් දෙසවත් නොහැරීය.
“මොනවා... ඒක රූපවාහිනියෙත් පෙන්නනවද?”
“ඔව් මෙදා පාර ඒගොල්ලො ඒක කරන්නේ විනිවිදභාවයෙන් යුතුවලු.”
සැම්සන්ට පුටුවේ ඉන්දවුණි.
►කපිල කුමාර කාලිංග