2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ආශාවමය ආදරය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 159

මේ ලෝක ධාතුව කවදා කොහොම ආරම්භ වූවාදැයි කවුරුත් නොදනිති. එහෙත් අනුමාන අනාවැකි පලකරති. නමුදු සත්‍යම කාරණය මෙය ආරම්භ වූ හැටි නොව මෙය පවත්වාගෙන යන්නේ කෙලෙසද යන්නයි. ස්වභාව ධර්මය වෙනස් වෙමින් විනාශ වීම නොව වෙනස් වෙමින් පැවතීමයි. එබැවින් වෙනස් වෙමින් පැවතීමේ රහස සොයා ගන්නේ කවුරුද ඔවුහු ස්වභාවික නියමයක් සොයාගත්තෝ වෙති. ඔරේනස් එවැන්නකි. ඔහුගේ මඟ පෙන්වීමේ ආලෝකය තවමත් කාගේවත් ජීවිතයකට හරි හැටී වැටී නොමැත. එහෙත් මිලිකා බලාපොරෝත්තු ඇතිව දෑස් දල්වාගෙන බලා උන්හ. ඔරේනස් කතා කළේය.

දරුවනි සවන් දුන මැනවැයි
හේ කීවේය.

එසේය ස්වාමීනි

ආදරය කියන්නේ සරලවම ආශාවටය. ආදරයේ ප්‍රාථමික අවස්ථාව ආශාව නම් වෙයි. එය කැමැත්ත කියා හැඳින්වූවාට කම් නැත.

ස්වාමීනී බාධා කළාට සමාවන්න. ආශාව යනු හුදු සරල අවශ්‍යතාවයක් බව පෙනෙන්නට තිබේ. නමුත් ආදරය යනු ඊට වඩා එහා ගිය අධ්‍යාත්මික තේරුම් ගැනීමක් බව අපට නිතර ඉගැන්වෙයි

කවරෙක්ද එසේ උගන්වන්නේ රනා

අපේ මවුපියන්, අපේ ගුරුවරුන් අපේ සංස්කෘතිය පඬිත්

රනා මුලින්ම අප තේරැම්ගත යුත්තේ කුමක්ද? යමක් ඇතිවීමටත් නැතිවීමටත් හේතුවක් අවශ්‍යය. අහේතුවකව කිසිවක් ඇතිවන්නේ හෝ නැතිවන්නේ නොවේ. මැජික් බලයකින් හෝ මායාවකින් කිසිවක් සිදුනොවේ. යම් යම් වෙනස්වීම් හඳුනාගන්නටත් තේරුම් බේරුම් කරගන්නටත් නෙත සහ සිතෙහි වේගය අපොහොසත් වූ පමණින් ඒවා මායාවන් ලෙස හෝ මැවීම් ලෙස තේරුම් ගැනීම බුද්ධියේ ප්‍රාථමික අවස්ථාවල සිටින්නවුන්ට සුදුසුය. එහෙත් සත්‍ය එය නොවේ. ආදරය... ආදරය...

ඔහු බරහාර ලෙස ප්‍රතිරාව කළේය.

ආදරය ඇයි? ආදරය ඇතිවූයේ කෙසේද? අප සොයාබැලිය යුත්තේ එයයි. මිල්කා දැරිය

ස්වාමීනි

ඔය ඔයගේ මව්පියන්ට පසු වඩාත් ආදරය කරන්නේ කාටද?

මිල්කා තරමක් ලජ්ජාවට පත්වූවාය. එහෙත් සෙමින් කතා කළාය.

රනා ස්වාමීනි

අගෙයි... මන්ද ඔබ ලජ්ජාවට පත්වන්නේ...

එවර රනාද ලජ්ජාවන බවක් පෙනෙයි.

දරුවෝ තොපගේ පරම්පරාවටත් තොපගේ මව්පිය පරම්පරාවටත් සාපය පැමිණියේ ඔය නිසාය. උඹලාගෙන් බොහෝ දෙනා ලැජ්ජාවකින් තොරව අ‍ෙනකාට ඉරිසියා කළහ. ලජ්ජාවකින් තොරව වනචාරී වැඩ කළහ. හොරකම් කළහ. මිනී මැරූහ. කුලල් කා ගත්හ. පිනි පිට කිසිදු ජීවියෙකු අවම තරමින් තිරිසනෙකු පවා නොකළ මනා සියල්ල තොපී කිසිදු ලජ්ජාවකින් තොරව සිදුකළාහුය. එහෙත් අනිවාර්යයෙන්ම කළ යුතුම පූජාවක් වස් ආදරය කරන්නට ලජ්ජා වූහ. බිය වූහ. තහංචි දැමූහ. නොකළ යුතු අමන අධම අශීලාචාර සියල්ල එළිපිටම කරමින් ආදරය හැංගි හැංගි හොරෙන් කළහ. තව මදිවාට ආදරය යනු ගැඹුරැ අධ්‍යාත්මයකැයි පාරම් බෑහ. මැත දොඩවූහ. ආදරය කදිම යැයි කීහ. පූජනීය යැයි කීහ. අනුපමේය යැයි කීහ. අචින්ත්‍යයැයි කීහ. එහෙත් හොර රහසේ කළහ. රනා... මිල්කා... ආදරය යනු අසැබියක් නොවේ. තොපගේ භාෂාවකින් කිවහොත් ආදරය යනු කුණුහරැපයක් නොවේ. එය දෙවියන්ගේ භාෂාවයි. ආදරය යනු දෙවියන්ගේ පූජාවයි. ආදරය යනු දෙවියන්ගේ ප්‍රාර්ථනාවයි. ආදරය කරන්නට කිසිවෙකුත් කිසිවිටක නොබිය විය යුත්තාසේම හැකි සෑම විටකම ආදරයෙන් ජීවත් විය යුතුයි

රනාගේත් මිල්කාගේත් මුහුණු පියුම් සේ පිපී එනු ඔරේනස්ට පෙණින.

ස්වාමීනී ගැටලුවක්...

කියන්න රනා

ස්වාමිනී ගමනක් බිමනක් යාමේදී මාගේ අතේ එල්ලීගෙන යාමට මිල්කා ප්‍රිය කරයි

කදිම පුරුද්දක්

ස්වාමීනි ඒ දෙස අනෙක් මිනිසුන් වපරුසින් බලන්නේ ඇයි. මේ නිසා අප තුළ ලජ්ජාවක් හට ගන්නවා. අප නොහොබිනා උන් සේ හඳුන්වනු අපට ඇසෙනවා

ඔරේනස් සිනාසුනේය.

රනා ආශාව යනු ආදරය. ආදරයේ ඊළඟ අවස්ථාව ස්පර්ෂයයි. ආදරය කරනා දෙදෙනෙකු ස්පර්ශයෙන් ලබා ගන්නා යමක් වේද එයම නැවත ආදරයයි. ශිෂ්ටවත් මගතොටක සමාජයක හැසිරිය යුතු ආකාරය අප කවුරැත් දැන සිටිය යුතුයි. එහෙත් තමන් ආදරය කරනා අයෙකුගේ අතකින් අල්ලා ගැනීම කොතැනකදී වුව නොහොබිනා දෙයක් නොවේ. ගැටලුව ඇත්තේ උඹලාගේ නොවේයි රනා. ගැටලුව ඇත්තේ උඹලා දෙස බලන අය තුළයි. නුඹලා අල්ලාගෙන යන්නේ අතට අතයි. එහෙත් බලන කෙනා බලන්නේ අත නොවේ. ඔවුන් හිතින් නුඹලාවන් ඔවුන්ගේ යම් යම් අයවත් හිතින් ස්පර්ශ කරයි. නුඹලා දෙදෙනා අතිනත ගෙන මහ මඟ යද්දී නුඹ දෙස බලනා අයවලුන් සිතින් නුඹලාගේම වෙන මොකක්දෝ එකක් අල්ලාගෙන යයි. ඔවුන් කෑ ගසන්නේ නුඹලාට නොවේ. ඔවුන් ගැන කැත හිතී, ඔවුන් ගැන දුක හිතී, ඔවුන්ගේ වනචර කම් ගැන කිපී ඔවුන්ටමය. ඔවුන් සිනා සෙන්නේ ඔවුන්ටමය. වැටහුණිද රනා

එසේය ස්වාමීනී

ගැටලු තියේද මිල්කා

ස්වාමීනි ආදරය යනු කුමක්දැයි හරි හැටි පවසන්න

මුලින්ම අවධානයෙන් මතක තියාගත යුතු කාරණය නම්, ආදරය යනු ආදරයයි. එයට රටාවක් නැත. පිළිවෙළක් නැත. නීතියක් නැත. ආදරයේ පිළිවෙළ ආදරයයි. ආදරයේ රටාව ආදරයයි. ආදරයේ නීතිය ආදරයයි. ආදරයේ පරභර්තය ආදරයයි. ආදරයේ වරද ආදරයයි. ආදරයේ විඳවීම ආදරයයි. ආදරයේ වින්දනය ආදරයයි. ආදරයේ සිල්ලක්ම ආදරයයි
අසා සිටින්න. ඔරේනස් හරි බැරි ගැසී හිඳ ගත්තේය.
 

(ලබන සතියට)
l සමන් එදිරිමුණි