2018 ජුනි 22 වන සිකුරාදා

මහනුවර පොත් ප්‍රදර්ශනය 27 දා සිට ජූලි 1 දා තෙක්

 2018 ජුනි 22 වන සිකුරාදා, පෙ.ව. 12:10 101

ඓතිහාසික මහනුවර පුරවරයේ පාඨක සහෘදයා හට මහඟු අවස්ථාවක් උදා කරමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ‘මහනුවර පොත් ප්‍රදර්ශනය 2018’ ලබන 27 වැනි දින සිට ජූලි මස පළමු වනදා දක්වා, උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. දිවයිනේ නන් දෙසින් පැමිණෙන පොත් ප්‍රකාශකයින්ගේ අළෙවිසල්වලින් සපිරුණු මහනුවර පොත් ප්‍රදර්ශනය මෙවරත් සුවිසල් විෂය පරාසයකින් යුත් ග්‍රන්ථ රාශියකින් සමන්විතය.

ආගමික සාහිත්‍ය, අධ්‍යාපනික, නවකතා, ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන යන ප්‍රභේදයන් යටතේ අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ප්‍රදර්ශනයේ ඇතුළත් වන අතර ඒ සඳහා 20% දක්වා වට්ටම් ලබා දීමට එම ප්‍රකාශකයෝ සූදානම්ව සිටිති. එමෙන්ම ශ්‍රී ලාංකේය පාඨකයන්ගේ අභිරුචිය සන්සුන් කරගැනීමෙහිලා සංවිධාන කෙරෙන මෙම කර්තව්‍යය සඳහා අනුග්‍රහය දැක්වූ සියලුම පාර්ශ්වයන් හට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මෙයින් සිය ස්තූතිය පළකර සිටියි. සමුද්‍රා පොත් ප්‍රකාශකයෝ මෙහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සරසවි, අකුර, එම්.ඩී. ගුණසේන සහ ගොඩගේ පොත් ප්‍රකාශකයින් විසිනි.

මහනුවර පොත් ප්‍රදර්ශනය සඳහා විජිත යාපා පොත්හල, ආශිර්වාද, පැන්තර් සහ වාසනා ප්‍රකාශකයින් රන් අනුග්‍රාහකත්වය සපයන අතර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් ආයතනය මඟින් ලබාදීමට නියමිතයි. කඳුරට ගුවන් විදුලි සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නිල ශ්‍රව්‍ය මාධ්‍ය දායකත්වය ලබාදෙන අතර නිල සන්නිවේදන සහකරු වශයෙන් නොර්ත්වුඞ් කන්සල්ටින් පෞද්ගලික සමාගම කටයුතු කරයි. මෙම කර්තව්‍ය සඳහා සම සංවිධාන දායකත්වය දක්වන්නේ කැන්ඩි සිටි සෙන්ටර් විසිනි.

එපමණක් නොව ප්‍රදර්ශනය ආරම්භක දින සිට අවසාන වන තෙක්ම සාහිත්‍ය කෙත පෝෂණය කරන්නට මතු උරුමකම් කියන්නා වූ දුවා දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් ඔප් නැංවනු වස් ඉදිරිපත් කිරීම් රාශියක් වැඩසටහන් පෙළගැස්මේ ඉදිරියෙන් පවතී. ඒ අනුව 27 වැනි දින පස්වරු 4 සිට 5 දක්වා ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ භක්ති ගීත ඉදිරිපත් කිරීමද, 28 වැනි දින උදෑසන 10 සිට මධ්‍යහ්න 12 දක්වා මහනුවර පුෂ්පදාන බලිකා වාද්‍ය වෘන්දයේ ඉදිරිපත් කිරීමද, පස්වරු 1.30 සිට 2.30 කටුග ස්තොට රාහුල විද්‍යාලීය වාද්‍ය වෘන්දයේ ඉදිරිපත් කිරීමද, එදිනම පස්වරු 3 සිට 5 දක්වා මහනුවර උසස් බාලිකාවන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම 29 වැනි දින පස්වරු 4.30 සිට 5.30 දක්වා හේමමාලි බාලිකාවන්ගේ වාද්‍ය ඉදිරිපත් කිරීමෙන්ද ජූලි මස පළමු වන දින පස්වරු 3 සිට 4 දක්වා මහනුවර මහාමායා බාලිකාවන්ගේ වාද්‍ය ප්‍රසංගයෙන්ද මෙම අවස්ථාව කලඑළි ගැන්වීමට නියමිතයි.

මෙම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් අතරතුර ශ්‍රී ලාංකේය ග්‍රන්ථ සාහිත්‍යයේ හෙට දවස පිළිබඳ විද්වත් කතිකාවත් කීපයක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

ඒ යටතේ 27 වැනි දින උදෑසන 11 සිට 12 දක්වා කුරුණෑගල, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික් නියෝජනය කරමින් තිම්රන් කීර්ති, ඩොමිනික් චන්ද්‍රසාලි, වසන්ත නිවුන්හෙල්ල, පද්මිණි ශ්‍රියාලතා සහ ආනන්ද අබේවික්‍රම යන කවි කිවිඳියන්ගේ කතිකාවත පැවැත්වීමට නියමිතයි.

මෙහි මෙහෙයවීම් කටයුතු සිදුකරන්නේ සුදර්ශන සමරවීර විසිනි. 27 වැනි දින පස්වරු 1 සිට 2 දක්වා මහියංගනය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික් නගර නියෝජනය කරමින් ප්‍රබන්ධ රචකයින් වන (කෙටි කතා) නිශ්ශංක විජේමාන්න, එච්.බී. ගුණරත්න, චූලාභය ශාන්ත කුමාර හේරත් කතිකාවත සඳහා සහභාගී වීමට නියමිතයි. එහි මෙහෙයවන්නා වශයෙන් කටයුතු කරන්නේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහය. 29 වැනි දින පස්වරු 3 සිට 4 දක්වා පේරාදෙණිය කවීන් වව සුදර්ශන සමරවීර, නුවන් තොටවත්ත, රණතුංග මල්ලවාරච්චි, කපිල එම්. ගමගේ විද්වත් හමුවට සහභාගී වීමට නියමිත අතර එය ලියනගේ අමරකීර්ති විසින් මෙහෙයවනු ලබයි.

ජුනි මස 30 වන දින පස්වරු 3 සිට 4 දක්වා මහනුවර කලා දිවියේ සැමරුම් සහ එකතු පිළිබඳ විද්වත් කතිකාවතට සහභාගී වන්නේ රාජා උස්වැටකෙයියාව, රංජිත විජේසිංහ, වික්‍රම පළිහවඩන, හේමන්ත අනුරසිරි යන අය වන අතර එයද මෙහෙයවනු ලබන්නේ ලියනගේ අමරකීර්ති විසිනි