2018 ජුනි 28 වන බ්‍රහස්පතින්දා

මහනුවර පොත් අසිරිය විඳින්න එන්න

 2018 ජුනි 28 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 12:10 164

ඓතිහාසික මහනුවර පුරවරයේ පාඨක සහෘදයන්ට මහඟු අවස්ථාවක් උදාකරමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඊයේ (27) සිට ජූලි මස 01 වැනිදා දක්වා මහනුවර පොත් ප්‍රදර්ශනය කැන්ඩි සිටි සෙන්ටර්හිදී පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දිවයිනේ නන්දෙසින් පැමිණෙන පොත් ප්‍රකාශකයන්ගේ අලෙවිසැල්වලින් සපිරුණු මෙවර මහනුවර පොත් ප්‍රදර්ශනය සුවිසල් විෂය පරාසයකින් යුතු ග්‍රන්ථ රාශියකින් සමන්විතය. ආගමික, සාහිත්‍ය, අධ්‍යාපනික, නවකතා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන යන ප්‍රභේදයන් යටතේ අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයේ ඇතුළත්වන අතර ඒ සඳහා 20% ක වට්ටම් ලබාදීමටද ප්‍රකාශකයෝ සූදානම්ය. ප්‍රදර්ශනය අතරතුර ශ්‍රී ලාංකේය ග්‍රන්ථ සාහිත්‍යයේ හෙට දවස පිළිබඳ විද්වත් කතිකාවන් කීපයක් පැවැත්වීමටද සූදානම් කර තිබේ. මහනුවර ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රදර්ශන කමිටු සභාපති ප්‍රදීප් සමරනායක හා කමිටු සාමාජික සමීර රත්නායක සමඟ සිදුකළ සංවාදය පහත දැක්වේ.

* කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එක පැත්තකින් සැප්තැම්බරයේ පවත්වන ගමන් ඇයි මහනුවර තව එකක් කරන්නේ?

මහනුවර කියන්නේ ඓතිහාසික පුරවරයක්. මහනුවර හා මධ්‍යම පළාතේ සමහර ජනතාවට කොළඹට පැමිධෑම අපහසුයි සමහර අවස්ථාවල. ඒ නිසා කොළඹ වගේම වටිනා අවස්ථාවක් මධ්‍යම පළාතේ ජනතාවටත් ලබාදිය යුතුයි කියන හැඟීම මත තමයි මහනුවර පොත් ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ. අවුරුදු 12 කට පෙර මෙම ප්‍රදර්ශනය ඉතාමත් සුළුවට මහනුවර ක්වීන්ස් හෝටලයේ තමයි ආරම්භ කෙරුණේ. කුටි 10 ක ප්‍රමාණයකින් ආරම්භ කෙරුණු ප්‍රර්ශනයේ මෙවර කුටි 43 ක් තිබෙනවා. මහනුවර ප්‍රදර්ශනය කොළඹ තරම් අත්දැකීමක් නොවුණත් ඒ හා සමානම අත්දැකීමක් පාඨක ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

* පොත් ප්‍රදර්ශනයට සමගාමීව සංස්කෘතිකාංග උත්සවයක් බවටත් මෙම ප්‍රදර්ශනය පත්කරගෙන තිබෙනවා. එමගින් බලාපොරොත්තුවන කාරණා කවරේද?

සෑම වසරකම වාගේ අපි මධ්‍යම පළාතේ පාසල්වලට ආරාධනා කරනවා. පොත් ප්‍රදර්ශනයට සහභාගීවන ලෙස. ඒ වගේම සංස්කෘතිකාංග ඉදිරිපත් කරන ලෙස. පසුගිය වසරවලත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නිසා එම පාසල් දරුවන්ටත් අලුත් අත්දැකීමක් ලබා දීමට හැකි වුණා. මෙවරත් පාසල් හයක් සංගීතමය අත්දැකීමක් ප්‍රදර්ශනයට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවර අපි මධ්‍යම පළාත නියෝජනය කරන කවියන්, කෙටිකතාකරුවන් සම්බන්ධ කරගනිමින් සාහිත්‍ය කතිකාවතක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ටිම්රාන් කීර්ති ඩොමිනික් චන්ද්‍රසාලි, වසන්ත නිවුන්හැල්ල, පද්මිධෑ ශ්‍රියාලතා, ආනන්ද අබේවික්‍රම, සුදර්ශන සමරවීර, නිශ්ශංක විජේමාන්න, එච්.බී. ගුණරත්න, චූලභය ශාන්තකුමාර හේරත්, ප්‍රභාත් ජයසිංහ, නුවන් තොටවත්ත, රණතුංග මල්ලවාරච්චි, කපිල එම්. ගමගේ යන සාහිත්‍යකරුවන් සහභාගීවීමට නියමිතයි. එසේම මහනුවර කලා දිවියේ සැමරුම් පිළිබඳ කතිකාවතක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

* රජත පුස්තක සම්මාන උළෙල හඳුන්වා දුන්නෙත් මහනුවර ප්‍රදර්ශනයට සමගාමීවයි. ඊට සමගාමීව එම සම්මාන උත්සවය පැවැත්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

ස්වර්ණ පුස්තකය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙන නිසා රජත පුස්තක හොඳම පොත් මහනුවර ප්‍රදර්ශනයේ දී හඳුන්වා දීමට අපි තීරණය කළා. ඒ අනුව හොඳම කෙටිකතා, කවිපොත් හා යොවුන් පොත් මෙවර රජත පුස්තකය යටතේ හඳුන්වා දීම සිදු කෙරුණා. ජයග්‍රාහී කෘති හා නිර්දේශිත කෘති විශේෂ වට්ටම් යටතේ මහනුවර ප්‍රදර්ශනයේ දී ලබාගැනීමට පහසුකම් සපයා තිබෙනවා.

* සැප්තැම්බරයේ නවකතා සම්මානය ස්වර්ණ වෙලා අනිත් සාහිත්‍ය ශානරයන් රජත වීම බොහෝ අයගේ විවේචනයට ලක්වී තිබෙනවා?

එසේ කර තිබෙන්නේ කිසිම කලා ආකෘතියක් හෑල්ලු කිරීමට නෙවෙයි. නවකතාව වගේම කවිය, කෙටිකතාවත් යොවුන් සාහිත්‍යයත් සාහිත්‍යයට අත්‍යවශ්‍යයි. අපට එහෙම හෑල්ලු කරන්න ඕන නම් එය සංවිධානය නොකරම ඉන්න තිබුණා. රජත පුස්තකයත් ස්වර්ණ පුස්තක වගේම ඉතාම ගාම්භීර ආකාරයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යෙදුනා.

* කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වැඩි දින ගණනක් පවත්වන්නත් මහනුවර ප්‍රදර්ශනය සීමිත දින ගණනක් පවත්වන්නත් හේතුව කුමක්ද?

ඒකට හේතුව තමයි ගොඩක් ප්‍රකාශන ආයතන කොළඹ ඉඳන් යන නිසා විශාල දින ගණනක් ප්‍රකාශකයන්ට එහි රැඳී සිටීම අපහසුයි. වියදම වැඩියි. ඒ නිසා දින පහකට මේ ප්‍රදර්ශනය සීමා වෙනවා. මහනුවර ප්‍රදර්ශනය අපි ඉලක්ක කරන්නේ මධ්‍යම පළාතේ ජනතාව පමණයි.

* මහනුවර ප්‍රදර්ශනය රටේ වෙන පළත්වලට ගෙන යාමේ යෝජනාවක් කලින් පැවතුණා. ඒත් ඒ තීරණය අසාර්ථක වුණා නේද?

මහනුවර ප්‍රදර්ශනය ආරම්භයේදීත් වැඩි සාර්ථකත්වයක් පැවැත්වුණේ නැහැ. එහෙත් මහනුවර ජනතාවගෙන් ලොකු ඉල්ලුම්ක් ලැබුණු නිසා වසරින් වසර ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා.

* මෙවර ප්‍රදර්ශනයේදී තවත් විශේෂ කටයුත්තක් සිදු කිරීමට නියමිතයි. ඒ ගැන කතා කරමු. මෙවර ප්‍රදර්ශනයේදී තාරකා විද්‍යා නිරීක්‍ෂණය කිරීමට නොමිලේ අවස්ථාව ලබා දී තිබෙනවා. සවස 6.00 සිට 7.00 දක්වා ඒ අවස්ථාව අපි දූ දරුවන්ට වැඩිහිටියන්ට ලබා දෙනවා. * පසුගිය වසරවල ප්‍රදර්ශනයේ සාර්ථකත්වය ඔබලාට දැනෙන්නේ කොහොමද?

පහුගිය වසරවල දිනෙන් දින ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාවගේ වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒ වගේම ප්‍රකාශන ආයතනවලත් වැඩිවීමක් තිබෙනවා. ඉල්ලුමට සැපයුම සපයන්න බැරි තරම් ඉල්ලුමක් අපට තිබෙනවා. ඉතාම සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වී තිබෙනවා. පොත් ප්‍රකාශක සංගමයේ සාමාජිකයන්ට වගේම වෙනත් අයටත් අපි අවස්ථාව ලබාදී තිබෙනවා.

* රට පුරා ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වෙනවා. ඒවා අතර මහනුවර ප්‍රදර්ශනය සුවිශේෂී වන්නේ කොහොමද?

සමහර තනි පුද්ගලයන් හෝ කිහිප දෙනෙක් එකතු වෙලා පොත් ප්‍රදර්ශනය පැවැත්වුවත් ඒවා පොත් ප්‍රකාශක සංගමයේ පූර්ණ මැදිහත්වීමෙන් කරන ඒවා නොවෙයි. අපි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විදියට පවත්වන්නේ පොත් ප්‍රදර්ශන දෙකයි. එකක් මහනුවර අනෙක කොළඹ. හොඳම මට්ටමේ ගාම්භීරත්වයක් තිබෙන ප්‍රදර්ශන තමයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවත්වන්නේ.

* පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පොත් ප්‍රදර්ශන පැවැත්වීම සම්මාන උත්සව සංවිධානය කිරීම වෙළෙඳ අරමුණින් කරන වැඩක්ද?

වෙළෙඳ අරමුණක් නැහැ. සාහිත්‍ය සංවාද අපි සංවිධානය කරන්නේ වෙළෙඳ අරමුණකට එහා ගිය උදාර අභිලාශයක් වෙනුවෙන්. ඒ වගේම භාෂා සංගායනාවක් අපි එක් අවස්ථාවක පැවැත්වූවා. රජයෙන් කළ යුතු දේ සංගමයක් ලෙස අපි කළා. ස්වර්ණ පුස්තකය නිසා වෙළෙඳ අරමුණකට එහා ගිය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්ත වෙනසකට ලක්වුණා. අපේ අරමුණ ලාභයම නෙවෙයි. සමාජය වෙනුවෙන් යමක් කිරීම. කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජේසේන මහත්මයා, මෙම ප්‍රදර්ශනයේ සම සංවිධායකත්වය දැරුවා. අපි ආරාධනා කරනවා මධ්‍යම පළාතේ සියලු දෙනාටම ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස.

 

 

 

සංවාද සටහන: අමිල චින්තක ගමගේ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00