2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

මේ ළඟදී මම කෝච්චියේ යනකොට එක උන්නැහේ කෙනෙක් රට කජු කනවා. අතට ගන්නවා අහුරක් පොඩි කරනවා පස්සේ පොතු ටික බිම දාලා කජු ටික කනවා. දැන් මිනිහා ඉන්න තැන කුණු ගොඩක්. ඔක්කොම ටික කෑවා ගත්තා ඉටි කොළේ. ඒකෙන්ම අත පිහි දැම්මා. දැම්මා ජනේලයෙන් එළියට..පස්සේ මිනිහා නිදි..දැන් අර පොතු පෙට්ටිය වටේම.

මම කල්පනා කළා මිනිහා ගෙදරත් එහෙම ඇති නේද කියලා. නෑ ඒත් එහෙම නෑ. ඔය හැම එකාම අනුන්ගේ තැන්වල ගිහින් පැහැරුවට තමන්ගේ තැන හරි විනීතයි. ඇයි? අස්පස් කරන්න වෙන්නේ තමන්ටනේ. අනුන්ගේ තැන ඕන බලු වැඩක් (බල්ලෝ මීට වඩා බුද්ධිමත්) කරලා යනවා.

දැන් බලන්න ලංකාවේ වැසිකිලිවල කොච්චර ලියන්න වෙලාද මුත්‍රා කළාම වතුර ගහන්න කියලා. කොච්චර ලස්සන තැන්වල ලියන්න වෙලාද කුණු දාන්න එපා කියලා. කොච්චර මල් ගස් ගාව ගහන්න වෙලාද කෙළ ගහන්න එපා, මල් කඩන්න එපා කියලා. ඇයි? විනයක් නැතිකම. දෙයක් පිරිසිදුව ලස්සනට විඳින්න තියෙන දේ විඳින්න තියෙන අකමැතිකම.

අපේ විනය ගැන පුදුම විදිහට හිතන්න වෙලානේ තියෙන්නේ. ලෝකයේ පොදු වචනයක් තියෙනවා “ලේඩිස් ෆර්ස්ට්” කියලා. ඒත් ලංකාවේ ස්ටේෂන් එකකට ගිහින් බලන්න ගෑනු අය පෙරලගෙන නගින්නේ පිරිමි අය. කෝච්චිය නවත්තන්නත් කලින්. කොහේ හරි පෝලිමක ඉඳලා වැඩක් කරගන්න බලන්න. කී දෙනෙක් හොරෙන් පෝලිම් පනිනවද? ඒ විතරක්ද අල්ලස් දීලා කී දෙනෙක් වැඩ කරගන්නවද? මේ කරන්නේ සමස්ත රටේම ක්‍රමවේදය අවුල් කරන එක.

අපේ රටේ මිනිස්සුන්ගේ මගේ කියන හැඟීම නෑ. අපේ කියන හැඟීම නෑ. මේ අපේ නෙමෙයිනේ කියන අදහසේ ඉන්නේ.

ලෝකයේ බොහෝ රටවල කොහෙවත් බෝඩ් ගහලා නෑ අරක කරන්න මේක කරන්න කියලා. ඒ අය සංඥා විතරයි. අපේ සංඥාත් දීලා අකුරෙනුත් ගහන්න එපැයි.

විනය කියන දේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇඟෙන් එන්න ඕන දෙයක්. ලැජ්ජාවයි, බයයි තියෙන ඕනෑම මිනිහෙක් විනයට අනුව හැඩ ගැහෙනවා. ඒ දෙකම නැති එකා යන්නෙම ඇදේට.

රටක දියුණුවක් වෙන්න විනය ඕනෙමයි. ගොඩක් රටවල් දියුණු වුණේ ඒ විනය නිසා. යන්න ජපානයට. මිනිස්සු පාර පැනලා නවත්තන් ඉන්න වාහනේ රියදුරාට ඔළුවත් නවලා යන්නේ. හැබැයි අපේ රටේ වාහනේ නවත්‍තන්නේ කහ ඉරේ .මිනිස්සු පනින්න ඕනේ කහ ඉරක් නැති තැනින්.

විනය කියන දේ උඩ ඉඳන්ම පල්ලෙහාට හැදෙන්න ඕනේ. පාලකයෝ විනයක් නැතුව උත්තරීතර පාර්ලිමේන්තුවේ හැසිරෙනවා නම් පහළ ඉන්න පුරවැසියා කොහොම හැසිරෙන්න පුළුවන්ද.

ඒ නිසා රටක් හදන්න ලොකූ ව්‍යාපෘති නෙමෙයි ඕනේ විනයක් සහිත ජාතියක්, විනයක් සහිත රටක්. මොන පෙරළි කළත් මොළය පෙරළිලා, හරි වැරැද්ද හදාහන්න බැරිනම් ඒ රටට ගොඩ එන්නම බෑ.

වෙන්නේ තව තවත් වළට තල්ලුවෙන එක විතරයි. ඒ නිසා රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න. එච්චරයි ඉල්ලන්න තියෙන්නේ.

මම
බ්‍රෝ

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00