මේ දවස්වල සිරි ලංකාවේ මිනිස්සු සිටින්නෙ එක එක “මූඩ්වලය” සමහරුන්ට තද වෙලාය. නැත්නම් මල පැනලාය. තවත් සමහරුන්ගේ මූණු රොස් වෙලාය. තවත් කොටසක් තුෂ්ණිම්භූත වෙලාය, හොල්මන් වෙලාය, අන්දමන්ද වෙලාය. සමහරු කහ ඉරි පනින්නට මෙන් පාරවල් අසලට වී ඒ පැත්ත මේ පැත්ත බලමින් දෙගිඩියාවෙන් පසුවෙති. තවත් කොටසක් හූල්ලති. සාප කරති. හෙණ හත ඉල්ලති. කවදා හෝ අනාගත මහාවංශයේ මෙය ලියවෙනු ඇත්තේ “අනේ අබ්ලික් මෙහෙම පබ්ලික්” යුගයක් ලෙසය. තත්ත්වය මෙසේ පවතිද්දී රුපියල ද බාල්දු වෙයි. ඩොලරය උඩ පනී. වෙඩි නොවදින රථ ජැටියට සේන්දු වෙයි.
පසුගිය දිනෙක උදෑසන වැඩට යමින් සිටින අතරේ කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු “කෝකටත් ජයසේන” ලොකු මල්ලක් ද අතැතිව ආතල් සිනාවකින් යුතුව ඉදිරියට එනු දුටු මම පුදුමයට පත්වී නැවතුණෙමි. මෙය මෙබඳු මූඩ් ඇති මිනිසුන් හමුවන කාලයක් නොවේ. කෙසේ වෙතත් අපගේ අසල්වැසි කෝකටත් ජයසේනට ඔහු කෝකටත් තෛලය මෙන් මිනිසුන්ගේ ලෙඩට දුකට පිහිටවන්නෙක් වෙයි.
“මොකද ජයසේන අද වැඩට යන්නෙ නැද්ද...”
“නෑ අද නිවාඩුවක් දැම්මා...”
“ඇයි අද මැච් එකක්වත් තියෙනවද...”
ජයසේන ක්‍රිකට් පිස්සෙකි.
“නෑ... නෑ... අද පාර්ලිමන්ට්...”
“ඉතින්...?”
“මේ දවස්වල මැච්වල වඩා ෆුල් ආතල් පාර්ලිමන්ට්. මං මේ බෝතලේකුයි, බයිට් එකකුයි අරගෙන යන ගමන්. අපේ නෝනත් කඩල තම්බනව කිව්ව. ඔයත් පුළුවන්නම් ෂෝට්ලීව් එකක් දාලා එන්න. නියම ෆන් එකක් ගත්තැකි.”
ජයසේන ජෝති ගීතයක් විසිල් කරමින් යන්නට ගියේය.
රටක පාර්ලිමේන්තුව එහි ජනතාවගේ මානසික ආතතිය නැති කර, විනෝදය සපයන සමාජශාලාවක් බවට පත්වීම ඉතා ආනන්දජනක කාරණයකි. අනික් අතට එබඳු ස්ථානයක් බිහිවිය හැක්කේ ඒ රටේ ප්‍රශ්න නැත්නම් පමණි. ඉඳින් ඒ රටේ ජනතාවද මහා වාසනාවන්තයෝය.
වාසනාවන්ත රටක මිනිසුන් මූඩ් ගසා සිටීම මානසික හා ආර්ථික විශේෂඥයන් විසින් සොයාබැලිය යුතු කාරණයකි. ඒ පිළිබඳව පුවත්පත් ලිපියක් ලිවිය යුතුයැයි සිතමින් යන අතරේ මට අප මිත්‍ර ලේඛක හා ප්‍රකාශකයකු වන මානව බන්දු මුණගැසුණි. ඔහු සිටියේ අප්සෙට් මූඩ් එකකිනි.
“මොකද බන්දු මේ දවස්වල බිස්නස් පාඩුද?...”
“බලනවකො අයිසේ, ඒ පාර අරයත් පොතක් ලියන්ඩ යනවනෙ..”
“කව්ද ඒ?”
“මෛත්‍රිපාල උන්නැහේ”
“මොන... අපේ ජනාධිපති...?”
“ඔව් අයිසේ...”
“ඉතින් හොඳයිනේ... පහුගිය දවස්වල එයාගෙ දුවත් පොතක් ලිව්වනෙ...”
“මොන හොඳක් ද... ලේඛකයන්ටයි, ප්‍රකාශකයන්ටයි කෙලවෙනවා. මේ සැරේ පොත් ප්‍රදර්ශනයේදී මිනිස්සු පෝලිම් ගැහිල ඔය පොත ගන්ඩ හදයි. සාහිත්‍ය සම්මාන ලැබෙන පොත් කැලේ.”
“ජනාධිපතිතුමාට පොත් ලිවීමේ හැකියාවක් තියෙනවද...? එයා ලේඛකයෙක් නෙවෙයිනේ.”
“මොකද නැත්තෙ... ඒ කාලෙ එයා පත්තර වාර්තාකාරයෙක්ලු. දිගටම හිටියා නම් ජනමාධ්‍යවේදියෙක් වෙන්න තිබ්බා...”
“ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න හුඟාක් නායකයො පොත්පත් ලියන්නෙ අනුන්ට කියලා... එහෙව් එකේ ජනාධිපතිතුමා තමන්ම පොතක් ලියන එක අගේ කරන්න ඕන.”
“ඒ කතාවෙත් ඇත්තක් තියනව. එතුමාට කතා ලියලා දෙන ලේකම්ලා ගැන ඒ හැටි පැහැදීමක් නැතුව ඇති.”
“රනිල් වික්‍රමසිංහ මහත්තය නම් පව් නේද...”
“ඇයි එහෙම කිව්වේ.”
“එතුමා ගැන පොතක් ලියල දෙන්ට කවුරුත් නෑනෙ. නැත්නං මෙලහකටත් ලියල අපේ තාත්තා බහුතර ඇති අගමැති කියලා.”
“ඇයි මෛත්‍රී මැඩම් ඉන්නෙ. එයා ඉංග්‍රීසි මහාචාර්යවරියක්නෙ. එයාට බැරියැ “මගේ සැමියා රනිල්” කියලා පොතක් ලියන්න.”
“කෝ ඉතින් එයාට ලියන්න ඉඩක් ලැබුණයැ ජනාධිපතිතුමා ලියන්න යන්නෙත් රනිල් ගැනලුනේ.”
“මෛත්‍රී මැඩම්වත් නොදන්න දේවල් ඒ පොතේ තියෙන්ඩ බැරි නෑ.”
“පොත තහනම් කරේ නැත්නම් හොඳට විකිණෙයි.”
“කතානායකතුමා ගැන කව්රුත් පොතක් ලියන්නෙ නැද්ද...”
“කවුරුත් ලියන්ඩ ඕනෙ නෑ. පහුගිය ටිකේ දිනේෂ් මන්ත්‍රීතුමා කරපු කතා ටික එකතු කරලා පොතක් ගැහුවොත් ඒ ඇති.”
“සිංහල සාහිත්‍යය චරිත කතාවලින් පොහොසත් වෙන එකත් හොඳ වැඩක් නේද... හොඳම චරිත කතාවට ස්වරණ පුස්තක සම්මානයකුත් දෙන්ඩ තීරණය කළොත් පුදුමයක් නෙවෙයි.
“සමහර නවකතාවලටත් වඩා පුදුමාකාර සිද්ධි ඔය චරිත කතාවල තියෙන්ඩ පුළුවන්. ඔය කතාවලින් චිත්‍රපට හැදෙන්ඩත් ඉඩ තියෙනවා.”
“එක එක රජවරුන්ගෙ නම් දාලා චිත්‍රපට හදපු එකේ ඇත්ත නම්වලින්ම හැදුවම ප්‍රේක්ෂක අවධානයක් වැඩි වැඩියෙන් දිනාගන්නට පුළුවන්.”
“ඔය චරිත දෙක තුනක් එකතු කරලා ගත්තොත් මෙගා ටෙලිනාට්‍යයකුත් හදන්ඩ පුළුවන්.”
“ඔව් ඒ නාට්‍යයට තුන්වෙනි ඉනිම කියලා නමකුත් දාගත්තැකි.”
එදින මානව බන්දු සමඟ කළ කතාබහ එතැනින් නිමාවිය. පසුව දැනගන්නට ලැබුණු පරිදි වෙනත් දිනයක ලේඛක හා ප්‍රකාශකයන්ගේ සංගමය වෙනුවෙන් මානව බන්දු දෙවෙනි අගමැති මහින්ද මහත්තයා හමුවීමට ගොස් තිබුණි. ඒ මොහොතේ ඔහු “දෙවයෝගයකින් නොවේදෝ හමු වුණේ සිරි හමු වුණේ.” යනුවෙන් ගීයක් මුමුණමින් සිටියේය. දේශපාලන කරළියේ අලුත්ම තොරතුරු කතා මෙසේ ඇසුවේය.
“දැන් හැමෝම තම තමන්ගේ චරිත කතා ලියන්ට පටන් අරගෙන. ඔබතුමාගෙ නැද්ද එහෙම අදහසක්.”
“මගේ කතාව ලියන්ඩ තව කල් තියෙනවා. මේ දවස්වල මම ළමා කතාවකුයි. ජන කතාවකුයි, ලියාගෙන යනවා. එසේ කියූ මහින්ද මහත්තයා හක හක ගා සිනා සී ඇත.
කපිල කුමාර කාලිංග