2018 ජනවාරි 27 වන සෙනසුරාදා

කාන්තා මරණ දික්කසාද ඉහළට!

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

මෙම වසර තුළ සිදුවන ග්‍රහණ අතරින් ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය 2018 ජනවාරි 31 වැනි බුධ දින සිදුවනු ඇත. චන්ද්‍රග්‍රහණයක් යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාත් පෘථිවියත් සඳුත් එක එල්ලේ පැවතීමයි. චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පසළොස්වක දිනයක හෝ ඊට පෙර දින හෝ පසු දිනක වේ. සූර්යයා පෘථිවියට කෙළින්ම එල්ලවීම හේතුවෙන් සූර්යයාගේ ආලෝකය සඳුට පතිත නොවනු ඇත. පෘථිවියේ සෙවණැල්ල සඳු මත වැටීම නිසා අඳුරු බවක් දිස්වේ. 

2018 ජනවාරි 31 වැනි දින සිදුවන චන්ද්‍රග්‍රහණය විශේෂිත වූ එකකි. මෙම වසර තුළදී එක් මාසයක පසළොස්වක පොහොය දින දෙක බැගින් යෙදෙන අවස්ථා දෙකක් ඇති අතර වසරක මුල් පොහොය, එනම් පූර්ණ ප්‍රථම චන්ද්‍රයාගෙන් පසු උදාවන දෙවැනි පොහොය දින දෙවැනි පූර්ණ චන්ද්‍රයාගෙන් ඇතිවන්නාවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය අතිදුර්ලභ ගණයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වෙයි. 2018 ජනවාරි 31 වැනි දින සිදුවන මෙම විශේෂිත පූර්ණ චන්ද්‍රග්‍රහණය පැසිපික් සාගරය අවට ප්‍රදේශයට හොඳින් පෙනෙනු ඇත. පූර්ණ චන්ද්‍රග්‍රහණයේ ආරම්භක අවස්ථාව ඉන්දියන් සාගරය, මැදපෙරදිග රටවලටත් යුරෝපයේ නැගෙනහිර අර්ධයටත් පෙනෙනු ඇත. උතුරු හා මධ්‍යම අමෙරිකාවටද, නැගෙනහිර ඇලෙස්කාව, හවායි දූපත්වලටත්, කැනඩාවටත්, නවසීලන්තයට ද දිස්වේ. මෙම චන්ද්‍රග්‍රහණය අප රටට දිස්නොවූවද ඉහත රටවලට මෙන්ම අප රටටද අහිතකර බලපෑම් ඇතිවනු ඇත. විශේෂයෙන් ඉන්දියන් සාගරය අවට රටවලටත් පැසිපික් සාගරය අවට රටවලටත් අයහපත් වූ බලපෑම් ඇති වේ. විශේෂයෙන් මෙම ග්‍රහණයේ ඵල දින 60 ක් ගතවීමට මත්තෙන් සිදුවනු ඇත.

2018 ජනවාරි 30 වැනි කුජ දින රාත්‍රී 10 පසුවී විනාඩි 25ට පුර පසළොස්වක පෝය උදාවන අතර ජනවාරි 31 වැනි බුධ දින රාත්‍රී 7ට පෝය ගෙවෙනු ඇත. මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ බුධට අයත් වූ අස්ලිය නැකතේදීය. සඳුට අයත් කටක රාශිය උදාව පවතිද්දී ඇතිවන ග්‍රහණයේ උපරිම අවස්ථාව හෙවත් පූර්ණ චන්ද්‍රග්‍රහණයේ මධ්‍යය එදින රාත්‍රී 7.01ට සිදුවේ.

මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය දිස්වන රටවලටත් එහි අන්තර් බලපෑම් යෙදෙන රටවලටත් කාලගුණික විපර්යාස හේතුවෙන් අහිතකර බලපෑම් ඇතිවනු ඇත. විශේෂයෙන් භූචලන සිදුවීමත්, ජලගැලීම්, සුළිකුණාටු ඇතිවීමත් සිදුවේ. විශේෂයෙන් අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී එක් ප්‍රදේශයකට තද ජලගැලීම් තත්ත්වයක් ද අනෙක් ප්‍රදේශයට දැඩි නියං තත්ත්වයක් ද ඇතිවනු ඇත. විශේෂයෙන් මුහුදු ආශ්‍රිතව ජීවත් වන ජනතාව ජලගැලීම් තත්ත්වයක දී ප්‍රවේශම් වීම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ. රට තුළ වසංගත රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිවනු ඇත. කාන්තාවන්ට ඉතා අයහපත් බලපෑම් ඇතිවන අතර කාන්තා මරණ අධික වේ. රටෙහි දික්කසාද බහුලව සිදුවන වකවානුවක් වන අතර සියදිවි නසාගැනීම් ද වැඩිවනු ඇත. රට තුළ ව්‍යාජ පුවත් ප්‍රචලිත වීම්ද, ජලය ආශ්‍රිතව සිදුවන අනතුරු හා ජලයේ ගිලීම් ද වැඩියෙන් අසන්නට ලැබේ. කුඩා දරුවන්ට භයානක අපරාධවලට මුහුණදීමට සිදුවන අතර විවිධ හේතු මත සතුන් මරණයට පත්වීම්ද වැඩි වේ.