2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ගෝලීයකරණය හා සමාජ නව්‍යකරණය

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 16801

ගෝලීයකරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි විස්තර කිරීම එතරම් සරල නොවන්නේ ගෝලීයකරණය එතරම්ම සංකීර්ණ ක්‍රියාදාමයක් වන නිසාවෙනි. එසේම මෙම සංක්ලපය භාවිතය පිළිබඳව ඇති විවිධාර්ථයන් නිසාවෙන් මෙම සංකල්පය තේරැම් ගැනීම තව දුරටත් අපහසු කර ඇත. කෙසේ වුවද ගෝලීයකරණය යන සංකල්පය නිර්මාණය වන්නේ 1940 වැනි කාලයක භෘවිතයට ගැනුණු  විශ්වීය හෙවත් ගෝලිය යන සංකල්පය පදනම් කර ගනිමිනි. වර්තමානය වන විට ගෝලීයකරණය පිළිබඳව භාවිත වන  ප්‍රධාන මතවාද කීපයක් හඳුනාගත හැකි වේ.

ජාත්‍යන්තරකරණය යන්න තුළින් ගෝලීයකරණය විස්තර කිරීම බහුලව දැකිය හැකිය. මේ තුළින් පෙන්නුම් කරන්නේ අන්තර්ජාතික පරායත්තතාව හෙවත් රාජ්‍යයන් එකිනෙකා මත රැඳී සිටීමයි. තවත් අතකින් ගෝලීයකරණය යනු ලිබරල් කරණය ලෙස ද භාවිතා කිරීමට සමහරු පෙළඹී සිටිති. ඔවුන්ට අනුව ගෝලීයකරණය ක්‍රියාදාමය තුළ සීමා රහිත ලෝක ආර්ථික රටාවක් හා ආර්ථික ඒකාබද්ධතාවයක් අදහස් කරනු දැකිය හැකියි. ලෝකය තුළ සිදුවන දේ පෘතුවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යප්ත කරලීමේ ක්‍රියාදාම ගෝලීයකරණය ලෙස සමහරුන් වර නැගීමට කැමති වෙති. අනෙක් පැත්තෙන් ගෝලීයකරණ විරෝධී කණ්ඩායම් බටහිරකරණය නැමති අදහස් තුළින් ගෝලීයකරණය විස්තර කිරීමට උත්සාහ ගනිති. කොසේ වුවද අමෙරිකානුවන් මෙම සංකල්පය තුළ දකින්නේ නව්‍යකරණය වැනි අදහසකි. ඒ තුළින් කාර්මීකරණය නව අදහස් මෙන්ම නව සංස්කෘතිකාංග පැතිරීම වැනි අදහසක් ඉස්මතු කරවනු ලැබේ. එසේම භූමිය පිළිබඳව වූ සීමාවන් අතික්‍රමණය වීමේ ක්‍රියාවලිය ගෝලීයකරණය ලෙස විස්තර කිරීම ද දැකිය හැකිය. කෙසේ වුවද ගෝලීයකරණය පිළිබඳව ඇති නිර්වචනයන් වෙනස් වීම අප බලාපොරොත්තු විය යුත්තකි. මක් නිසාද යත් සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් සිදු වන ලෝකය හැකිලීමේ ක්‍රියාවලිය තුළ ඇති වන වර්ධනය විවිධාකාරයෙන් නව්‍යකරණය වන නිසාවෙනි. ගෝලීයකරණ ක්‍රියාවලිය ආර්ථික තාක්ෂණික ක්‍රියාවලියක සිට සමාජ දේශපාලන සංස්කෘතික වැනි පුළුල් අංශයන් කරා ව්‍යාප්ත වීම නිසා බොහෝ නිර්වචනයන් වඩා ආන්තික ස්වරූපයක් ගෙන ඇත. 1980 දශකය වැනි ඈත කාලයක විශ්ව ගම්මාන සංකල්පයත් ඒ සඳහා වූ සන්නිවේදන තාක්ෂණය වර්ධනයත් පදනම් කර ගනිමින් ගෝලීයකරණය විස්තර කළ ද අද වන විට සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් සමස්ථ  විශ්වයම තුළ ඇති සබඳතාවල ස්වරෑපයන් පරිවර්ථනය වෙමින් පවති.

වෙනත් විශ්වයක පවතින ජීවය පිළිබඳ ප්‍රවෘත්තියක් හා ඔවුන් සමඟ පෘතුවි ග්‍රහයා පවත්වන සබඳතා අනාගතයේ සිදුවිය හැක්කක් ලෙස පිළිගැනෙන මෙවැනි අවධියක ගෝලීයකරණය පිළිබඳ අදහස තවදුරටත් වෙනස් විය හැකි වේ. මේ නිසා අප වර්ථමානයේ තේරුම් ගතයුතු සත්‍යය වන්නේ මෙම ක්‍රියාදාමය තුළ අපගේ අනන්‍යතාවය ක්‍රියාත්මක වන ආකාරයත් අප රටක් ලෙස ඉදිරි වසර තිහ හතළිහ තුළ මෙම ක්‍රියාදාමය සමඟ ගැලපෙන ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්නය. මේ සඳහා ගෝලීයකරණය ක්‍රියාවලි පිළිබඳ පුළුල් අවබෝධයක් අප විසින් ලබා ගත යුතු වේ. විශේෂයෙන් රටක උපායමාර්ගික ප්‍රත්පත්ති සම්පාදනයෙදී ගෝලීයකරණය පිළිබඳව අපට ඇති තක්සේරුව වඩා නිවැරදි ප්‍රත්පත්ති සම්පාදනයටත් ආර්ථීක හෝ ද්වි පාර්ෂ්වික ගිවිසුම්වලට එළඹීමට මෙන්ම ආර්ථික දේශපාලන ප්‍රත්පත්ති තීරණය කිරීමේදීත් ගෝලීයකරණයේ හෙට දවස පිළිබඳ පුරෝකථනයක් අවශ්‍ය වේ.

සමාජ සන්නිවේදනය යනු ඕනෑම සමාජයක් තුළ ඇති සන්නිවේදන ක්‍රියාදාමයයි. ඒ අනුව සෑම සමාජයක්ම එකිනෙකට වෙනස් සන්නිවේදන ක්‍රමවේදයන් භාවිත කරමින් සමාජ සන්නිවේදනය සිදු කරනු ලබන්නේ සමාජීය පුරවැසියා සමාජ අරමුණු සමඟ ගලපා ගැනීම වෙනුවෙනි. මෙය සමාජානුයෝජනය ලෙස විස්තර කර ඇති නමුත් වඩාත් නිවැරදි වන්නේ පවතින සමාජ තත්ත්වයන්ට ගැලපෙන පුරවැසියකු නිර්මාණය කර ගැනීමයි. සමාජ සන්නිවේදනයේ පදනම වන්නේ පවතින දේ සන්නිවේදනය කිරීමයි. සිරිත් විරිත් ඇගයුම් සංස්කෘතිකාංග පමණක් නොව විවිධ සමාජ සංවිධානයන් සමාජ සන්නිවේදනය වෙනුවෙන් පෙනී සිටිති. සමාජ නව්‍යකරණයේදී සමාජයක් සතු සමාජ සන්නිවේදන ක්‍රමවේදයන් පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වන්නේ සන්නිවේදනය සමාජ ක්‍රියාකාරීත්වයේ පදනම වන බැවිනි.

සමාජ නව්‍යකරණය යනු යම් සමාජයක් තුළ ඇති ගැටලු විසඳා ගැනීම සදහා අලුත් ආකාරයකට. සිතන සමාජයක් නිර්මාණය කර ගැනීමයි. වර්තමානයේ අප මුහුණ දෙන ගැටලුව වන්නේ උගතුන් යැයි අප විශ්වාස කළ මිනිසුන්ට අපගේ හෙට දවස වෙනස කිරීම සඳහා සැලසුමක් හෝ අදහසක් නොමැති බව දිගින් දිගටම තහවුරු කිරීමයි. විශේෂයෙන් අපගේ නියෝජිත ප්‍රජාත්‍රන්ත්‍රවාදී මැතිවරණවලින් අප පත් කළ නායකයන් පවා තම අසරණභාවයන් ජනතාව ඉදිරියේ පවසන විට ජනතාවට දැනෙන හැඟීම පිළිබඳ සිතා ගත නොහැක. මේ සමාජය නව්‍යකරණයක් ඉල්ලා සිටියේ මීට දශක කීපයකට කළින් වුවද මෙම නව්‍යකරණය ලබා දීමට තබා ඒ පිළිබඳව තේරුම් ගැනීමටවත් පැවති පාලනයන්ට නොහැකි විය. පොතේ උගතුන් විසින් නිර්මාණය කළ විසඳුම් තව දුරටත් වලංගු නොවන නිසාවෙන් දැන් අවශ්‍ය කරනුයේ අධිපතිවාදී පොතේ උගතුන් වෙනුවට සංවාදයට බිය නැති නිරහංකාර උගතුන් පිරිසකි. බැංකු අධ්‍යාපනය විසින් තැන්පතු ලෙස ගබඩා කළ දැනුම තව දුරටත් සමාජ ගැටලු විසඳීමට භාවිත කිරීමට නොහැකි ලෙස යල් පැන ගොස් ඇත. සන්නිවේදනය විසින් ඇති කළ ලෝක තත්ත්වයන් තුළ වෙබ් බ්‍රවුසරයන් තුළ ගබඩා කළ දැනුම හා තොරතුරුවලින් දශමයක්වත් අපගේ යුගයේ උගතුන්ගේ මතකයේ තිබිය නොහැක. එවැනි යුගයක උගතුන්ට වඩා  නව්‍යකරණයේ යෙදෙන්නන් ඉදිරියෙන් සිටීම වළක්වා දිය නොහැක්කේ ඔවුන් අපගේ කාලය ඉක්මවා ඉදිරියෙන් සිටින නිසාවෙනි. වෙනත් රටවල මෙවැනි බුද්ධිමතුන් සමාජය විසින් රැක බලා ගනිද්දී අප අධ්‍යාපන ක්‍රමය ඇතුලු සියළුම සමාජ ආයතන සිදු කරනුයේ මෙවැනි නව්‍යකරණයේ යෙදෙන්නන් විනාශ කිරීමයි. නැතහොත් මෙවැනි මිනිසුන් මතුවීම වැළැක්වීමයි.

සමාජයක් නව්‍යකරණය කිරීම පහසු නොවන්නේ සම්ප්‍රදායන්, පෙර සිරිත, සාම්ප්‍රදායික අදහස්, පැරැණි ආයතන ව්‍යූහයන් හා පවතින ධූරාවලින් විසින් ඇති කොට ඇති බලපෑමයි. සමාජයක් වෙනස් කිරීම සඳහා වෙනස් අදහස් ක්‍රියාවට නැංවිය හැකි දේශපාලන ව්‍යූහයක් ගොඩ නගා ගැනීම සමාජ නව්‍යකරණයේ මුලින් සිදු විය යුත්තකි. සමාජයක් නව්‍යකරණය වනුයේ චක්‍රලේඛන කටපාඩමින් කියවමින් සංස්ථාපිත විසඳුම් සොයන නිලධාරීන්ගෙන් නොව වෙනස් ලෙස ගැටලුව විග්‍රහ කරගත හැකි මිනිසුන්ගෙනි. මෙවැනි මිනිසුන්ගේ තීරණ අවදානම නොතකා භාර ගැනීමත්, ක්‍රියාවට නැංවීමත් අප කල්දමනතාක් කල් අපට මෙම සාම්ප්‍රදායික මඩ ගොහොරුවෙන් නැගී සිටීමට නොහැකි වනු ඇත.

ගෝලීයකරණය තුළ ඇති ධනාත්මක හා ඝෘනාත්මක ලක්ෂණයන් පිළිබඳව ඇති අවබෝධය සමාජ නව්‍යකරණයේදි සැලකිල්ලට ගත යුතු දෙයකි. එක් පැත්තකින් දේශීය තාක්ෂණය කෙරෙහිත් දේශීය චින්තනය කෙරෙහිත් ඇති විශ්වාසය අනාගත ලොකයේ වෙනස් වීම් සමඟ සමපාත කරමින් නිර්මාණය කර ගන්නා නව දැනුම් පද්ධතියකින් ලංකාව තුළ ඇති අධිපතිවාදී සංවර්ධන ආකල්පයන් වෙනස් කර ගනිමින් වෙනස් සංවර්ධන අපේක්ෂාවන් දැල්විය හැකි විය යුතුය. තම රටේ පුරවැසියන්ට සාමය සමෘද්ධිය සතුට දායාද කළ සියලු රටවල් සංවර්ධනය පිළිබඳ ස්වකීය අරුත් නිර්මාණය කර ගත් අය වෙති. ඩෙන්මාර්කය, නොර්වේ, පින්ලන්තය වැනි රටවල දැකිය හැකි පොදු ලක්ෂණය වන්නේ මෙයයි. ගෝලීයකරණය ගැටලුවක් නොවන්නේ මෙවැනි සංවර්ධනයක් අත් කර ගත් රටවලටය. 

වජිර කාන්ත උබේසිංහ

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00