මම පහුගිය දවසක මම කෝච්චියේ වාඩිවෙලා ඉන්නකොට මගේ මූණ ඉස්සරහා අයියා රට කජු කනවා. එයා රට කජු කනවා පොත්ත බිම. ඔන්න රටකජු කාලා ඉවරයි. එයා ගත්තා කොළේ පොඩිකලා දැම්මා ජනේලයෙන් එළියට. කිසි කතාවක් නෑ.
දැන් එයාගේ ඉස්සරහා කාපු රටකජු පොතු. ඇඟේ පොඩි පොතු කෑලි ටිකකුත් තිබ්බා. ඇඟේ තිබ්බම කැතයිනේ. ඔන්න ඒකත් ගසලා හැලුවා බිමට. කෝච්චිය ඇද්දා පොතු ටික හැම තැනම. ඇත්තටම අපි කොයි තරම් පහළ මට්ටමක ප්‍රජාවක්ද? මේ අපි හැමෝම යන දුම්රිය එහෙම කැත කරන්නේ කොහොමද? ඒතරම් මිනිස්සු පිරිහිලා.
බලන්න මේ ලංකාවේ කිසිම පොදු වැසිකිළියකට යන්න පුළුවන්ද? බෑ. ඔන්න පළවෙනි එකා යනවා, මුත්‍රා කරනවා, වතුර නොගහා එනවා. දෙවනි එකා යනවා ඇතුළේ ගඳ නිසා දොර ගාව ඉඳලා ඇතුළට මුත්‍රා කරලා එනවා. ඊට පස්සේ තුන්වෙනි එකාට අහලක යන්න බෑ. ඌ එළියේ ඉඳලා මුත්‍රා කරලා යනවා. අන්තිමට වතුර නෑ පළාතම ගඳයි. කාලයක් යනකොට මේක අපවිත්‍ර වෙලා පාවිච්චියට ගන්නත් බෑ. මේ වතුර නොගහන්නේ වතුර නැතිව නෙමෙයි. වතුරත් තියෙනවා. වතුර ගහන්න කියලා ලියලත් තියෙද්දියි වතුර දාන්නේ නැත්තේ. ඇයි? හරි කම්මැලියි.
ඒ විතරද බලන්න ඔය කුණු දාන තැන්. කුණු බක්කියේ ඉඳලා මීටර් පහක වගේ වපසරියක කුණු. ඇයි ළඟට ගිහින් දාන්න කම්මැලිකම. ඒ නිසා ඈත ඉඳලා විසිකරලා යනවා. ඉතිං වටේම කුණු. යන්න ඔය සඳුදා දවසට වගේ උදේක ගෝල්ෆේස් එකට. අහලක යන්න බෑ කුණු. කොටින්ම තමන්ගේ ගෙදර කුණු පාරට විසි කරලා යන ජාතියක් ඉන්න අභිමානවත් රටක්.
ඇහුවොත් අලි ලොකු සංස්කෘතියක් තියෙන්නේ. කතා කළොත් සුද්දා පස්ස කොළවලින් පිහිදනකොට අපි වතුර දාලා හේදුවේ. එහෙම පිරිසිදු ජාතියක් කියලා උදම් අනන්නේ. ඒ විතරක්ද සුද්දා කොළ අතු අඳිනකොට අපේ රජවරු හිටියේ කියලත් කියනවා. ඒත් ආත්මෙකට විනයක් ගෑවිලා නෑ. එහෙව් විනයක් නැති උන් රටවල් වල ගිහින් ඇවිත් කියනවා බලන්න එපැයි ඒ රටවල් වල පිළිවෙල කියලා. ඒ රටවල පිළිවෙල නෙමෙයි ඒ රටවල මිනිස්සු පිළිවෙලයි.
දැන් බලන්න ඇමති කෙනෙක්ට ඉක්මනට යන්න ඕන වුණාම යන්නේ විරුද්ධ පැත්තෙන් නැත්තන් පේමන්ට් එකෙන්. මේ නීති හදන මිනිස්සු. එහෙව් මිනිස්සු එහෙම හැසිරෙනකොට රටක් හදන්නේ කොහොමද?
ඒ නිසා මේ රට හදන්න විනයක් ඕනේ. ඒ වගේම සැමට සමාන නීතියක් ඕනෙ. එහෙම නැතුව මේ රටේ මිනිස්සු හදන්න බෑ. හදන්නෙත් නෑ. දැන් මේක කිව්වා කියලා මිලිටරි පාලනයක් ඉල්ලුවා කියලා හිතන්න එපා. හිට්ලර් කෙනෙක් ඉල්ලුවෙත් නෑ. ඉල්ලන්නේ නිවැරදි පාලනයක්. ඒ වගේම රටේ මිනිස්සුත් මීට වඩා ආදරයෙන් මේ පරිසරය ගැන හිතන්න ඕනේ.
ස්වභාවධර්මයා ගැන හිතන්නේ නැති එකා කවදාවත් රටට ආදරේ නෑ. පපුවට නෙමෙයි පස්ස පොළවේ ගහගෙන කිව්වත් පරිසරය විනාශ කරන එකා මේ භූමියට ආදරයක් නෑ. ඒ නිසා උන්ව හරි පාරට ගන්න නම් උන්ගෙන් පසුව බිහිවෙන පරම්පරාවල් මේ භූමියට ආදරේ කරන ජාතියක් කරවන්න ඕන. එහෙම නොවුණොත් ගොඩක් උන් මේ පොළොවේ මියයන්නේ ස්වභාවධර්මයාට සාප කරලා. ඒ නිසා හැම මොහොතෙම ඔබේ ශරීරය වගේ අවට පරිසරයක් ලස්සනට තබාගන්න මැදිහත් වෙන්න.
►මම බ්‍රෝ