2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

රාහු කාලයේදී පරෙස්සමින්!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 410

රාහු කාලය කුමක් ද කියා අද සමාජයේ වැඩිදෙනෙකුට අවබෝධයක් ඇත. සෑම දවසකදීම රාහු කාලය යනුවෙන් හඳුන්වන ග්‍රහ තත්ත්වය උදාවන බවට ජ්‍යොතිෂය ගැන සුළුවෙන් හෝ දන්නා අය දැනුවත්ව සිටිති. විශ්වයේ පවතින ග්‍රහ වස්තූන් අතරින් අප ජීවත් වන මෙම පෘථිවි ගෝලය තුළ කලදවස ගතකරන සෑම දෙනෙක්ම කරදර බාධා අවුල් වියවුල්වලින් තොරව තමතමන්ගේ අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා වෙහෙසෙති. ඔවුහු නොනවතින අරගලයක යෙදෙති.

තම තමන්ගේ දක්ෂතාවයන් මෙන්ම ඇදහිලි, විශ්වාසයන් ද උපයෝගී කරගෙන ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ ගනිති. ඇතිවන, ඇතිවිය හැකි අවහිරතා සහ බාධාවන් මගහරවා ගැනීමට කටයුතු යොදති. මෙහිදී අපට පෙනෙන සහ නොපෙනෙන අවහිර බාධා පවතින බව නොකියා නොහැක. ඕනෑම කෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුවන්නේ එසේ පියවි ඇසට නොපෙනෙන අන්දමේ කරදර, බාධා මගහරවාගන්නේ කෙසේද කියා කල්පනා කිරීමටයි.

බොහෝ ඈත කාලයක සිටි මිනිසුන් තුළ ග්‍රහ බලපෑම්වලට අනුව ද කටයුතු සාර්ථක කරගතහැකි හෝ නොහැකි බවට ද විශ්වාස පවතී. මේ නිසා එදිනෙදා ඇතිවන ග්‍රහ බලපෑම් අතරින් අශුභ යයි සැලකෙන දේවල් මගහරවාගැනීමට දී ඇති උපදෙස් ගැන දැනුම ලබාගැනීම වැදගත් වේ. රවි, සඳු, කුජ, බුධ, සිකුරු, සෙනසුරු, රාහු, කේතු සහ යුරේනස් නෙප්චූන් යනුවෙන් දැනට හඳුනාගෙන භාවිතයේ ඇති ග්‍රහ ලෝක අතරින් රාහු, කේතු දෙදෙනා ස්කන්ධයන් රහිත බව පිළිගැනේ. එසේ වුවද මේ දෙදෙනා විසින් ජීවින් හට ඇතිකරන හොඳ - නරක ප්‍රතිඵල අතිවිශාලය.

විශේෂයෙන් එම අනිටු විපාක වශයෙන් රාහුගේ අශුභ ඵල නිසා ඕනෑම කෙනෙකු මහමඟට වැටෙන, තමන් සිටින උසස් ජීවන තත්ත්වයන්ගෙන් පහතට ඇද දමන, සිහි මුලාවට පත්කරන විවිධාකාර පීඩා - පාඩු උදාකරයි.

මේ සම්බන්ධ බොහෝ අත්දැකීම් අපට තිබේ. ඔබට වුවද සුපරීක්ෂාවෙන් සිටිය හොත් මේ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. ජ්‍යොතිෂ දැනුම හෝ දැනුම ඇති අයෙකුගේ ආධාරය මේ සඳහා අවශ්‍ය වේ. රාහු කාලය යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම රාහු ග්‍රහයාගෙන් යෙදෙන දෝෂයක් ගැන පැහැදිලි කිරීමයි. සෑම දවසකදීම රාහු ග්‍රහයාට වෙන්කර දී ඇති වේලාවල් දෙකක් උදාවේ. මෙම රාහු කාල සීමාවේදී ශුභ වැඩ කිරීම, ආරම්භ කිරීම, විශේෂයෙන් ගමන් බිමන් යෙදීම නුසුදුසු බව ජ්‍යොතිෂ නියමයයි.
දිනපතා රාහු කාලය මේ ආකාරයට යෙදේ. ඉරිදා අලුයම 4.30 සිට 6.00 දක්වා, සඳුදා උදේ 7.30 සිට 9.00 දක්වා අඟහරැවාදා අලුයම 3.00 සිට 4.30 දක්වා, බදාදා දහවල් 12.00 දිට 1.30 දක්වා, බ්‍රහස්පතින්දා පස්වරු 1.30 සිට 3.00 දක්වා සිකුරාදා උදේ 10.30 සිට 12.00 දක්වා, සෙනසුරාදා උදේ 9.00 සිට 10.30 දක්වා වේ. ඉර උදාව අනුව මෙය සකස්කරගත යුතුවන අතර මෙම ගණන් ගැනීම කර තිබෙන්නේ උදේ 6.00ට ඉර උදාවන දවසකයි. මේ ආකාරයට ඉරිදාවකදී උදාවන රාහු කාලය උදේ 4.30 සිට උදේ 6.00 අතර වන්නාසේ ඉරිදා සවස 4.30 සිට 6.00 දක්වා ආකාරයට බලපායි. 

අනිකුත් දිනවල පළමු රාහු කාලය උදාවී පැය 12කින් දෙවන රාහු කාලය උදාවන බව පෙනේ. එක් රාහු කාලයක සීමාව පැය 1 වි. 30කි. මෙය අශුභ වේලාවක් ලෙස සලකා අත්හැර දැමිය යුතු බව ජ්‍යොතිෂයෙහි ඉගැන්වේ. ඔබගේ එදිනෙදා අවශ්‍යතාවලදී රාහු කාලය හරස්වීමෙන් ඔබේ වැඩකටයුතු නතර කර දැමීම අදහස් නොකරන අතර එසේ නම් කළයුතුවන්නේ රාහු කාලය ආරම්භ වීමට පෙර එම කටයුතු ආරම්භ කිරීමයි. රාහු කාලය තුළදී නැවැත්විය නොහැකි, අතහැර දැමිය නොහැකි හෝ ප්‍රමාද කළ නොහැකි වැඩක් යෙදුනහොත් ඒ කාල සීමාව තුළදී ද ශුභ වේලාවක් සොයාදීම පළපුරුදු, උගත් දෛවඥයෙකුට කළහැකි බැවින් එවැන්නකුගේ උපදෙස් අනුව ඔබේ අරමුණු ජයගැනීමට පුළුවන. එනිසාම රාහු කාලය ගැන භීතියක් ඇති කරගත යුතු නැත.

ජ්‍යොතීර්වේදී
ඩී.ඩබ්.පී. ලියනගේ
හෝකන්දර දකුණ,

රාහු කාලය සැලකීම මෝඩ වැඩක්

අද රාහු කාලය ගැන ඕනෑවට වැඩිය සොයන්න ගිහිල්ලා ජනතාව අමාරැවේ වැටිලා තියෙනවා. දියුණුව ඇණහිටිලා තියෙනවා. ඒ අය කළයුතු වැඩ ප්‍රමාද කරගන්නවා. ඒ නිසා සාමාන්‍ය ජිවිතයේ වැඩ කටයුතුවලදී රාහු කාලය ගැන සිතන්න හොඳ නැහැ. එහෙම වුණොත් තමාට අවශ්‍ය දේවල් අවශ්‍ය වේලාවට කරගන්න බැරිවෙනවා. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙනවා. මෙය රාහු කාලයෙදි කළොත් හරියාවිද කියලා සිතන්නට ගිහිං නරක මානසික තත්ත්වයක් ඇතිකර ගන්නවා. එවිට රාහුකාලය මග හැරලා කළත් ඒ වැඩවලින් යහපතක් වෙන්නේ නැහැ.

දැන් බලන්න මේ රාහු කාලය ගැන ඕනැවට වැඩිය බලන්නේ සිංහල බෞද්ධයන් විතරයි. අන්‍ය ජාතිකයන්, විවිධ ආගම් අදහන අය තම වැඩ කටයුතු කරන්නේ රාහු කාලය  අතහැරලා නොවෙයි. නැකැත්වලට නොවෙයි. එහෙම නම් ඒ අය කරන වැඩකටයුතු අසාර්ථක වෙන්න ඕනෑ. ඒත් ඒ අය අපිට වැඩිය දියුණුවට පත්වෙලා සිටිනවා. ඒ අනුව පෙනියන්නේ රාහු කාලය නොසැලකුවායැයි කියලා දියුණුවට බාධා ඇතිනොවන බවයි.

විභාගවලට යන අය, සම්මුඛ පරික්ෂණවලට සහාභාගි වන්නන් මේ රාහුකාලය මග හැරලා. යන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා මම කොතෙකුත් දැක තියෙනවා. විභාගවලට නියමිත වෙලාවට යන්න බැරි වෙලා මුළු ජිවිතයම කාලකන්නි කරගෙන තියෙනවා.

ඒ නිසා මම කියන්නේ නැකැතක් තැනීමේදී හැකිතරම් දුරට රාහුකාලය මගහැර එය සකස් කළ යුතු වුවත් එදිනෙදා වැඩවලදී රාහු කාලය නොසලකා කටයුතු කිරීම බුද්ධිමත් බවයි. වැදගත් නැකැත් ග්‍රහ මුහුර්ථ තැනීමේදි ජ්‍යෙතිෂවේදියා රාහුකාලය මගහැර එය සිදුකරනවා විනා දෛනික ක්‍රියාකාරකම්වලදී සාමන්‍ය ජනතාව රාහු කාලය අතහැර කටයුතු කිරීමට යාම අමනෝඥ මෝඩ ක්‍රියාවක් කියලයි කිවයුතු වන්නේ. මේ නිසා සිදුවන්නේ අනාදිමත් කාලයක සිට පවතින ජ්‍යෙතිෂ්ශාස්ත්‍රය පවා ගැරහුමට ලක්විමක් 

ජ්‍යෙතිෂවේදි ආචාර්ය 
අමරසේන වේගිරිය, 
වැල්ලම්පිටිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00