ලංකාව ගැන රචනාවක් ලියපන් කීව ගමන් ‘අවුරුදු 2500ක ඈත අතීතයක් තියෙන මාර සංස්කෘතියක් සදාචාරයක් තියෙන රටක්’ කියලා පටන් ගන්නවා. ඒ රචනාවෙම මැද හරියක ලියනවා ලංකාව තවමත් දියුණුවෙමින් පවතින රටක් කියලත්.. ඒ කියන්නේ සංස්කෘතිය උසස් සදාචාරය උසස් රටවල් නොදියුණුද? මට මේ ගැන පොඩ්ඩක් හොයන්න හිතුණා.
ප්‍රංශය උසස් කලාකෘති අගයන උසස් සංස්කෘතියක් තියෙන රටක්. ඒ වගේම රටත් දියුණුයි.
සිංගප්පූරැව තමන් විසින්ම සකස් කරගත්ත සදාචාර රාමුවක විනයවත් රාමුවක ජිවත් වෙනවා... රටත් දියුණුයි.
එතකොට ලංකාවේ අපි? ඒ නම් වෙන්න පුළුවන් දේවල් දෙකයිනේ. එක, අපි සංස්කෘතිකව නොදියුණු වෙන්න ඕන. දෙක, ඇඟට හිතට නොදැනුණාට අපිත් සංවර්ධනය වුණ රටක් වෙන්න ඕන... ඒත් රුපියල් 5000 අරන් ගිහින් ගෙදර ගේන බඩු කෑලි ටිකයි උදේ හවස පොදු ප්‍රවාහනවල යන විදියයි දැක්කම නම් පුතේ අපි දියුණු රටක් නෙවෙයි... එහෙමනම් පිළිගන්න වෙන්නේ පළවෙනි කාරණේ තමා..
අනික් කාරණේ තමා හැමදාම ලංකාව හරි ගෝත්‍රිකයි, අශිෂ්ටයි, වගේ කතා කියනකොට ප්‍රධාන වශයෙන් ඇඟිල්ල දික්වෙන්නේ සිංහල ජාතියටයි. ඒකේ යම් නිවැරදිභාවයක් තිබුණත්, ලංකාවේ පහුගිය කාලේ සංස්කෘතිකමය හීන මතධාරීන් නිසා ඇතිවුණ ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට අනෙක් ජාතින්ගෙත් යම් යම් බලපෑම් තිබුණා. කොහොමත් තනි අතකින් අත්පුඩියක් ගහන්න අමාරුයි නේ...
ඉස්කෝලේ කාලේ ඉඳන් අපි සදාචාරාත්මක සංස්කෘතික ජාතියක් රටක් කියලා ඉගැන්නුවාට අපිට තාමත් තුන් හතර දෙනෙක් එකතු වුණාම පෝලිමක් හැදෙන එක හරි අසීරු වෑයමක්. ෆෝන් කාඩ් එක හූරලා අදාළ තැනට දාන එක ගැටලුවක්. ඒ වගේ ආකල්ප තියෙන අපි රොකට්, ගුවන්ගත කරන අහස් යානා නිපදවන රටවල් එක්ක පෑහෙන්න උත්සාහ කරන එක මොන විහිළුවක්ද? ආකල්ප දියුණුවකින් තොරව ආගම්වාදි ජාතිවාදී... පුහු සංස්කෘතික මානයක් කරතියාන මේ ලෝකේ දිනපු කිසිම රටක් නෑ... අපි තාමත් ඒ මට්ටමෙන් නම් ලෝකේ දිහා බලන්නේ... අපි තාමත් ඉන්නෙ ළිඳක...
ඉතින් රටක් වශයෙන් අවුරුදු 30ක් ආපස්සට ගියපු අපි දැන් තීරණය කළයුත්තේ ගමන් කළ යුතු නිවැරැදි මාර්ගය කුමක්ද කියලා. රටක දියුණුවට අවශ්‍ය වන්නේ ධනවාදයවත්, සමාජවාදයවත් නෙවෙයි... පවතින තත්ත්වයට අනුගත විය හැකි මිනිස් ප්‍රජාවක්... අපට 88/89 කාලයේ අහිමි වූවේ එවැනි මිනිසුන්.
අවසන කීමට ඇත්තේ දකුණේ දෙමළ මිනිසාට සලකන්නේ යම් ආකාරයකට ද, ඒ ආකාරයටම උතුරේ සිංහල මිනිසාට සලකයි නම් ඒ දිනයේ සිට ලංකාව අඩියෙන් අඩිය ඉදිරියට යයි.. එතෙක් ඔබ මම අප සැම තුන්වැනි ලෝකයේ රටක අභිමානවත් පුරවැසියෝ ලෙස ජීවත් වෙමු.
►මනුජය තෙන්නකෝන්