2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

අපි ඉස්සර වැස්ස වහින්න ළං වෙනවා කියලා ගමේ දැන ගන්නේ මහා ඝණ කළුවර ඉරාගෙන ඇහෙන ගෙම්බන්ගේ සද්දෙන්. උන් කෑගහනවා කන් පිරෙන්න. ඊට පස්සේ වහිනවා, ඊට පස්සේ උන් මහ වැස්සේ පැන පැන එහා මෙහා යනවා. මිනිස්සුන්ට වඩා සතුටු වෙන්නේ ගෙම්බෝ. වැස්ස මැද්දේ ගෙම්බෝ එහාට පනිනවා, මෙහාට පනිනවා, උඩ යනවා බිම යනවා, අම්මෝ විඳින සතුටක්. ඒක සැපක්. ඒක අපේ වචනයෙන් අමුතු ආතල් එකක්.

මේ දවස්වල ඒ අමුතු සැප අමුතු ආතල් එක ගන්නේ වෙනින් කවුරුත් නෙමෙයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ දේශපාලන කුණාටුව ඇතුළේ මන්ත්‍රීවරු ඇති තරම් "බක-බක" ගානවා. තමන් ඉන්න පැත්තට "බක - බක" ගාලා උදේ ඉඳන් හවසට "දෙක-දෙක" ගාලා පනිනවා. ඊට පස්සේ "දෙක-දෙක" ගානවා අර "බක-බක" කිව්ව කටින්ම.

ඔය වැඩියෙන්ම පනින්නේ වැස්ස ළංවෙනකොට, හයියෙන් "බක-බක" ගාන උන්. මේක මාරම සංස්කෘතියක්. ලැජ්ජ නැතුව මේ හාදයෝ කියනවා "මට කවුරු නායකයා වුණත් කමක් නෑ, මම ඒ හැම ආණ්ඩුවක කැබිනට් ඇමති" කියලා. මේ මිනිස්සු කතා කරන්නේ කටින්ද ඇත්තටම. නෑනේ වෙන්න බෑ.

ඔයාලට මතකද ඉස්සර අපි හින්දි ෆිල්ම් බලද්දී නළුවා මැරුම් කන සීන් එකක් වගේ යනවා නම් බලන්නේ හොරෙන්. ඒක බලන්න බැරි තරම් හිත වාවන්නේ නෑ. යකෝ පුදුමේ කියන්නේ දැන් මේ දේශපාලන කතා බලන්න වෙලා තියෙන්නෙත් එහෙමනේ. ලැජ්ජයි කෙළින් බලන්න. දවල්ට කියනවා මම අපේ නායකතුමා එක්ක කියලා රෑට කියනවා රට ගැන හිතලා තීනදුවක් ගත්තලු. බලන්න මේ මිනිස්සු රට ගැන හිතන අපූරුව. වෙන රටවල මිනිස්සු රට ගැන හිතලා ගෙදර යනවා. මේ අය රට ගැන හිතලා පක්ෂය මාරු කරනවා. සෙල්ලම්ද අප්පා මේ ජීවිත. මම කියන්නේ මේ අය කෞතුක වස්තුවලට තියන්න ඕනේ. මොකද සමහර අය අරහෙට මෙහෙට මාරුවෙලා දැන් ඉන්නේ කොයි පක්ෂයෙද කියලා හොයන්න බෑ. ඒ තරම් මාරු වෙලා. පාර මාරුවෙලාවත් නෑ මේ අය මෙච්චර. හැබැයි වැරදියට හිතන්න එපා. මේ ඔක්කොම රට ගැන හිතලා ගන්න තීරණ කියලයි ඒ අය කියන්නේ. ඒ නිසා අපිත් ඊළඟ පාර රට ගැන හිතලා තීන්දුවක් ගන්න වෙනවා. මොකද මේ අය පව් මෙච්චර අපි නිසා මහන්සි වෙන්නේ. එහෙම වෙන්න දෙන්න නරකයි.

►මම බ්‍රෝ