2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ග්‍රහ ගමන අනුව වෙනස් වන ශුභ අශුභ

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3017
 
කෙනෙකුගේ උත්පත්ති කේන්ද්‍රයේ කොතරම් ප්‍රබල ග්‍රහයන් තිබුණත් එම ග්‍රහ පිහිටීම්වලට වඩා නිතර වෙනස් වන, ගමන් කරන ග්‍රහයන් නිසා වෙනස් ශුභාශුභ ප්‍රතිඵල ඇතිවීම සිදුවේ. ඒ නිසා කෙනෙකුගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ දී කේන්ද්‍රයේ කොටුවෙන් කොටුවට ගමන් කරන ග්‍රහයන් පිළිබඳව ද ඔවුන් කුමන වකවානුවල මොන ස්ථානයට යනවාද යන්න පිළිබඳව ද සැලකිල්ලක් දැක්විය යුතුය.
 
ග්‍රහ ගෝචරය යනු ග්‍රහයන් රාශියෙන් රාශියට මාරුවන ගමන් මඟයි. උත්පත්ති කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන්ගෙන් ගෙන දෙන ප්‍රතිඵලයට වඩා ගෝචර හෙවත් ගමන් කරන ග්‍රහයා දෙන ප්‍රතිඵලය ජන්මියාගේ ජීවන ගමන වෙනස් කිරීමට බොහෝ සෙයින් හේතුවෙයි. දියුණුව පරිහානිය හා අපල සපල කාල ආදිය ද මෙය තුළින් දැනගත හැකිවෙනවා පමණක් නොව, ඔහුගේ මරණය සිදුවන කාලය ද නිසිලෙස දැනගැනීමට හැකියාව ඇත.
 
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු හා ශනි යන ග්‍රහයන් රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරද්දී ඡායා ග්‍රහයන් දෙපළ වන රාහු කේතු පමණක් ආපස්සට ගමන් කරති. මෙසේ ඉදිරියට ගමන් කරන ග්‍රහයන් සමහර අවස්ථාවලදී තාවකාලිකව නතර වීම ග්‍රහයා වක්‍රවීම ලෙස අප ජ්‍යොතිෂයේ දී හඳුන්වයි. මෙසේ වක්‍ර වූ ග්‍රහයා ජන්මියාගේ ජීවන මඟ වෙනස් කිරීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. මෙම ගෝචර ගමනේ දී ඒ ඒ ග්‍රහයන් රාශියක් පසුකිරීමට නියමිත කාලයක් ගන්නවා ඇත. ඒ මෙසේය.
 
ග්‍රහයා රාශියක් ගත කිරීමට ගතවන කාලය
රවි මාස 1කි
සඳු දින 2 ½කි
කුජ දින 45කි
සිකුරු මාස 1කි
බුධ මාස 1කි
ගුරු අවුරුදු 1කි
ශනි අවුරුදු 2 ½කි
රාහු හා කේතු  අවුරුදු 1 මාස 6 දින 19කි
 
මේ ආදී වශයෙන් රාශියක් පසුකිරීමට ආසන්න වශයෙන් ඒ ඒ ග්‍රහයන්ට නියමිත කාල පරිච්ඡේදයක් ඇති අතර සමහර අවස්ථාවලදී මෙම දින වකවානු අඩු වැඩිවන අතර ඊට හේතු වන්නේ රවි හා සඳු යන ආලෝක ග්‍රහයන් හැර අනෙක් ග්‍රහයන් වක්‍ර, නිවෘත හා අස්ත වීම යන කරුණු නිසාය. ඒ ඒ ග්‍රහයන් උත්පත්ති කේන්ද්‍රයේ පිහිටීම උපයෝගී කරගෙන ගෝචර ගමනේ පලාපල තීරණය කළ යුතුවෙයි.
 
කොටු 12කින් යුත් උත්පත්ති ජන්ම පත්‍රයේ ඒ ඒ ග්‍රහයන්ට ගෝචරයේ දී හෙවත් ගමනේ දී සුභ හා අසුභ ස්ථාන මෙම ආකාරයට දක්වා ඇත.
 
ග්‍රහයා සුභ ස්ථාන අසුභ ස්ථාන
 
රවි 3/6/10/11 1/2/4/5/7/8/9/12
 
සඳු 1/3/6/7/10/11 2/4/5/8/9/12
 
කුජ 3/6/10/11 1/2/4/5/7/8/9/12
 
සිකුරු 1/2/3/4/5/8/9/11/12 6/7/10
 
බුධ 1/2/4/6/8/11 3/5/7/9/12
 
ගුරු 2/5/7/9/11 1/3/4/6/8/10/12
 
ශනි 3/6/11 1/2/4/5/7/8/10/12
 
රාහු හා කේතු 3/6/11 1/2/4/5/7/8/9/10/12
 
ඉහත ග්‍රහ ගමන් අනුව හෙවත් ගෝචරය අනුව අපට පුද්ගලයාගේ අපල සපල කාලය නිවැරදිව හඳුනාගත හැකි අතර කේන්ද්‍රයක අපල අවස්ථාවලින් කිහිපයක් මෙසේ දක්වමු.
 
තම ජන්ම පත්‍රයට අනුව පාපකාරී විපත් දශාවන්ගේ මහ දශා, අතුරැ දශා, විදශා කාලය
 
සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය අනුව උදාවන ඒරාෂ්ඨක අපල කාලය. ලග්න ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ඨක, ජන්ම ඒරාෂ්ඨක හා චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨක ලෙස විවිධ වන අතර මෙයින් ජන්ම ඒරාෂ්ඨකය වඩාත් අනතුරුදායකය.
 
සෙනසුරු ලග්නයෙන් 8 වැන්නේ 12 වැන්නේ ලග්නයේ හා ලග්නයෙන් 2 වැන්නේ හා උත්පත්ති සඳුගේ රාශිය හරහා හා සඳුගෙන් 8 වැන්නේ ගමන් කරන කාලය
 
ශනි උත්පත්ති චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්ථානවල ගමන් කරන කාලය
 
දුෂ්ඨ රාශිගත ග්‍රහයන්ගේ දශා කාලය
 
දුෂ්ඨ ස්ථාන අධිපති ග්‍රහයන්ට අයත් දශා කාලය
 
සඳුගෙන් 6/8/12 සිටි ග්‍රහයන්ගේ දශා කාලය
 
22 වැනි දෙර්කානාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය
 
64 වැනි නවාංශකාධිපතිගේ මහ දශා, අතුරු දශා, විදශා කාලය
 
ජ්‍යොතිෂවේදී
සම්පත් එස්. කල්පගේ
තසුනි සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය
බණ්ඩාරගම