2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මතක ගබඩාව

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 392

අපිට කලින් පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කලින් පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැන් ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැන් වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පහළොවක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක්ය.

ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත. ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැන් කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝකභරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා, තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපි ද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත. එනිසා මුවින් නොබැණ සිටිය යුතුය.

කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය. ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්‍යශේඛරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කටපාඩමින් දැන සිටියෝය. උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය. හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය. කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය. ආස්මී හැදුවෝය. බීරළු ගෙතුවෝය. පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැන් කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත.

දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන්ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්‍ය මිනිසකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක්ය. එය එසේ වුවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තකුගේ මතක ගබඩාව සාමාන්‍යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක. සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුළෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්‍රම් බ්‍රම් බර බරම් ක්‍රී.....ක් බ්‍රම් බ්‍රම්" හඬක් නැගේ.

මේ පෙටා බයිටයක් පමණ වන දත්ත ප්‍රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය “අමතක වීම” නැමති අපූර්ව ක්‍රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්‍ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස ස්වභාවධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්‍රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කනෙන් අදිති. දණගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති.

සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක්ය.

“ඕකට දෙවරක් චක්කරේ බැරි වුණාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ...... ඕකා මගේ වුණාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරැම් නෑ"  කියා ලොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගීවූවකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්‍ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත. සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත.

අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාවල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු. ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි.

“වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං
උඩ මළුවට යන්නං කු ඌඌඌ
පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං
බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ)
පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන්"

මම මේ සින්දු අහන්නේ නැත. ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත. සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ හිසත්, කේ. සුජීවාත්, ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක් ද මගේ මොළයේ විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.

ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු.

මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරැව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයන් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විෂ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්‍රමාණය ඉතා විශාලය. අරයා හැදූ සව් දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අලුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අප වෙත ගලා එන තොරතුරු ප්‍රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත.
අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්‍ය තොරතුරු නිසා අවශ්‍ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක වුණාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ. හැකිනම් ෂර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්‍ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න.

►දිනුක ජයකොඩි