2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දේශන එපා. ආදරය කරන්න

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 247

ජීවිතය පරාජය කරගෙන නගින මරණය යළිත් ජීවිතය විසින් පරාජය කරනු ලබයි. ජීවිතය අනිත්‍ය වන තරමටම මරණය ද අනිත්‍ය වනු ඇත. ජීවිතය හා මරණය පරාජය කරනු ඇත්තේ සෞන්දර්ය විසිනි. සෞන්දර්ය යනු සනාතන ධර්මතාවයකි. සෞන්දර්ය නොදැකිය හැකි මිනිසුන් ජීවිතය කල්පිත ජීවන ශෛලියක හෝ නිත්‍ය  මරණය තුළ ජීවිතය සොයනු ඇත. ජීවිතය ඇත්තේ කොතැනකදැයි කිසිවකුටත් පැවසිය නොහැක්කේ මේ නිසාවෙනි. ආදරය යනු සෞන්දර්යයි. 

ආදරය ජීවිතය ඉක්මවා ගිය සංකල්පයක් වන්නේ මේ නිසාවෙනි. ආදරය ඇති විටෙක ජීවිතය පරිපූර්ණ හැඟීමකින් පීරී යනු ඇත. ආදරය රැගෙන එන්නේ ජීවිතයයි. සියලු මිනිසුන් ගැහැනුන් මෙන්ම සතා සිව්පාවා පවා ආදරය තුළින් වෙනස් කළ හැක්කේ ඒ නිසාවෙනි. අපි අජීවීයැයි සලකන ගස් වැල් පවා ආදරයට වෛරයට ප්‍රතිචාර දක්වන බව පර්යේෂණ තුළින් ඔප්පු කර ඇත. එහෙත් අප අමතක වන කාරණයක් වන්නේ අප ආදරයට පාත්‍ර වනවා සේම අපේ ආදරයට අනෙකා පාත්‍ර විය යුතුය යන අත්‍යවශ්‍යම කාරණයයි.

පුජකයන්ගේ ජීවිත කාලයක දේශනාවලට වඩා ළමයෙකුට ආදරය වැදගත් වේ. ලෝකයේ ඇති බොහෝ තකතිරුවම්කම්වලටත් අපරාධයන්ටත් අන්ධභාවයන්ටත් ආදරය ප්‍රතිකර්මයක් වන බව වසර දෙදහස් පන්සීයක් තිස්සේ අපි දේශනා කරමින් සිටිමු. එසේම එම දේශනාවන් දවසේ පැය විසිහතර තුළ වැඩි වාර ගණනක් අසමින් අප නැවත නැවතත් නරුමයන් ලෙස කාලය ගත කරමු.

අධි පාරිභෝජන ධනවාදය විසින් අප රට තුළත්  ෂයිලොක්  පරපුරක් බිහිකර ඇත. අනෙකා වෙනුවෙන් ආදරයෙන් බිඳක් දන් දීමට නොහැකි මිනිසුන් සහ ගැහැනුන් පන්සල් පල්ලි අසල දහස් ගණන්වලින් දන් දෙන අයුරු සුලභ වී ඇත. මිනිසුන් දෙවන ආත්මයක් වෙනුවෙන් මේ ආත්මය අවුල් කරගෙන ඇත. පැවැත්ම තුළ නොව සංකල්ප තුළ ජීවිතය සොයමින් වැලි කතරවල ජීවිතය අතරමංකර ඇත්තේ මේ නිසාවෙනි. පියදොර් දොස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම කියවා තේරැම් ගත් කිසිවෙක් තවතෙක් අපරාධකරුවෙක් කිරීමට ඉක්මන් නොවනු ඇත. රෝහල් තුළ ළමා වාට්ටුවට ඇතුළු කිරීමේ වයස වන්නේ අවුරුදු දහහතර දක්වා වූ කාලයයි. ළමා විය යනු නිරන්තරයෙන් විශේෂ රැකවරණයත්, ආදරයත් ලැබිය යුතු හෙයිනි. ජීවිතයක අනාගතය දිශා ගත කිරීමට  ළමා කාලයේ අත්දැකීම් බලපානු ලබයි. මහා කවි මිල්ටන්ට අනුව උදෑසන දවස පෙන්නුම් කරනාවාක් මෙන් දරුවා පෙන්නුම් කරනුයේ මිනිසාය. එනම් ළමයා යනු මිනිසාගේ පියා ලෙස හැඳින්වුව ද එය වරදක් නොවේ. එබැවින් දරුවන් යහමඟ යැවීමට අවශ්‍ය නම් ඔවුන් ප්‍රීතිමත්ව තැබීම අත්‍යවශ්‍ය වේ. ප්‍රීතිය නිර්මාණය කිරීමේ වගකීම ඇත්තේ පළමුව මව්පියන්ටත් දෙවනුව ගුරුවරුන්ටත්, තෙවනුව අනෙක් පාර්ශවකරුවන්ටත්ය. කෙසේ වුවද මාපියන් ගුරුවරුන් තරම් අනාගත මිනිසුන්ට බලපෑම් කළ හැකි කිසිවෙක් නොමැත. අනාගතය නිවැරදි කළ හැක්කේ මාපියන්ට සහ ගුරුවරුන්ටය. අනාගතයේ දේවදූතයන් හෝ මාරදූතයන් ලෙස නිර්මාණය වන්නේ දරු පරපුරයි. වමනය දැමූ සිසුවිය දරුවකු ලැබීමට ඇතැයි සිතා පාසලෙන් නෙරපූ නිසාවෙන් ලිංගික ප්‍රශ්න අවසන් වන්නේවත්, පාසල් දියණියක් සොරෙකු ලෙස හංවඩු ගැසු නිසාවෙන් සොරකම අවසන් වන්නේවත්, ඒඩ්ස් ඇතැයි සිතා පාසලෙන් දරුවන් අස්කළ නිසාවෙන් ඒඩ්ස් බොවීම නවතින්නේ නැති බවත් තේරුම් ගත නොහැකි මඟපෙන්වන්නන්ට ජාතියක් නිර්මාණය කිරීමේ වගකීම පැවරිය හැකිද? යන ගැටලුව මතුවේ.

අපරාධකරුවන් ද ළමා කාලයක් තිබූ මිනිසුන් බව අමතක නොකළ යුතුය. තමන් පෙළනු ලැබූ පීඩාවන් කෙළවර අපරාධකරුවන් බවට පත් මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ කතා අසමින් අප නිර්මාණය කරනුයේ එවැනි මිනිසුන්ය. පියදෝර් දොස්තොව්ස්කිගේ සාහිත්‍ය නොකියවූ මිනිසුන් අඩුම තරමේ පන්සිය පනස් ජාතක කතා පොතවත් කියවා තිබිය යුතුය. ලෝකයේ විවිධත්වයට හේතුව මිනිසුන්ගේ ප්‍රතිචාර දැක්වීමේ විවිධත්වයයි. මානවයා මෙතරම් දියුණුව කරා යන්නේ ද මේ ප්‍රතිචාර දැක්වීමේ වෙනස්කම් නිසාවෙනි. ආදරයට සියලු දෙනා එකලෙස ප්‍රතිචාර දක්වන්නේ මානවයා තරම් ආදරයට කෑදර වෙනත් සත්ත්වයකු නොමැති නිසාවෙනි. එහෙයින් ආදරයේ පාඩම උගන්වා අනෙක් පාඩම් උගන්වන්නේ නම් අනාගත ලංකාව වෙනස් කළ හැකි වනු ඇත.

ජාතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ආගමට කළ නොහැකි බොහෝ දේ මව්පියන්ට සහ ගුරුවරුන්ට කළ හැකිවන්නේ ඔවුන් සෘජුවම දරුවන් සමඟ ගනුදෙනු කරන නිසාවෙනි. පවුල් සහ පාසල ජීවිතයේ අනිවාර්යය ආයතන දෙකකි. මේ තුළින් නිර්මාණය කරනුයේ ජීවිතයේ වැදගත්ම අවධියයි. යම් රටක සමාජ දේශපාලන සංස්කෘතික ගැටලු වැඩි වන්නේනම් ඒ රටේ පවුල් සංස්ථාවත්, පාසලත් ඒ සඳහා වගකිව යුතුයි.

►වජිර කාන්ත උබේසිංහ